විසි හය හැවිරිදි අවිවාහක තරුණයකු සිය මරණයට වෙනත් කිසිවකු සම්බන්ධ නොමැති බවට ලිපියක් ලියා තබා සිය පුරුෂ ලිංගය මුලින් කපා නිවසේ මේසයක් මත තබා නිවසේ කාමරයක් තුළ ගෙල වැලලා ගෙන සියදිවි හානි කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හබරණ පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.
ලද පැමිණිල්ලකට අනුව හබරණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පාලිත ඉලංගසේකර මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක එස්.සිරිවර්ධන මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් ඒ පිළිබඳව විමර්ශන කටයුතු කරති. හබරණ ත්‍රිකුණාමලය පාරේ හබරණ දුම්රිය ස්ථානය අසල පිහිටි නිවසක පදීංචිව තරුණයකු මෙසේ මියගොස් ඇත.
ඔහු පෙරේදා (02) පෙරවරු 11.30 ට පමණ මෙසේ ගෙල වැලලා ගෙන සියදිවි කර ගෙන තිබේ.
කලක සිට මානසික ආබාධයකින් පෙළී සිට ඇති ඔහු ඉකුත් 01 දා පොළොන්නරුව මහ රෝහලේ පැවැති වෛද්‍ය සායනයකට සහභාගි වී ප්‍රතිකාර ලබා ගෙන නිවසට පැමිණ සිටියදී පසුදා (02 දා) මෙලෙස සිය දිවි නසා ගෙන ඇති බව ඔහුගේ පියා හබරණ පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත.
මියගිය තරුණයාගේ මව ද මානසික ආබාධයකින් පෙළෙන බවත් පියා අංශභාග රෝගයෙන් පෙළෙන බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම තරුණයා අධික වේදනාව හේතුවෙන් මෙසේ සිය දිවි නසා ගන්නට ඇති බව පොලිසිය සැක පළ කරයි.
මියගිය තරුණයාගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (03) පොළොන්නරුව මහ රෝහලේ දී සිදු කිරීමට නියමිතව තිබිණි. එම පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඉදිරිපත් කෙරෙන නිගමනය අනුව ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිත බව හබරණ පොලිසිය පවසයි.
අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු