මට ඕනෑ විවිධ ශානරවල චිත්‍රපට හදන්න – අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන්

295
කිංග් හන්තර්, කෝ මාර්ක් නෝ මාර්ක්, 5 සමත් ඔබ වෙත තිළිණ කළ ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ නවතම සිනමා නිර්මාණය ‘කාසි වාසි’ එළැඹෙන 23 වැනිදා සිට රටපුරා සිනමාහල්වල තිරගත කිරීමට නියමිතය. මෑත කාලයේ කතාබහට ලක්වන අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍ය ගොන්නක් ඔබ වෙත ගෙනඑන සිවගුරුනාදන් සමග ‘දිවයින සිනමා කලා’ මේ කතාබහ ‘කාසි වාසි’ සිනමා සිත්තම සහ ඔහුගේ ටෙලිනාට්‍ය කලාව ගැනය.
මට ඕනෑ විවිධ ශානරවල චිත්‍රපට හදන්න - අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන්

දිගු නිහැඬියාවකට පසුව ඔබ අධ්‍යක්ෂණය කළ කාසි වාසි එළැඹෙන 23 වැනිදා සිට තිරගත කිරීම ආරම්භ කිරීමට සුදානම් වෙනවා. මුලින්ම ඒ ගැන කතා කළොත් ?

ඇත්තටම දිගු නිහැඬියාවක් ගත්තේ නැහැ. එකක් මට නිෂ්පාදකවරයකුගෙන් ආරාධනාවක් ලැබුණේ නැහැ. ඊට වඩා විශේෂ කාරණාව වන්නේ ටෙලිනාට්‍ය එක්ක අතිශයින්ම කාර්යබහුල වුණා, වෙන කිසිම දෙයක් හිතන්න පතන්න බැරි විදිහට. ඒකත් එක්කයි චිත්‍රපටයක් කිරීම අතපසුවීම සිදුවුණේ. කොහොම හරි ගිරා මට විශේෂයෙන් තිර පිටපතක් ලෑස්තිකරලා තිබෙනවා කිව්වහම වගේම ඒක නිෂ්පාදනය කරන්න අනුරාධ බී. රැකව, ශ්‍රී ලාල් වික්‍රමගේ ලෑස්ති වුණා කිව්වහම මම චිත්‍රපටය නිර්මාණය කළා.

කාසි වාසි ප්‍රහසනාත්මක සිනමා නිර්මාණයක් නේද?

මේක අවමංගල්‍ය ශාලාවක් කේන්ද්‍රකරගත් ප්‍රහසනාත්මක සිනමා නිර්මාණයක්. මගේ චිත්‍රපට ජීවිතය ගත්තහම චිත්‍රපට හතරයි කරල තියෙන්නේ. ඒ හතරෙන් තුනක්ම ප්‍රහසන චිත්‍රපට.

අධ්‍යක්ෂවරයෙක් විදිහට ප්‍රහසනාත්මක නිර්මාණ කරන්න පෙලඹෙන්නේ ඇයි ?

ප්‍රහසනාත්මක නිර්මාණ නැතිනම් චිත්‍රපට කරන්නම ඕනෑ කියලා අදහසක් නැහැ. ඇත්ත වශයෙන්ම මට වුවමනාව තියෙන්නේ විවිධ ශානරවල චිත්‍රපට නිර්මාණය කරන්න. නමුත් අවාසනාවකට හෝ වාසනාවකට මට හැම තිස්සේම නිෂ්පාදකවරු ගෙනත් දෙන්නේ ප්‍රහසනාත්මක චිත්‍රපට. මේ අවුරුද්දේවත් ඒ අදහස වෙනස් කරන්න ඕනෑ කියන අදහසේ ඉන්නවා. අනික මේ අවුරුද්දේ චිත්‍රපටවලට වැඩිපුර අවධානය යොමුකරලා චිත්‍රපට දෙක තුනක්වත් කරන්න හිතාගෙන ඉන්නවා. ඒකට හොඳ තිරපිටපත් වගේම නිෂ්පාදකවරු හම්බවෙන්නත් ඕනෑ.

අතිශය ජනාදරයට පත් සිකුරු හතේ, සුහද කොකා, කතුරු මිතුරු පිටපත් රචනා කළ ගිරිරාජ් තමයි මෙහි පිටපත රචනා කර තිබෙන්නේ. ඔහුගේ පිටපතක් අධ්‍යක්ෂණය කරන්න විශේෂ හේතුවක් තිබුණා ද?

මගේ ටෙලිනාට්‍ය ජීවිතයේ සද්ධාමංගලයි මගෙයි සුසංයෝගය ඉතාම හොඳට පෑහෙනවා. ඒ වගේම චිත්‍රපටයක් ගත්තහම හාස්‍යෝත්පාදක චිත්‍රපටයක් නම් ඒ චිත්‍රපටයට අවශ්‍ය කරන දේවල් ටික පෑහීම ගිරාගෙයි මගෙයි සියයට සීයයි. ගිරා දන්නවා මට ඕනෑ මොකක්ද කියලා. මම දන්නවා ගිරා ලියන්නේ මොකක්ද කියලා සහ ඒක කරන්නේ කොහොමද කියලා. හාස්‍යෝත්පාදක වැඩක් නම් ඒක මම කරන්න ඕනෑ ගිරා එක්ක කියලා මගේ හිතෙත් ලොකුවට අදහසක් තියෙනවා.

මට ඕනෑ විවිධ ශානරවල චිත්‍රපට හදන්න - අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන්

හාස්‍යෝත්පාදක චිත්‍රපට ලංකාවේ මිනිස්සු මොන විදිහට භාර ගනීවිද කියන අභියෝගය ඔබේ හිතේ තියෙනවා ද?

මේක දුවයි ද නැති ද කියලා අභියෝගයක්වත්, සැකසංකාවක්වත් නැහැ. හොඳ චිත්‍රපටයක් කළොත් ඒ චිත්‍රපටය දුවයි කියන විශ්වාසය මා ළඟ තියෙනවා. මම නෙමෙයි කවුරු කළත් ඒක දුවනවා. ඒකෙ අවුලක් නැහැ. අනික එහෙම පැකිළීමක් කිසිම කාලයක මගේ තුන්හිතකවත් තිබිලා නැහැ.

ඔබේ නිර්මාණවල ඉන්න නළු නිළියන් විවිධාකාරයෙන් ප්‍රේක්ෂකයන් අතරට ගෙනඑන්න නිතරම උත්සාහ කරනවා ?

හැම නළුවෙක් ළඟම විවිධ දක්ෂතා තිබෙනවා. අපි තමයි මේක හැමතිස්සේම කොටුකරන්න හදන්නේ. හාස්‍යෝත්පාදක නළුවෙක් නම් ඔහුට හැමදාම හම්බවෙන්නේ ඒ වගේ චරිත. මම කියන්නේ එහෙම කොටුකරන්න නරකයි. ඕනෑම නළුවෙක් ළඟ විවිධ දක්ෂතා තිබෙනවා. ඒක මතුකරගන්න එක තමයි මම කරන්නේ.

මට ඕනෑ විවිධ ශානරවල චිත්‍රපට හදන්න - අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන්

වර්තමාන සිනමාව පිළිබඳව ඔබ මොනවගේ කියැවීමකද ඉන්නේ ?

ලෝක සිනමාව ගත්තත් නෙට්ෆිල්ක්ස් වගේ ආයතන ඇවිත් වෙන අර්බුදකාරී තැනක තියෙනවා. ලංකාවේ සිනමාව ගැන නම් මට තේරෙන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. මැදිහත්වීම් සහ අපි බෙදිලා ඉන්නවා වැඩියි කියලයි මට හැඟෙන්නේ. අපි එකඑක්කෙනාට ඇඟිල්ල දික්කරනවා ඇරෙන්න අපි එකට එකතුවෙලා සාධාරණ මැදිහත්වීමක් සිදුකරන්නේ නැහැ කියලත් හැඟෙනවා. තව අපි තෝරාගත්තු කථාවස්තු ගත්තත් අපිට ඕනෑ මහාප්‍රාණ කථාවස්තු තෝරාගෙන ලොකු ලොකු වැඩ කරන්න. මලයාලම් සිනමාව ගත්තත් පොඩි ප්ලොට් එකකින් ඔවුන් විශාල කථාවක් කියනවා. එතකොට ඒක කරන්න අපි උනන්දුවෙන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්නේ ලොක බජට් එකකට ගිහිල්ලා ලොකු කාලයක් නාස්ති කරගෙන ලොකු කැමරා දාගෙන අපි මෙහෙම කරා කියලා කියන්නනේ. එහෙම නැතිව අපේ රටේ තිබෙන සිනමාශාලා එක්කත් අපිට ඉන්න ප්‍රේක්ෂක පිරිස එක්කත් එක්ක උචිත දෙයක් කරන්න ඕන වගේම කරන විදිහ ගැන කතාබහක් තියෙන්න ඕන කියන එකයි මගේ හැඟීම.

දිනේෂ් විතාන

මට ඕනෑ විවිධ ශානරවල චිත්‍රපට හදන්න - අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන්

advertistmentadvertistment