මංජු මරණය සහ ස්මරණය පිළිබඳ නොමියෙන මතකයක්…

280

ප්‍රවීණ ලේඛිකා කැත්ලීන් ජයවර්ධන විසින් “මංජු මරණය සහ ස්මරණය” කෘතිය රචනා කර ඇත්තේ ස්වකීය ආදරණීය සුනඛ සුරතලුන් දෙදෙනකු වූ “ලොකු මංජු” සහ “පොඩි මංජු” දෙදෙනාගේ අභාවයන් මුල් කර ගනිමිනි. ඇය විසින් රචිත මෙම අගනා කෘතිය මා හට කියවන්නට ලැබුණේ ද, එවැනිම අත්දැකීමක් පාදකව දැඩි කම්පනයකට මා මුහුණපා සිටි සන්දර්භයක් තුළ ය. පුරා අට වසරක් තිස්සේ පවුලේ සාමාජිකයකු ලෙස දිවි ගෙවූ ආදරණිය සුනඛයා වූ රොකීගේ හදිසි අභාවය හේතුවෙන් ඒ වන විට මම කම්පිතව සිටියෙමි. මරණ වරෙන්තුව ලියැවෙන ආකාරයේ රෝගී තත්ත්වයක් පවා උපේක්ෂාවෙන් දරා සිටි මා හට රොකීගේ අභාවය දරාගැනීම ඉතා දුෂ්කර වූයේ ය. අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ගනිමින් සිටියදී ශාන්තව නිදා ගත්තාක් මෙන් සිදු වූ ඒ සමුගැන්ම විසින් මා තුළ ඇතිකරනු ලැබූ ශෝකයත්, තිගැස්මත් බොහෝ දුරකට සමනය කරනු ලැබුවේ ඒ මොහොතේ කැත්ලීන් ජයවර්ධන විසින් මා වෙත එවනු ලැබූ මෙම කෘතියයි.

ස්වකීය සුරතලුන් දෙදෙනාගේ අභාවයන් හේතුකොටගෙන මෙම කෘතිය රචනා කර ඇති නමුත් මෙතුළින් ඇය ඉදිරිපත් කර ඇත්තේ තමා හැරගිය සුරතලුන් පිළිබඳ සංවේදී වෘතාන්තයකට එහා ගිය ජීවන දර්ශනයකි.

එයින් ධ්වනිත වන්නේ එදා මෙදා තුර නොවිසඳුණු ගැටලුවක්ව පවතින මරණය සහ මරණයේ ශෝකයට මුහුණ දීමට ඇය විසින් ගෙන යන ලද පෞද්ගලික අරගලයත්, එහි ප්‍රතිඵලයක් වූ ජීවිතාවබෝධයත් ය.

තමා පෞද්ගලිකව ලැබූ අත්දැකීමක් මුල් කර ගනිමින් මෙම ගවේෂණයට අත ගසනු ලැබුව ද, ඇය ඒ ඔස්සේ, මෙවැනි අත්දැකීමකට මුහුණ දුන් අප බොහෝ දෙනකු යථාවබෝධය කරා රැගෙන යන්නට සමත් වෙයි.

එම ජීවන දැක්මට බොහෝදුරට පදනම් වන්නේ බුදු දහම විය හැකි ය. බුදු දහමේ වන සදාකාලික සත්‍යයන් අප කොතෙක් අසා දැන සිටිය ද ඒ සියල්ල අපට අනුපිළිවෙළින් පෙළ ගස්වා ගත හැක්කේ වියෝවන්නා අපෙන් පරිබාහිර අයකු වූ විට පමණි. පෘථග්ජන මිනිසුන් ලෙස අප, වියෝවන්නා අපේ වූ විට හඬා වැටෙන්නේ සියලු සත්‍යයන් සැණෙකින් අමතක කර දමමිනි. බුදුබණ නිරන්තරව ඇසූ ආනන්ද හිමියන් බුදුන්ගේ පිරිනිවන් මංචකයේදී හඬා වැළපුණේ ද එහෙයිනි.

මේ යථාර්ථය පසුබිම් කර ගත් මිනිස් දූ පුතුන් වන අප සුනඛයින් සමගත්, සුනඛ සුරතලුන් අප සමගත් ඇති කර ගන්නා උදාර මානුෂික සබඳතාවය එකිනෙකාගේ වියෝවකදී අතිශය සංවේදී කරුණක් බවට පත්වන්නේ ඇයි ද, කෙසේ ද යන්න මෙම කෘතියෙන් බොහෝදුරට පැහැදිලි වෙයි.

