ප්‍රවාහන ඇමැති බිමල් රත්නායක මහතා බලධාරීන්ට කිසිම දැනුවත් කිරීමක් නොකර ඊයේ (20දා) මොරටුවෙන් යන කාර්යාල දුම්රියේ නැඟී කොළඹ කොටුව දක්වා ගමන් කර ඇත. එහිදී වත්මන් දුම්රිය සේවයේ ඇත්ත තත්ත්වය සියැසින්ම දැක ගැනීමට ඇමැතිවරයාට හැකි වී ඇති අතර දුම්රියේ හිටගෙන තෙරපී යන මගීන් දැක ඇමැතිවරයා පුදුමයට පත්ව ඇත.
ඊයේ උදෑසන 7.13 ට මොරටුවෙන් යන කාර්යාල දුම්රියකට ගොඩ වුණු බිමල් රත්නායක ඇමැතිවරයා එම ගමනේදී දුම්රිය ආශ්‍රිත බොහෝ ගැටලු හඳුනාගෙන ඇති බව ප්‍රවාහන අමාත්‍යංශයේ මාධ්‍ය අංශය පවසයි.
සාමාන්‍ය මගියකු ලෙස ගිය මේ ගමනේදී බොහෝ මගීන් සේම ඇමැතිවරයාටද හිටගෙන යෑමට සිදුව ඇත. ඔහු ගමන් කළ දුම්රිය ද විනාඩි 13ක් පමණ ප්‍රමාද වී පැමිණ ඇති අතර ඇතැම් දුම්රිය පොළවලදී ඇමැතිවරයා දුම්රියෙන් බැස ක්ෂණික නිරීක්ෂණ සිදු කර නැවත ගොඩවී පැමිණ ඇත.
එම දුම්රිය එතරම් පැරණි නොවූව ද විදුලි පංකා තිබූ බවට සලකුණු මිස කිසිදු විදුලි පංකාවක් නොමැති බව ද ආබාධිත අයට දුම්රියට ගොඩවීමට පහසුකමක් නැති බව ද ඇමැතිවරයා නිරීක්ෂණය කර ඇත.
දුම්රිය මාර්ගය දෙපස අපිරිසිදු තැන්, අපිරිසිදු වැසිකිළි ආදිය මෙන්ම අවදානම් සහිත, ඉතා පැරණි දුම්රිය ධාවනය වන බව ද එහිදී අනාවරණය කරගෙන තිබේ.
අකිත පෙරේරා