භූමි කම්පන සහ පසු කම්පන!

23

ලක්ෂ ගණන් මිනිස්සු ඊජිප්තුවේ තහ්රිර් චතුරශ්‍රය වල දවස් 18 ක නොනවත්වා කරපු අරගලයක ප්‍රතිඵලය ලෙස අවු 30කට වැඩි පාලනයක් ගෙනගිය දූෂිත ජනපති හොස්නි මුබාරක්, 2011 පෙබ. 11 පුටුවෙන් බැස යන්නේ අරාබි වසන්තයට සමගාමීව. ඒ සමගම ටියුනීසියාව කාලයක් තිස්සේ පාලනය කළ දූෂිත ජනපකි බෙන් අලිටත් සිදුවුණා ජනතා විරෝධය හේතුවෙන් ගෙදර යන්න.

පිලිපීනයේ මිලියන ගණනක මිනිස්සු වීදි බැහැලා කරපු අරගලය ජයගන්නේ අවුරුදු විස්සකට වඩා එරට පාලනය කරපු ඒකාධිපති පර්ඩිනන්ට් මාකෝස් ව 1986 පෙබ. 25 ගෙදර යවමින්.

මහපාරෙ මහජනයගෙ අරගලයෙ ප්‍රතිඵලය වූයේ ඉන්දුනීසියාවෙ අවු. 32ක් බලයෙ හිටපු දූෂිත ජනරල් සුහර්තෝ ජනාධිපති 1998 මැයි 21 ඉල්ලා අස්වන්නට වීම.

දකුණු කොරියාවෙ සෝවුල් නුවර පහනක් අතින් අරන් වීදි බැහැපු ලක්ෂ සංඛ්‍යාත මිනිස්සුන්ගෙන් බේරෙන්නට බැරුව ජනාධිපතිනියව ජනාධිපතිව සිටි ජනරල් පාක් ගේ දියණියට සිදුවුණේ අවු 3 ක කෙටි කාලයක් තුළ තියෙද්දි 2016 නොවැ. 29 ජනපති පුටුවෙන් බැහැලා යන්නට.

ආර්ථික කඩාවැටීමට එරෙහිව ලෙබනනයේ මිනිස්සු පාරට බහිද්දි දෙවරක් රට පාලනය කරපු Saad Hariri (සාඩ් හරීරි) අගමැතිට වුණේ 2021 ජූලි 15 ධූරයෙන් ඉල්ලා අස් වෙන්න.

මියන්මාර කාන්තාවන් ඔවුන්ගේ සරොම්, ලී කණුවල ගැටගසා ප්‍රදර්ශනය කරමින් සරොම් විප්ලවය හරහා යුදහමුදා පාලනයට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් ගෙන ගියා. “අපේ සරම; අපේ ධජය; අපේ ජයග්‍රහණය” යන්න ඔවුන්ගේ සටන් පාඨය වුණා.

ඉතිහාසයේ ආයුධ සන්නද්ධ විප්ලව ජයගෙන ඇත්තේ බොහෝ කලාතුරකින්. එහෙත් මේ වෙනස් විප්ලව සියල්ලම පාහේ ජය ගත්තා.

අතීතයට වඩා වර්තමානයේ දී ජනතා බලය කියන සාධකය ජනතාව විසින්ම අවබෝධ කරගෙන ඉන්නවා. එනිසා සම්ප්‍රදායික දේශපාලනය තුළ මෙන්, හැමදාමත් ජනතාව ඇන්දවීමේ කටයුත්ත දේශපාලනඥයන්ට කිරීමට අපහසු වී තිබෙනවා.

ආසන්නම උදාහරණය විදිහට ලංකාවේ සිදු වූ දේශපාලන විපර්යාසය හඳුන්වා දෙන්න පුළුවන්. මේක දේශපාලන පරිවර්තනයක් ලෙස හඳුන්වා දෙන්නට තරම් අපි ඉක්මන් වෙන්නේ නැහැ. රාජපක්ෂ පාලනය විසින් මේ රටට උරුම කළ අවනඩුව ජනතා අධිකරණය ඉදිරියේ තීරණාත්මක තීන්දුවක් අභියසට පැමිණියා.

මේ ආණ්ඩුව බිහිවූ දා සිට ගත් සියලුම තීන්දු තීරණ ඒ රටේ ජනතාව බලවත් ව්‍යසනයකට තල්ලු කළා මිස ජනතාවට යහපතක් උදා කළේ නෑ.

system change එකක් කරන්න පැමිණි ජනාධිපතිවරයා අවසානයේදී රට බංකොලොත් තැනකට තල්ලු කළා.

ව්‍යසනය ආරම්භ වන මොහොතේ සිටම විපක්ෂය ආණ්ඩුවට උදව් කිරීමට ගත් සෑම උත්සාහයක්ම ආණ්ඩුව උපහාසයෙන් බැහැර කළා.

අන්තිමට ආණ්ඩුවට තමන්ගේ උද්දච්ච දූෂිත හැසීරීම්වල ප්‍රතිඵලවලට මුහුණ දෙන්නට සිදුවුණා.

ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිදිනෙක නොවූ විරූ ලෙසින්, විරෝධතාවලට, අරගලවලට කිසිදිනෙක මහමගට නොබැස තිබූ සමාජ බලවේග බොහොමයක් වීදි බැස මේ පාලනයට විරුද්ධව විරෝධතා පළකරන්ට පටන් ගත්තා. හදිසි නීතිය පැනවීම් නොතකා පොදු ප්‍රවාහනය, වාහන ගමනාගමනය ආදියට දමා තිබූ තහංචි මධ්‍යයේ රටේ ජනතාව ලක්ෂ ගණනින් වීදි බැස සැතපුම ගණනින්, පා ගමනින් මේ විරෝධයට එක්වුණා.

තුනෙන් දෙකේ ආණ්ඩුවේ බහුතරය අහිමි කරන්නට රට පුරා වීදි බැස්ස ජනතාව සමත් වුණා. ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය සහමුලින්ම විසුරුවා හරින්නට ගෝල්ෆේස් විරෝධතාකරුවන් සමත් වුණා. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් බැහැර වී ජනාධිපතිවරයාට වෙනත් තැනක රාජකාරි කරන මට්ටමට තල්ලු කරන්නටත්, අවසානයේදී අභිරහස් බිම්ගෙයක් හරහා ජනාධිපතිවරයාට රටින් පිටමං වෙන තත්ත්වයට පත් කරන්නටත් ජනමතයට හැකිවුණා. මහා උද්දාමයකින් රැගෙන ආ විසිවෙනි සංශෝධනය ආපසු හරවා දහනව වන සංශෝධනය ගෙන එන්නට කැමති තැනට රට පත් කරන්නට අරගලකරුවන්ට හැකිවී වුණා. 94 දී ජවිපෙට ලිඛිතව ලියවිල්ලකින් ලබාදීලත් අහෝසි කරන්නට බැරි වූ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන තැනට පාර්ලිමේන්තුව තල්ලු කරන්නට මේ ජනමතයට හැකි වුණා. මෙතෙක් කලක් ආණ්ඩුව මහත් අභිරුචියකින් වැළඳූ ජාතිවාදය ආගම්වාදය වර්ගවාදය වෙනුවට ශ්‍රී ලාංකිකත්වය මිනිසුන් අතරට ගෙන යන්නට බහුතර ජනමතයට හැකි වුණා.

නිර්පාක්ෂික කණ්ඩායම්වල එකමුතුව ආණ්ඩුවටත් විපක්ෂයටත් තමන් ගැන නැවත හිතන්නට බල කළා.

ආයුධ සන්නද්ධ අරගලවලට වඩා මතවාදීමය අරගලවල තිබෙන චමත්කාරය අපේ පොළොවට රැගෙන ආපු අවිහිංසාවාදී හැම අරගල කරුවෙක්ම ඉතිහාසයේ සුවිශේෂී සටහනක් වෙනවා.

මෙතනින් එහාට ජනතාවගේ අවිහිංසාවාදී, ප්‍රජාතන්ත්‍රවාදී අරගලය අවසන් ද? ඇත්ත වශයෙන්ම නැහැ. මක්නිසාද යත්, භූමිකම්පාවකට පසුව නැගෙන පසුකම්පන බොහෝවිට භූමි කම්පාවටත් වඩා බිහිසුණු වෙන්නට පුළුවන් නිසා. ඇතැම් විට අද සිදුව ඇත්තේ අපි කිසිවෙක් කිසිසේත් අපේක්ෂා නොකළ අනපේක්ෂිත සිද්ධිදාමයක්. ඒක ඇත්තටම විශාල භූමි කම්පාවකට පස්සේ ඇතිවෙන ඊටත් වඩා බරපතළ පසුකම්පන වගේ.

ලෝක ඉතිහාසය තුළ කෲරතර පාලකයින්, ඒකාධිපති පාලකයන්, වියරු පාලකයන් තමන්ගේ පාලන කාලය අවසන් කළේ ඉතාමත්ම අවාසනාවන්ත විදිහට.

චිලි රාජ්‍යයේ අයියෙන්දේගේ පාලනය ජනතා විරෝධතාවකින් පස්සේ පෙරළා දමලා මේ රට භාර ගත්තේ ෆිනෝෂේ.

එය ෆිනෝෂේ චිලී රාජ්‍යය සහමුලින්ම විනාශ කළා. අයියෙන්දේගේ ඒකාධිපතිත්වයට එහා ගිය ඛේදවාචකයක් වෙත චිලීය තල්ලු කළේ විප්ලවයෙන් පස්සේ චිලිය භාර ගත් ෆිනෝෂේ.

ජනතා විරෝධයන්ගේ මූල හේතු ඇමතීම වෙනුවට, ඔහු තෝරා ගත්තේ ම්ලේච්ඡ මර්දනය පාවිච්චි කිරීමයි. කළ යුතුව තිබුණේ ජනතා විරෝධයන්ට හේතුවූ ඔවුන්ගේ දුක් වේදනා තේරුම් ගෙන ඒවා සමනය කිරීමට ගන්නා වූ උත්සාහයට ප්‍රමුඛතාවය දීමයි.

ලෝක ඉතිහාසයේ මේ සිද්ධිදාමයන් තුළින් පාඩම් උගත හැකිව තබෙනවා. පාඩම් උගත යුතුව තිබෙනවා.

ඉම්තියාස් බාකීර් මාකාර්

advertistmentadvertistment
advertistmentadvertistment