‘මං පොර’ ජාතකය

1355

මේ අවුරුද්දේ පළමු වන පුරපසළොස්වක පොහොය යෙදී ඇති අද දින ඉතා අවාසනාවන්ත සිදුවීම් දෙකක් පිළිබඳ සාකච්ඡා කිරීමට අපට සිදුවී තිබේ. මෙයින් පළමුවැන්න නම් ව්‍යාජ දළඳා මාලිගාවක් ඉදිකිරීමේ පුවතකි. කුරුණෑගල වදාකඩ පාරේ පොතුහැර යන ස්ථානයේදී ජානක සේනාධිපති නමැත්තකු මේ ව්‍යාජ දළදා මාලිගාව ඉදිකරන බවත් දේශීය හා විදේශීය ගිහි පැවිදි බෞද්ධයන් රවටා මුදල් හා රත්‍රන් එක්රැස් කරන බවත් කියමින් මල්වතු අස්ගිරි මහානායක භික්‍ෂූන් වහන්සේ දෙනම ද ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ද ජනාධිපතිතුමා වෙත ලිපියක් යොමුකර තිබේ. වසර 2500 ක ඉතිහාසයක් ඇති ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ මේ රටේ විදේශීය ආක්‍රමණ පැවැති විවිධ කාලවලදී විවිධ විහාරාරාමවල සඟවා තබන ලදී. ඒ සෑම විහාරාරාමයක්ම පසුකාලයේදී දළදා මන්දිරයක් ලෙස හඳුන්වනු ලැබූ අතර අවසානයට ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කරන ලද මහනුවර ශ්‍රී දළදා මාලිගාව අවසානයටම ඉදිකරන ලද දළදා මාලිගාව බවට පත්වේ. මෙතැනින් එහා දළදා මාලිගා ඉදිකිරීමේ අවශ්‍යතාවක් නැත. මේ රටේ රජවූ සෑම කෙනෙකුම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ස්වකීය ආරක්‍ෂාව යටතේ තබා ගැනීමට පුරුදුව සිටියේය. දැනට දළදා වහන්සේගේ ස්ථාවර වාසස්ථානය වන මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙන් එකී දන්ත ධාතූන් වහන්සේ වෙන තැනකට වැඩම වීමට කා තුළවත් අදහසක් නැත. එසේ තිබියදී කිසියම් පුද්ගලයෙක් තවත් අලුත් දළදා මාලිගාවක්

ඉදිකරන්නේ නම් හෙතෙම සම්පූර්ණ පිස්සකු බව උපකල්පනය කළ හැකිය. ඊට අමතරව ඔහු පට්ට වංචාකාරයකු යන බවටද මතයක් ගොඩනැගීමට පුළුවන. පොතුහැර හාදයා දළදා මාලිගා කර්මාන්තයක් වෙනුවෙන් සල්ලි සහ රත්තරන් එකතු කරන්නේ නම් එය ක්‍රිමිනල් වැඩක් ලෙස සැලකිය හැකිය. කෙනෙක් ගාණක් උපයා ගැනීම සඳහා ආගමක් පාවිච්චි කිරීම හිඟන වැඩකි. හැබැයි ආගම විකුණා උපයන ධනස්කන්දය තරම් මුදලක් වෙන වැඩවලින් උපයාගත නොහැකිය. බුදුන්වහන්සේ ශ්‍රී ලංකාවේ උපන් බවත් දඹදිව තිබුණේ ශ්‍රී ලංකාවේ බවත් බෞද්ධ සාහිත්‍යයේ එන අනෝමා ගඟ, රෝහිණී නදිය, ගංගා ගඟ ලංකාවේ තිබෙන බවද කියන භික්‍ෂූන් වහන්සේ සහ ගිහියන් කට්ටියක් මේ දිනවල මතුව සිටිති. බුදුන් වහන්සේ සත් සතිය ගතකළ ස්ථාන මේ මේ යැයි කියා පෙන්වීමටද ඔවුනට පුළුවන. බුදුන් වහන්සේ කිරිපිඬු දානය වළඳා අනෝමා ගංතීරයේ සිට ආපසු වැඩම කළ අඩි පාරද හඳුනාගත් පොරක් මේ අතර සිටී. කෙසේ හෝ වේවා බුදුන්වහන්සේ ඉන්දියාවේ උපන් බවත් එහිදී බුදුවී සත්සතිය ගතකළ බවත් වසර 2500 ක් ස්ථාපනය වූ මතයකි.

මේ මතවලට පහර දීමෙන් ජනප්‍රියත්වයට පත්වී ගාණක් කපාගෙන ජීවිතය ගැටගසා ගන්නා ගිහියෝද, චීවරධාරීහුද මෙකල බහුලය. එසේම එවැන්නෝ එකලද සිටියහ. පොතුහැර හාදයා දළදා මාලිගාවක් හදා තැන්පත් කරන්නට අපේක්‍ෂා කරන්නේ කුමක්ද? භෞතික වශයෙන් වැඩ වාසය කරන ඇසට දැකිය හැකි එකම දළදා වහන්සේ තැන්පත්ව ඇත්තේ මහනුවර ශ්‍රී දළදා මාලිගය තුළ පමණි. මෙයට සරල උදාහරණයක් කියමු. කොළඹ ජනාධිපති මන්දිරයක් තිබේ. නුවරද ජනාධිපති මන්දිරයක් තිබේ. මේ රටේ ජනාධිපති කොළඹ සිටින විට කොළඹ ජනාධිපති මන්දිරයත් නුවර සිටින විට නුවර ජනාධිපති මන්දිරයත් පාවිච්චි කරයි. ඒ අතර කිසියම් පුද්ගලයෙක් කොට්ටාවේ හෝ වත්තල හෝ කහටගස්දිගිලියේ හෝ ස්වකීය පුද්ගලික ධනයෙන් තවත් ජනාධිපති මන්දිරයක් සාදන්නේ නම් එතැන පොඩි අවුලක් තිබේ. සමහරවිට මානසික රෝගියකු විය හැකි එම පුද්ගලයා තමන් හදන ජනාධිපති මන්දිරයේ පදිංචි වී තමන් රටේ ජනාධිපති බව කියමින් පිස්සුවක් කෙළීමට ඉඩ ඇත. පොතුහැර හාදයා විසින් සාදනු ලබන දළදා මන්දිරය තුළ ව්‍යාජ වස්තුවක් තැන්පත් කර ඒ දන්ත ධාතූන් වහන්සේ ලෙස හඳුන්වාදී රට තුළ විශාල අවුලක් ඇතිකිරීමට කිසියම් පිරිසක් උත්සාහ කරනවා විය යුතුය.

මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් සහ දියවඩන නිලමේ විසින් ජනාධිපතිතුමා වෙත යොමුකර ඇති ලිපියෙහි සේපාල් අමරසිංහ නමැති අප්‍රකට පුද්ගලයකු ගැන සඳහන් වේ. මේ නමින් සිටින මාධ්‍යවේදියකු ගැන අදහසක් නොවුණු බැවින් ඔහු පිළිබඳ සෙවීම සඳහා අපි අන්තර්ජාලය පිරික්සුවෙමු. එතැනදී අපට ඔහුගේ යූටියුබ් චැනලය හමුවිය. බැලූ බැල්මට මේ පුද්ගලයා අසරණයකු බව පෙනේ. ඔහු සිය යූටියුබ් චැනලය සඳහා එකම එක කැමරාවක් පාවිච්චි කරන අතර ඉදිරි කටයුතු සඳහා චිත්‍රාගාරයක් තනාගැනීම සඳහා ජනතාවගෙන් ආධාරද ඉල්ලයි. එබැවින් මේ අසරණ මහතා යාචකයකු ලෙස සලකා බැහැර කිරීමට අප උත්සාහ කළද ඔහු කියන කතා ඇසීමෙන් පසු අප තුළ මහත් පිළිකුලක් ඇතිවිය. විවිධ සමාජ ප්‍රශ්න කතා කරමින් අතර මැදදී ඉංග්‍රීසි වචන කිහිපයක්ද යොදමින් තමන් ගුරු පරම්පරාවකින් එන බවද මෙනෙහි කරමින් හෙතෙම බුදුදහමටත් භික්‍ෂූන් වහන්සේටත්, දේශපාලනඥයන්ටත් පහර දෙමින් තමන් මාරම සිවිල් බලයක් ඇති ජර්නලිස්ට් කෙනෙකු බව පෙන්වීමට ඉතා ළාමක උත්සාහයක යෙදෙයි. මෙවැනි ක්‍ෂණික දාර්ශනිකයන් විවිධ පුද්ගලයන්ට සහ මතවාදවලට පහර දෙමින් දේශනා කරන්නේ තමා පොරක් බව කියන ‘මං පොර’ ජාතකයයි.

ඒ මිනිහා ඒ මිනිහාට පොරක් වුවද අපට පොරක් නොවේ. ඔහුගේ නම මේ රටේ 99% කටත් වඩා නොදන්නා බැවින් ඔහුගේ යූටියුබ් චැනල් එකට හිට් නැති බැවින්ද අප එතරම් කළබල විය යුතුද නැත. හැබැයි මෙතුමා ශ්‍රී දළදා මාලිගයට පහර දෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් නෛතික පියවරක් ගත යුතුය. ආගම යනු කෙනෙකුගේ පෞද්ගලික දෙයකි. ජාතිය, කුලය සහ ප්‍රේමයද මෙවැනිම පෞද්ගලික දේවල්ය. කිසියම් කෙනෙක් මේ කියන කාරණාවලට පහර දෙනවිට අනෙක් අයට දැඩි මානසික වේදනාවක් ඇතිවේ. එබැවින් සේපාල් අමරසිංහ නමැති සිඟිත්තා තම දැනුම් පරාසය තුළ ඇති පුංචි පුංචි දේවල් හැර ලොකු ලොකු දේවල් කතා නොකළ යුතුය. එසේ කරන්නට ගිය විට මේ සිඟිත්තා අස්වාභාවික වැඩිහිටියකු වීමට උත්සාහ කරන බව අපට පෙනී යයි. එය එච්චර හොඳ නැත.

advertistmentadvertistment
advertistmentadvertistment