මට ඕනෑ වුණේ බයිස්කෝප් එකක් හදන්න – අධ්‍යක්‍ෂ අරුණ ජයවර්ධන

119

සම්මානනීය චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයකු මෙන්ම තිර පිටපත් රචකයෙකු වූ අරුණ ජයවර්ධනගේ නවතම සිනමා නිර්මාණය ‘1970 ලව් ස්ටෝරි’ය. ඔහු මීට ප්‍රථම ‘ඩාන්සින් ස්ටාර්’ සම අධ්‍යක්‍ෂණය (2019), ‘නිකිනි වැස්ස’ (2013) සහ හැපී බර්ත්ඩේ (2022) යන චිත්‍රපට ප්‍රේක්‍ෂකයා වෙත තිළිණ කර ඇති අතර ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘මරියා’ චිත්‍රපටය ද ඔහුගේ නිර්මාණයකි. අද (9 දා) සිට තිරගත කිරීම ඇරඹෙන ‘1970 ලව් ස්ටෝරි’ සිනමා නිර්මාණය ගැන අරුණ ජයවර්ධන සමග ‘සිනමා කලා’ කළ සංවාදයකි.

මට ඕනෑ වුණේ බයිස්කෝප් එකක් හදන්න - අධ්‍යක්‍ෂ අරුණ ජයවර්ධන
  • 1970 ලව්ස්ටෝරි සිනමා නිර්මාණය අධ්‍යක්‍ෂවරයාගේ භූමිකාවට ලැබෙන්නේ මොන වගේ ප්‍රතිචාරද?

මේ චිත්‍රපටය මීට කලින් අපේ අධ්‍යක්‍ෂවරුන්ගේ සංසදයෙන් සිනමා නිර්මාණ උළෙලේදී එක්වරක් තිරගත කළා. එතැනින් පසුව තමයි ප්‍රතිචාර ලැබෙන්න පටන් ගත්තේ. ‘නිකිණි වැස්ස, මරියා’ කියන චිත්‍රපටවලට වඩා වෙනස් නිර්මාණයක් තමයි කරන්න වුවමනා වුණේ. මට ඕනෑ වුණේ බයිස්කෝප් එකක් කරන්න. ‘ඩාන්ස් ස්ටාර්’ චිත්‍රපටයේ සම අධ්‍යක්‍ෂවරයා විදිහට මෙවැනිම නිර්මාණයක් ඉදිරිපත් කළා. ඉතිං මට නැවතත් ආසාවක් තිබුණා ඒ බයිස්කෝප් එක කරන්න. ඒ බයිස්කෝප් එක සඳහා ගත්තු උත්සාහය තමයි 1970 ලව් ස්ටෝරි කියන්නේ.

  • මෙහි පිටපත රචනය සිදුවන්නේ ඔබ අතින්මයි?

ඔව් ඇත්තටම මීට අවුරුදු හයකට කලින් තමයි මෙහි පිටපත රචනය සිදුකරනු ලබන්නේ. මට ඕනෑ වුණා වෙනස්ම තේමාවකින් කතාවක් නිර්මාණය කරන්න. අපි හැමදාම දකිනවා වීරයා, දුෂ්ඨයා, පෙම්වතිය කියන රාමුවෙන් මිදිලා වෙනස් දෙයක් කරන්නයි මට ඕනෑ වුණෙ.

  • ලව්ස්ටෝරි නිර්මාණය කරලා අවුරුදු හයකට පස්සේ තමයි තිරගත කිරීම සිද්ධ වෙන්නේ?

මේ චිත්‍රපටයේ පසු නිෂ්පාදන කටයුතු වෙනුවෙන් සෑහෙන කාලයක් අපිට වැය කරන්න සිද්ධ වුණා. අවසානයේ මේ චිත්‍රපටය කොවිඩ් වසංගතයටත් හසුවුණා. ඒ කාලයේ සිදුවුණු දේවල් එක්ක චිත්‍රපටයේ වැඩ කටයුතු සම්පූර්ණයෙන් ඉවර කරන්න සිද්ධ වුණේ නැහැ. කොරෝනා වසංගතයෙන් පසුව තමයි චිත්‍රපටයේ වැඩ කටයුතු සම්පූර්ණයෙන් ඉවර කළේ. අන්තිමේ චිත්‍රපට පෝලිමේ ඉඳලා තමයි මේ අවස්ථාව ලැබුණේ.

  • සිනමා නිර්මාණය ඇතුළේ තවත් සිනමා නිර්මාණයකින් තමයි ඔබේ කතාව කියන්න උත්සාහ කරන්නේ?

මේ චිත්‍රපටයේ කතා තේමාව වන්නේ 70 දශකයේ සිදුවුණු සිදුවීමක්. මෙහිදී වර්තමානය සහ අතීතය කියන කාලවකවානු දෙක එකට එකතකුවෙලා තමයි කතාව ගලාගෙන යන්නේ. මෙහි තිබෙන අපූර්වත්වය තමයි 70 දශකයේදී අපේ ජීවන රටාවෙන් හැඩය වෙනස් වීමයි. ඉතිං ඒ හැඩය සහ වර්තමානයේ අප ජීවත්වන රටාවයි මෙයින් ගෙනහැර එන්නේ. සාමාන්‍යයෙන් අපි එදිනෙදා දකින කතා තේමාවක් වෙනස් වෙන්නේ මෙන්න මේ යුග දෙක එකට ගලායෑම නිසයි.

  • 70 දශකය වර්තමානයේදී රූගත කිරීමට යෑමේදී මුහුණ දුන් අභියෝග මොනවාද?

ඒ අභියෝගය ජයගන්න මට කලා අධ්‍යක්‍ෂණයෙන් වගේම ඇඳුම් නිර්මාණයෙන් ලොකු සහයෝගයක් ලැබුණා. මට තිබුණ ලොකුම පහසුව තමයි දර්ශන තලය. එතැනදී මට අවශ්‍ය විදියට රූපරාමු හදාගන්න යම්කිසි පහසුවක් වුණා. මගේ කතා තේමාව ඇතුළේ හැත්තෑව දශකය නිර්මාණය කරන්න ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ.

  • මෑත කාලයේ සිනමාවේ ලොකු පිබිදීමක් දකිනවා. අධ්‍යක්‍ෂවරයෙක් විදිහට ඔබ මේ තත්ත්වය දකින්නේ කොහොමද?

මම මේ චිත්‍රපටය ප්‍රේක්‍ෂකයා අතරට ගෙනියන්න අවුරුදු හයක් බලාගෙන හිටියා. මම මේ මොහොතේ හිතන්නේ ඒක මගේ වාසනාවට වුණු දෙයක් විදිහටයි. මම චිත්‍රපටය හදපු කාලයේ මුදාහැරියාට වඩා සිනමාව සහ අපේ ප්‍රේක්‍ෂකාගාරය අද ඉතාම දියුණු මට්ටමකට ඇවිත් තිබෙනවා. මගේ චිත්‍රපටය තිරගත වෙන්න කලින් තිරගත වුණු චිත්‍රපට ලක්‍ෂ සංඛ්‍යාත ප්‍රේක්‍ෂක ආකාර්ෂණය දිනාගත්තු චිත්‍රපට. හොඳම වෙලාවේ තමයි අපිට මේක තිරගත කරන්න ලැබුණේ.

දිනේෂ්

advertistmentadvertistment
advertistmentadvertistment