“ඔබට ජීවිතය හඳුනා ගන්නට, ජීවිතය හදාරන්නට, ජීවිතය සාක්ෂාත් කර ගන්නට ඇති හොඳම කමටහන වන්නේ සුනඛයන් හා සුරතල් සතුන් යයි මම කියමි. ජීවිතයේ අනියත ස්වභාවය ඔවුහු ඔබට මනා ලෙස සාක්ෂාත් කර දෙති. ඒ ඔවුන්ගේ ජීවිත කාලය අපගේ ජීවිත කාලයට වඩා බෙහෙවින් කෙටි වන බැවිනි. ජීවිතයේ ස්වභාවය මිනිස් ජීවිතයකින් වටහා ගැනීම දුෂ්කරය. ඒ සඳහා අපට ජීවිත කාලයක් බලා සිටින්නට සිදු වන බැවිනි. එහෙත් ජීවිතයේ අරුණෝදය, මධ්‍යහ්නය, හා සීතල රාත්‍රිය පිළිබඳ නිහඬ පාඩම සුරතල් සත්තු ඉතා කෙටි කාලයක් තුළ අපට මනාව පිළිබිඹු කර දෙති.

සොබා දහම ඉතා සුමුදු ලෙස. නිර්ලෝභී ලෙස, අපට ප්‍රදානය කරන බොහෝ දෑ සොබා දහම විසින්ම කොතරම් කර්කශ ලෙස, කුරිරු ලෙස ආපසු ලබා ගන්නේද යන ප්‍රශ්නය අප හමුවේ දැවැන්ත ලෙස ඉස්මතු කරන්නේ මේ සුරතල් සතුන්මය. ඔවුන් අප ප්‍රමුදිත කරන කෙටි, සීමිත කාල සීමාව තුළ මේ ප්‍රශ්නය කිසිසේත් හිතට කඩා නොවදියි. ඒ බිහිසුණු නියාම ධර්මය අපට සාක්ෂාත් වන්නේ ඔවුන් නික්ම යාමෙන් පසුවය.”

(මංජු – මරණය හා ස්මරණය – 13 පිටුව)

ස්වකීය සුරතලුන්ගේ සදාකාලික නික්ම යාම කමටහනක් කර ගන්නා ලේඛිකාව තම ස්මරණයන් ඔස්සේ ජීවිතය සහ මරණය පිළිබඳ සියුම් විමසුමක යෙදෙයි. සියුම් වුව ද එය දැවැන්ත වූත් ගැඹුරු වූත් ප්‍රශ්න කිරීමකි. ජීවිත ගවේෂණයකි. සිය කෘතියේ ආරම්භයේදීම ඇය පවසන්නේ තමාගේ සකලවිධ වූ නිර්මාණ අතරින් සත්‍යයට ඉතාම සමීප කෘතිය මෙය වන බව ය. මෙම කෘතිය තුළින් අතිශයින් භාවාතීෂය හැඟීමක්, ළමා සිතුවිල්ලක්, දුර්වල චරිත ලක්ෂණයක් ප්‍රකට වනු ඇතැයි බිය වීමට හෝ පසු බෑමට තමා සූදානම් නැතැයි ඇය අවධාරණය කරන්නේ ද ඒ නිසා ය.

ඒ සමගම ඇය තමාගේ මෙම පෞද්ගලික අත්දැකීමෙන් බොහෝ ඈතට ගමන් කරමින් ජීවිතය සහ මරණය අරබයා යථාර්ථවාදී සංවාදයක යෙදෙන්නේ, අප ජීවිතය තේරුම් ගැනීමට කොතරම් නම් අසමත් වී සිටින්නේ දැයි ප්‍රශ්න කරමිනි. ඒ සා ගවේෂණයක් උදෙසා ඇයව යොමු කරනු ලැබූවේ ද මංජු පිළිබඳ වූ බැඳීම බව නිසැක ය.

ඇය පවසන්නේ ජීවිතය හා ලෝකය නව මානයකින් දකින්නට සිය සුරතලාගේ අභාවය තමාට මාලිමාවක් වූ බව ය.

මංජු මරණය සහ ස්මරණය පිළිබඳ නොමියෙන මතකයක්…

“මා මගේ ජීවිත කාලය සමු දී ඇති ලේ ඥාතීන්, හිතෛෂීන් බොහොමයි. ඒ ඇතැම් අවස්ථා විසින් තියුණු ලෙස මා වේදනාවට පත් කරනු ලැබූවත් ඔවුන් යළි නොඑන බව, මරණය යනු සදාකාලික සමු ගැනීමක් බව ඒ ආශ්‍රිතව තේරුම් ගැනීමට මා සමත් වූ අයුරු, ශක්තිමත් වූ අයුරු පුදුම සහගතයි. එහෙත් ඒ අවබෝධයට අබැටක හෝ ඉඩක් නොදෙමින් මගේ සිත කරළිය කර ගනිමින් තවමත් ඔබ එහි අනේක විධ වූ රංගනයන්හි යෙදෙයි. ඔබ යළි නොඑන බව සිතන සෑම මොහොතකම මා මරු කතරක කුහුඹුවකු බවට පත් වන්නේ ඒ නිසයි. මරණයේ ස්වභාවය නිරීක්ෂණය කිරීමේ නොතිත් පවසකින් පෙළෙමින්, පොතින් පතින්, ලිපි ලේඛනවලින් පවා මරණයේ තතු විමසූ මට, මරණය ආගන්තුක දේශයක් විස්මලන්තයක් කළේ ඔබයි.”

(මංජු – මරණය හා ස්මරණය)

සුරතල් සත්වයා කෙරෙහි වූ බැඳීමේ වපසරිය පෙන්වා දෙමින් ඇය පවසන්නේ “දැන් ජීවිතය පවත්වාගෙන යෑම සඳහා අවිඥානකව හෝ රුකුල් දෙන පිදුරු ගස වී ඇත්තේ ඔබ යළි මා සොයා එනු ඇත යන විශ්වාසය” යැයි කියා ය.

ආයු කාලය සම්පූර්ණ නොකළ සුරතලකුගේ ක්ෂණික නික්ම යෑම දරා ගත නොහැකි ශෝකයක් තරමටම ජීවිතයේ අනියත ස්වභාවය පිළිබඳ විස්මයක්ද ජනිත කරවීම සාමාන්‍යයකි. එය සංවේදී පුද්ගලයින් තුළ අස්ථිර පංචස්කන්ධය පිළිබඳ ස්මරණයන් යළි පණගන්වන්නකි; විමර්ශනය කරවන්නකි.

බුදුන් වහන්සේ ඇතුළු අවිහිංසාවාදය ගුරු කොට ගත් ශාස්තෘවරුන් ද, ක්‍රිෂ්ණමූර්ති, ඕෂෝ, තිබ්බතීය මළපොත ආදිය ද, යේසුස්වහන්සේගේ දේශනා ද, මහාචාර්ය වල්පොල රාහුල හිමි, මහාචාර්ය සුචරිත ගම්ලත් ආදීන් විසින් ලියන ලද පතපොත ද, සොක්‍රටීස් වැනි වියතුන්ගේ අදහස් දැක්වීම්ද, ඒකරාශී කරමින් ලේඛිකාව අප ඒ පිළිබඳ ගැඹුරු සංවාදයකට කැඳවයි.

ඒ අතරතුර තමා විසින් සුරතල් සතුන් කේන්ද්‍ර කර ගනිමින් වරින් වර ලියනු ලැබ, පුවත්පත්වල පළවූ ‘මංජු,’ ‘වරිග මේඝ,’ ‘නොසොයොමි’ ආදී කෙටි කතා මෙන් ම පද්‍ය පන්තියක් ද පොතට ඇතුළත් ය.

මේ සියල්ල අතරේ ඇය අපට පෙන්වා දෙන සුවිශේෂී කාරණය වන්නේ මරණය අපට බෙහෙවින්ම පීඩා ගෙන දෙන්නේ ස්මරණයන් හේතුවෙන් වන බව ය. නමුත් ජීවත්වීමට අවශ්‍ය අනෙකුත් මතකයන් ඉතිරි කර ශෝකය දනවන ස්මරණයන් පමණක් ඉවත් කළ හැකි ඖෂධයක් තවම සොයාගෙන නැති බැවින් මරණයේ වේදනා දරාගැනීම සඳහා ප්‍රඥා සම්පන්නව සන්නද්ධ වීම හැර අන් මගක් නැති බව ද මෙම කෘතියෙන් ඇය අපට හඟවයි. ඉක්බිති පුනර්භවය පිළිබඳ විවිධාකාර මති මතාන්තර ඇසුරින් ඒ පිළිබඳව ද ගවේෂණයක යෙදෙන ඇය, භව ගමනේදී (එවැන්නක් වේ නම්) අප එකිනෙකා හඳුනා ගන්නට තරම් ස්මරණයක් මරණය විසින් ඉතිරි නොකරන බව ද පෙන්වා දෙයි. මේ ධර්ම කාරණා විවිධ අවස්ථාවල අප විසින් අසා දැන ඇති දේවල් ලෙස පෙනී යා හැකි නමුදු මෙම කෘතියේ විශේෂත්වය වන්නේ මිනිසා, තමා අවට සිටින සෙසු සත්ව ප්‍රජාව (සමස්ත විශ්වය) කෙරෙහි ද මීට වඩා අවධානය යොමු කළ යුතු බව, කෘතඥාපූර්වක විය යුතු බව ඉතා මැනවින් පෙන්වා දී තිබීම ය. විශ්වීය මිනිසාට මානව දයාව වැනි කඩඉමක් ළඟ නැංගුරම් ලන්නට හැකි නොවන බව ය, ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

අතීතයේ සිට මිනිසාගේ විද්‍යාත්මක පර්යේෂණ උදෙසා විවිධාකාර සතුන් කොතෙක් නම් ප්‍රමාණයක් ජීවිත පූජා කරන්නට ඇති ද යන්න අප විසින් සිත් පිත් නැත්තවුන් ලෙස අමතක කර දමා ඇති බව ද ඇය පෙන්වා දෙයි. ඊට අමතරව අනාදිමත් කාලයක සිට කෘෂිකර්මාන්තය, භාණ්ඩ ප්‍රවාහනය ඇතුළු අපගේ මුතුන් මිත්තන්ගේ ජීවනෝපායන් සඳහා ද උර දෙමින් ඔවුන්ගේ දරු පවුල් රක්ෂා කරන්නට මුල් වූයේ සතුන් බව ද අප අමතක කර ඇති අයුරු ද ඇය සිහිගන්වයි. ඖෂධ නිෂ්පාදනයේදී මෙන් ම අජටාකාශ තරණයේදී පවා වේදනාකාර මරණයකට මුහුණ දුන් ලයිකා නම් සුනඛ ධේනුව මෙන් ම හාවුන්, මීයන් කුරුල්ලන් ඇතුළු කොතෙක් නම් ජීවීන් මිනිසා වෙනුවෙන් දිවි පුදා ඇතිදැයි ඇය විමසා සිටියි.

“මංජු ස්මරණය සහ මරණය” තුළින් කැත්ලීන් අපගේ හදවත් අවදි කරවන අයුරු පෙන්වා දීම සඳහා මෙම කුඩා සටහනේ අවසානයට ඉතා උචිත යැයි හැඟෙන අවධාරණයකි මේ.

“පෘථිවියේ මහ බලවතා වීමේ වරම මිනිසා සන්තකව ඇති ආකාරයෙන්ම, මිනිස් ලෝකයේ, මිනිසුන් අතරේ මහ බලවන්තයා ලෙස කිරුළු දරා සිටින සත්වයා වන්නේ සුනඛයා ය. බාහු බලයකින්, කාය ශක්තියකින් උපයා ගත්තක් නොවන ඒ වරදානය සොබා දහම විසින් සුනඛයාට තිළිණ කරනු ලැබ ඇත්තේ ආදරය කිරීමේ හැකියාව විසින් ම ය. ආදරය ලැබීමට මිනිසා තුළ වන ලෝලය, සුනඛයාගේ ඒ සහජාසය සමග කදිමට ගැළපෙයි.

මේ ආදරය ජීවිත කාලය මුළුල්ලේම, එක හා සමානව ම “ප්‍රේමය නම් සඳ එළිය සේ අචින්ත්‍යයයි, පාරිශුද්ධයි, සුරම්‍යයි” යන ගේය පදයේ පරිසමාප්තාර්ථයෙන් ම අපට ලබා දෙන්නේ සුනඛයා ය. ළබැඳි මනුෂ්‍යයකුගේ මරණයකදී දුක වාවා ගැනීම සඳහා ඔහුගේ හෝ ඇයගේ වරදක්, දුර්ගුණයක් ගැන මතක් කර ගැනීමට කලාතුරකින් හෝ අපට හැකි වෙතත් සුනඛයකු සම්බන්ධයෙන් එවැනි අත්හදා බැලීමක් කිරීමට අපි සදාකල්හිම අසමත් වෙමු.”

● තිස්ස ප්‍රේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment