මකබෑවීමේ කලාව

1853

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367 ක් ආනයන සීමා කිරීමට රජය කටයුතු කර තිබේ. මෙහිදී ආනයන සීමාව යන යෙදුම නිසි ලෙස අර්ථකථනය කරගත යුතුය. ආනයනය තහනම් කළා යැයි කීවොත් එයින් හැෙඟන්නේ පිටරට බඩු ගෙන්වීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවයි. එහෙත් ආනයනය සීමා කළා යැයි කී විට සීමා කරන ප‍්‍රමාණයේ සීමාවක් නැත. ආණ්ඩුව මෙය කිරීමට තිබුණේ කොවිඞ් 19 වසංගතය පටන් ගත් මුල් කාලයේදීම ය. ඒ වන විටත් ශ‍්‍රී ලංකාව ඩොලර් අර්බුදයකට මුහුණදෙමින් සිටි අතර ඒ බව දැන සිටියේ මහ බැංකුව පමණි. ඩොලර් හිඟය ගැන සාමාන්‍ය ජනයා දැන ගන්නා විට රටටම කෙළ වී හමාර ය. තෙල් හිඟ වන්නේත්, බෙහෙත් හිඟ වන්නේත්, පාන්පිටි හිඟ වන්නේත්, ගෑස් හිඟ වන්නේත් ඩොලර් හිඟය නිසා බව ජනතාවට කියන ලද්දේ පත්තර, ටීවී සහ රේඩියෝවලිනි. පිටරටට අනවශ්‍ය ලෙස ඩොලර් යැවීම වළක්වන ලෙසත් පිටරටින් සුඛෝපභෝගී බඩු ගෙන්වීම නවත්වන ලෙසත් ඉල්ලන ව්‍යාපාර කිහිපයක් එවිට ක‍්‍රියාත්මක විය. එහෙත් ආණ්ඩුවේ ටියුබ්ලයිට් ස්වභාවය නිසා එම ඉල්ලීම අවබෝධ වීමට පමා විය. විමල් වීරවංශ කියූ පරිදි පසුගිය කාලයේදී ඇපල් කිලෝ පන්දහසකට වඩාත්, දොඩම් කිලෝ පන්දහසකට වඩාත් පිටරටින් ගෙන්වා තිබිණි. ඊළඟට කොළපාට මිදි, රතුපාට මිදි, ඇට සහිත මිදි, ඇට රහිත මිදි, පෙයාර්ස්, කිවිෆුට්, දෙළුම්, ඇතැම් පත්තක්කා වර්ග, ඇතැම් කොමඩු වර්ග, ස්ට්‍රෝබෙරි, බ්ලැක්බෙරි, බ්ලූබෙරි පමණක් නොව, කෙසෙල් ගෙඩිවලින් නිෂ්පාදනය කරන ලද ආහාර ද්‍රව්‍ය ද ගෙන්වා තිබිණි. මෙහිදී කෙසෙල් ගැන විශේෂයෙන් සඳහන් කළ යුතුය. කෙසෙල් සම්පූර්ණ ගෙඩි වශයෙන් ගෙන්වන්නේ නැත. ලංකාවේ නිෂ්පාදනය කරන කැවැන්ඩිෂ් වර්ගයේ පටක රෝපිත කෙසෙල් පෙති ගසා විජලනය කොට ගෙන්වීම සිදුකරන ලදී. මෑතක් වන තුරු මෙරටට ඉන්දියාවෙන් කජු ද ගෙන්වනු ලැබීය. ඉන්දියාවේ කජු මිලෙන් අඩු ය. ඒවා මෙරට කජු සමඟ මිශ‍්‍රකර විකුණනු ලැබේ. මේ වන විට මේ රටේ සුපර් මාර්කට් වැඩිහරියක බඩුවලින් 70% ක් පමණ රට බඩුය. රටේ මෙතරම් සොසේජස් හදද්දී පිටරටින් සොසේජස් ගෙන්වනු ලැබේ. සලාමි සොසේජස් වර්ගය කෙළින්ම එන්නේ ඉතාලියෙනි. කළුකුම් සොසේජස් ප‍්‍රංශයෙන් ගෙන්වනු ලැබේ. ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ඌරුමස් බේකන් කිලෝග‍්‍රෑමයක් රුපියල් 2400 කට මිලට ගත හැකිය. ඔස්ටේ‍්‍රලියාවේ නිෂ්පාදනය කරන එවැනිම බේකන් කිලෝග‍්‍රෑමයක් ලංකාවේ රුපියල් දහදාහකි. ස්ථිර වශයෙන් මේවා අනුභව කරන අය සිටිති. ව්‍යාපාරිකයන් මේවා ගෙන්වන්නේ පිස්සුවට නොවේ. කිසිදු වියළි මුද්දරප්පලම් වර්ගයක් ශ‍්‍රී ලංකාවේ නිපදවනු නො ලැබේ. එහෙත් පිටකොටුවට ගිය විට කේක් බඩු කඩවල රටින් ගෙන්වූ මිදි, දෝසි දමන ලද චෙරි, දෝසි දමන ලද මිශ‍්‍ර පලතුරු යනාදිය අට්ටි ගසා තිබේ. මෙරට කේක් බඩු කඩවල ඇති එකම දේශීය ද්‍රව්‍ය පුහුල්දෝසි පමණි. ඒ පුහුල්දෝසිවලට ද සීනි ගෙන්වන්නේ පිටරටිනි.

ආනයනය සීමා කරන ලද රට බඩුවල ලැයිස්තුව දැන් නිකුත් වී තිබේ. ඒවායේ ගණන 360 ඉක්මවයි. ධීවර සංස්ථාවේ මිරිදිය මත්ස්‍ය ව්‍යාපෘතිය යටතේ තිලාපියා මසුන් ඕනෑ තරම් බෝකරනු ලැබේ. එසේ තිබියදී ෆිලට් කරන ලද හෙවත්, කටු සහ සම ඉවත් කරන ලද තිලාපියා මාළු ලංකාවේ සුපර් මාර්කට්වල ඇත. කෘත‍්‍රිමව නිෂ්පාදනය කරන ලද කකුළු මස් ජපානයෙන් ගෙන්වන අතර, ග‍්‍රෑම් 100 රුපියල් 650 කි. එම කකුළු මස්වල කටු නැත. එළු මස්, බැටලූ මස්, හරක් මස් පමණක් නොව ඌරු මස් ද පිටරටින් ගෙන්වනු ලැබේ. තරු 5 හෝටල්වල කෑම පිසිනු ලබන්නේ මේ ආනයනික මාංශවලින් පමණි. තරු 5 පමණක් නොව තරු එකක්වත් නැති කොළඹ හෝටල්වල ද පිටරටින් ගෙන්වූ ඌරු මස් පාවිච්චි කෙරේ. උදාහරණයක් වශයෙන් කොළඹ තිබෙන එක්තරා බුටික් හෝටලයක දිවා ආහාර වේල රුපියල් 2000 කි. කීරි සම්බා බත්, පිටරටින් ගෙන්වූ ඌරුමස් කලූ කරිය, ගොටුකොළ සම්බෝලය, පරිප්පු, පිපික්‍ඳ්ඳා සලාද සහ පපඩම් මෙම බත් පිඟානට ඇතුළත් ය. මේ ආහාරවේල මොනම හේතුවකටවත් පිඟන් 200 ක් ඉක්මවා නොපිසිනු ලැබේ. එය ද දවල් 12.00 ට පෙර ගොස් ඇණවුම් නොකළහොත් මිලට ගැනීමට නොහැක. ශ‍්‍රී ලංකාවේ ආර්ථික සංස්කෘතිය තුළ මෙවැනි පිස්සු වැඩ ඕනෑ තරම් ඇත. බණ්ඩාරනායක මැතිනිය. සමඟි පෙරමුණු ආණ්ඩුව කරන කාලයේ දී රජරට මිදි වත්ත නමින් මිදි වත්තක් උතුරු මැද පළාතේ ආරම්භ විය. මෙහිදී ඉතා හොඳ තත්ත්වයේ මිදි වවන ලදී. පසුව එම මිදි වගාව යාපනයට ද පැතිරිණි. අදටත් එම මිදි වගාවන් යාපනය දිස්ත‍්‍රික්කයේ ඇති අතර, එම මිදි වලින් වයින් ද පෙරිය හැකිය. යුරෝපීය රටවල් මිදිවල තත්ත්වය නිර්ණය කරන්නේ ඒවායින් වයින් පෙරීමට හැකි ද නොහැකි ද යන කාරණය මතය. ඒ අනුව ජාත්‍යන්තර මට්ටමේ මිදි අද වන විට ලංකාවේ වවනු ලැබේ. එහෙත් ඒවාට මාර්කට් එකක් නැත. මිදි විශාල වශයෙන් ඉතිරි වන බැවින් යාපනය කන්‍යාරාම කිහිපයක වයින් පෙරීම සිදු වේ. මේ අනුව මිදි පමණක් නොව වයින් ද ශ‍්‍රී ලංකාව තුළම නිෂ්පාදනය කිරීමෙන් රටට ලබාගත හැකි ආර්ථික වටිනාකම අඩු තක්සේරුවට ලක්කර ඇත.

ශ‍්‍රී ලංකාව ඉතා පහසුවෙන් ස්වයංපෝෂණය කළ හැකිය. ඒ සඳහා අවශ්‍ය විනය දෙවර්ගයක් තිබේ. පළමුවන විනය වූ කලී කටේ විනයයි. දෙවැන්න ආර්ථික විනයයි. කටේ විනය යනු රටේ නිපදවන කෑම, කෑමට දිව හුරුකර ගැනීමය. ආර්ථික විනය යනු රටේ නිපදවන භාණ්ඩ වැඩි වැඩියෙන් මිලට ගැනීමට පුරුදු වීමය. මේ දෙකෙන් එකක්වත් මේ රටේ නැත. සියලූ දෙනාම ප‍්‍රිය කරන්නේ පිටරටින් ගෙන්වන ලද ෆොරින් බ‍්‍රෑන්ඞ්ස් මිලට ගැනීමටයි. මේ ආසාවල් තිබෙන තුරු මේ රට කිසි ලෙසකින්වත් ස්වයංපෝෂිත රාජ්‍යයක් බවට පත්කළ නොහැකි අතර, රට බඩුවලට ආසාවෙන් ඒවායෙහි ගැලී මකබෑවී යන රාජ්‍යයක් ලෙස ඉතිහාසයට එකතු වනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment