මට කිසිම වුවමනාවක් නෑ දේශපාලනය කරන්න – අරගල බිමේ සිට කලණ කිව්ව කතාව

147

මේ වහල් ක්‍රමයෙන් මිදෙන්න ඕනෑ
 
 අරගල භූමියට ආවේ පුරවැසියෙක් විදිහට
 
 ජනතාව වෙනුවෙන් ජනමාධ්‍ය ගොඩනැඟෙන්න ඕනෑ


 ඇත්තටම මේ ඉලන්දාරියා එහෙමත් නැත්නම් මේ මනුස්සයා බැලූ බැල්මටම පෙනෙන්නේ හරිම හරි හිතුවක්කාර නාහෙට අහන්නේ නැති චරිතයක් කියලා. පෙනුමෙන් විතරක් නෙමෙයි ඇත්තටමත් හරි හිතුවක්කාරයි. යමක් කියනකොට මූණටම කියලා දාන රඟනකොට හරි අපූරුවට රඟන්න දන්න චරිතයක්.

මට කිසිම වුවමනාවක් නෑ දේශපාලනය කරන්න - අරගල බිමේ සිට කලණ කිව්ව කතාව

මේ හාදයාගේ වැඩ කට්ටිය හරියටම දැක්කේ කූඹින්ට අහුවෙලා කූඹින්ට යටවෙලා හිටපු ප්‍රියන්ත මහලියන ගේ චරිතයෙනි. ඇත්තටම මේ ප්‍රියන්ත මහලියනගේ හාදයාට ජීවය දුන්නේ අපේ කල්‍යාණ මිත්‍රයෙක්. මිනිහා මේ දිනවල රැයක් දවාලක් නැතිව කාලය ගෙවන්නේ අරගල භූමියේ. කූඹියෝ තුළින් මුලින්ම මේ සිස්ටම් චේන්ජ් එක දැකලද කොහේද ඒක අරගෙන අරගල භූමියට ඇවිත්. ඉතිං අපේ මේ කලණ මිත්‍රයා කලණ ගුණසේකරව මුණගැහෙන්නේ ගෝඨාගෝගම ෆිල්ම් තියටර් එකේදී.

 ● ආයුබෝවන් කලණ, අපි මේ කතාව කූඹින්ගෙන්ම පටන් ගමුද?ඔබට හිතෙන්නේ නැතිද ? තුමිඳුව ජෙහාන්ට අන්දලා කලණව ප්‍රියන්ත මහඋල්පතගමට අන්දලා ලකාලා ගැහැව්වෙත් ගේම් එකක් කියලා?

 මට නිර්මාණවල ගේම් කියලා හිතෙන්නේ නැහැ. ගේම් තියෙනවා නිර්මාණවල. අපි නිර්මාණයට අවශ්‍ය කොටස විතරයි භාරගන්නේ. දැන් මම භාරගත්තේ නළුවෙක් විදිහට ප්‍රියන්තගේ චරිතය. ඒ චරිතය මට හම්බ වුණ එක ඉතාම හොඳයි. ලකා මට චරිතෙකට ආරාධනා කරන්නේ උඹේ හිනාව හොඳයි කියලා. අපි එතකොට මාර ප්‍රසිද්ධ මිනිස්සු නෙමෙයි. කූඹියෝ හරහා තමයි මා ගැන ගොඩක් දෙනෙක් කතාබහ කළේ. අපි පිටපතට සහ අධ්‍යක්‍ෂවරයාට අවශ්‍ය දේ තමයි සිද්ධ කරන්නේ. ඒක රූපවාහිනියේ විකාශනය වෙනවා අපි එතැනින් එහාට ඒ ගැන ලොකුවට හිතුවේ නැහැ. හැබැයි වැදගත්ම දේ තමයි මිනිස්සු ගත්තේ අඩෝ මේක ඇත්තනේ කියලා එකක්. මිනිස්සුන්ට මේකේ ස්වභාවයක් තිබුණා පෙනෙන්නේ නැති. ඉන්දියානු සිනමාවේ නම් මිනිස්සු අරගෙන පොලිසිය අරගෙන අමු අමුවේ පෙන්වනවා. ලංකාවේ එහෙම අමු අමුවේම පෙන්වන්න පුළුවන් වාතාවරණයක් තියෙනවාද කියන්න මම දන්නේ නැහැ. හැබැයි කූඹියෝ එක ඇතුළෙදී ලකා යම්කිසි විදිහකට ඒක පෙන්නුවා. ඒක ඇතුළේ ලකා වෙනම ගේමක් ගැහැව්වත් මම හිතනවා ප්‍රේක්‍ෂකයාට හොඳයි කියලා. ගොඩක් දේවල් ලියා ගත්ත මිනිස්සු ඉතිහාසය හොයන්න ගත්තා. කලාකරුවෙක් කළ යුතු දෙයක් ලකා කළා. ඒක හින්දා අනෙක් දේවල් අදාළ නැහැ.

මට කිසිම වුවමනාවක් නෑ දේශපාලනය කරන්න - අරගල බිමේ සිට කලණ කිව්ව කතාව

 ● ඔබේ ඊළඟ චිත්‍රපටය නයිට් රයිඩර් සිනමා නිර්මාණයත් තිරගත වෙනවා නේද?

 මෙහි අධ්‍යක්‍ෂවරයා කසුන් චන්‍ද්‍රනාත් පතිරණ. ශ්‍රීනාත් චතුරංග සහ කසුන් තමයි පිටපත ලියන්නේ. චිත්‍රපට  සංස්ථාවේ චිත්‍රපට පිළිබඳ පාඨමාලාව හදාරන කාලයේ අපේ මිත්‍රයෝ ටිකක් හිටියා. අපි ඔවුන් සමග කතා කළේ සිනමාව තමයි. ඊට පස්සේ තමයි අපි මේ චිත්‍රපටය නිර්මාණය කරන්නෙ. යුරේනි නොෂිකා, විශ්ව කරුණාරත්න. බිමල්, මහේන්‍ද්‍ර පෙරේරා, ඩබ්ලිව්. ජයසිරි, අරුණි මෙන්ඩිස්, දමයන්ති ෆොන්සේකා වගේ පිරිසක් රඟපානවා. මේක පොඩි ආතල් ෆිල්ම් එකක්. මේ මොහොතේ පවතින දේශපාලනය සහ මීට කලින් පැවතියා වූ දේශපාලනය මේ චිත්‍රපටය ඇතුළේ තියෙනවා. ලංකාවේ මාධ්‍ය කොහොමද හැසිරෙන්නේ කියලත් රචකයන්ගේ අදහස් සිනමා කෘතිය තුළ තියෙනවා. මේක බලන්න පුළුවන් සිනමා නිර්මාණයක්.

 ● මේ නිර්මාණය ගෝඨා ගෝගම ෆිල්ම් තියටර් එකේදී තිරගත වෙනවා කියන්නේ ඇත්තද?

 අපේ මේ චිත්‍රපටයේ මාධ්‍ය ප්‍රදර්ශනය කළම්බු සිටි සෙන්ටර්හිදී වගේම ගෝඨා ගෝගම ෆිල්ම් තියටර් එකේදී මංගල දර්ශනය කරන්න සූදානමින් ඉන්නේ.

 ● චිත්‍රපටයේ ප්‍රචාරණ වැඩකටයුතු ආරම්භ කළාද?

 දැන් අපි ප්‍රචාරණ වැඩකටයුතු ආරම්භ කළා. මේක විශාල මුදලක් තියාගෙන කරන වැඩක් නෙමෙයි. නිෂ්පාදකත්, කසුන් පතිරණම තමයි. චිත්‍රපටයේ ඉතිරි වැඩ කරන්න විශාල මුදලක් අපි ළඟ නෑ. සමාජ මාධ්‍ය, විiුත් මාධ්‍ය වගේම පුවත්පත් හරහා තමයි ප්‍රචාරණ කටයුතු සිදුකරලා චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න දැනට සැලසුම් කරලා තියෙන්නේ. ඇත්තටම චිත්‍රපටය 22 වැනිදා තිරගත කරනවා කියන එකත් පොඩි ප්‍රශ්නයක්. මිනිස්සු චිත්‍රපටයක් බලන්න පෝලිම්වලට එයිද කියලත්. නමුත් අපි කට්ටියම කතා කළේ

 අභියෝගය භාරගමු කියලා. ෆිල්ම් පෝලිම් එකකට තියා මිනිස්සුන්ට රූපවාහිනිය ළඟටත් යන්න බැරි කාලයක් මේක. ඔව් ඒක ඇත්ත. අපි හැමෝටම ආරාධනා කරනවා චිත්‍රපටය නරඹන්න එන්න කියලා.

 ● කලා අරගලය ඇතුළෙත් හරි ක්‍රියාකාරී චරිතයක්?

 මම මෙතැනට එන්නේ සාමාන්‍ය පුරවැසියෙක් විදිහට. මේක අවුරුදු  48 ක විතර ඉඳලා එන සෙල්ලමක්. මේ සෙල්ලමේ එක කාලයක් තමයි මේ. මෙච්චර කාලයක් තිබුණේ ජනතාව අන්දවමින්. ජනතාව රවට්ටමින්.

 ජනතාවගේ මුදල් මංකොල්ල කමින් ජීවත් වෙච්ච පිරිසක් තමයි පාර්ලිමේන්තුව ඇතුළේ හිටියේ. ඒක ලංකාවටත්, ලෝකයටත් රහසක් නෙමෙයි. ඊට විරුද්ධව

 නැඟී සිටියා ජනතාව. අරගල භූමියත් එහෙම තැනක්. මෙම මෙතැනට කලාකරුවෙක් සහ පුරවැසියෙක් විදිහට මැදිහත්වීමක් කළා විතරයි. ඊට වඩා සෑහෙන පිරිසක් ඉන්නවා ගුටිකාපු. කකුල් තුවාල වුණු. මැරුණු, ඒ පිරිසේ ශක්තියෙන් තමයි මේ අරගලයේ යම්කිසි ජයග්‍රහණයක් ලැබිලා තියෙන්නේ. මේ ශ්‍රී ලාංකිකයන්ගේ නියෝජනය. මේක ශ්‍රී ලාංකිකයන්ගේ අරගල භූමියක්. පාලකයාගේ හූරාකෑමට විරුද්ධව නැඟී සිටින සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ භූමිය තමයි අරගල භූමිය. මේක ජයග්‍රහණයක් නෙමෙයි. යම් කිසි විදිහකට පාලකයා පැරදිලා තියෙනවා. ඇත්තටම ජනතාව ජයග්‍රහණය කරලා නැහැ. ජනතාව ජයග්‍රහණය කරලා නම් පාලකයා විසින් හොරාකාපු මුදලින් යම්කිසි ප්‍රමාණයක් ආපසු ලැබිය යුතුයි. මම විශ්වාස කරන්නේ ඒක. මේ පාලනය මීට වඩා වෙනස් විය යුතුයි. අපි නෙමෙයි හොරු කියන්නේ ඔවුන් දෙගොල්ලොම හොරු. හොරු කියාගෙන ඉන්නවා.

 ජනතාවගේ ඔළුවෙත් තියෙනවා මොවුන් හොරු කියලා. දත්තවලින් ගත්තහමත් තියෙනවා හොරා කාපු දේවල්. විගණනයක් නැහැ. විමර්ශනයක් නැහැ. එතකොට මේ සමස්ත මංකොල්ලය කරපු මුදල් නැවත ලබාගෙන ලංකාවේ ජාතිය මේ ණය බරින් නිදහස් කරන්න පුළුවන් නම් ඒක තමයි ජයග්‍රහණය. ඒ වගේම අලුත් සිස්ටම් එකක් ඇතුලේ ආර්ථිකමය අතින් දියුණු වෙන්න පුළුවන් සැලැස්මක් ආපු මොහොතක සහ ඒක ක්‍රියාත්මක කරපු මොහොතක තමයි ලංකාව දිනන්නේ.

 ● ජනතාව සූදානම් ද අලුත් සිස්ටම්  එකකට රට අරගෙන යන්න.

 මම හිතන්නෙ නැහැ ජනතාව එක පාරම වෙනස් වේවි කියලා. අවුරුදු ගණනාවක් ඇතුලේ එක සිස්ටම් එකකට පුරුදු වෙච්ච ජනතාවක් ඉන්නේ. ඇත්තටම ජෙනරේෂන් එකක් උඩට ඇවිත් තියෙනවා. ඒගොල්ලො ටිකක් වෙනස් විදිහට හිතනවා. මේ ජෙනරේෂන් එක හොරාකෑම පිළිබඳව සිහිබුද්ධියෙන් ඉන්නේ. මංකොල්ලකෑම් පිළිබඳ සිහිබුද්ධියෙන් ඉන්නේ. ඒකත් එක්ක තමයි ඔවුන් නැඟිටින්නේ. ඒ වගේම වැඩිහිටි පරම්පරාව වෙනස් වෙමින් පවතිනවා. මේක පටන් ගැන්මක් විතරයි. හෙට ජයග්‍රහණයක් කරන්න පුළුවන් එකක් නෙමෙයි. වෙනස්වීමේ කෙළවර තමයි යම්කිසි ජයග්‍රහණයක් තියෙන්නේ. මේ ගැති වහල් ක්‍රමයෙන් මිදෙන්න ඕනෑ.

 ● ඔළු මාරුවකින් මේ සිස්ටම් චේන්ජ් එක කරන්න පුළුවන් කියලා ජනතාව හිතනවා නේද?

 මම කියන්නේ මේක ඔළු මාරුවකින් වෙන්නේ නැහැ. මොළ මාරුවකින් තමයි සිද්ධ වෙන්න ඕනෑ. ඔළු කියලා කියන්නේ මොකුත් නැහැ, මේ පරම්පරාවටම අයිති ඔළුවක්. මොකද ලොකු ගස් යට තව ලොකු ගස් හැදෙන්නේ නැහැ වගේ ඒගොල්ලොත් හැදෙන්නේ නැහැ.

 ● ලංකාවේ කලාව භාවිතය වීම

 පිළිබඳ ඔබේ මතය?

 මේ සමස්තයේ රසවින්දනය තීරණය කරන්නේ කලාව. ජාතික ධජය, ජාතික ගීය ජාතික ලාංඡන කලා කෘති මේ හැම එකකම තියෙන්නේ ආර්ට්. ජනාධිපතිගේ පුටුව පවා හදලා තියෙන්නේ යම්කිසි නිර්මාණශීලී ආකාරයකට. කලාකරුවන්ට මේක ඇතුළේ තියෙනවා විශාල භාරදූර කර්තව්‍යයක්. ආර්ට්වලින් තමයි මිනිස්සු දේවල් තීරණය කරන්නේ. මේ අලුත් කියැවීම, අධ්‍යක්‍ෂවරුන්ට, රචකයන්ට භාරයි. මේක මිනිස්සුන්ගේ මොළ එක්ක කරන ගනුදෙනුවක්. මොකද මෙච්චර කල් ආර්ට් තිබිලා තියෙන්නේ ඔය වැඩවසම් ක්‍රමයට තමයි. රජාම හූරාගෙන කාලා, රජාම ආර්ට් පෙන්වලා රජාගේ මංකොල්ලකෑම් ඇරෙන්න මේක ඇතුළේී් වෙන දේවල් පෙන්වලා නැහැ. රජාව ප්‍රමෝට් කරන එක හෝ තමන්ගේ වැඩය සඳහා රාජ්‍ය බලය යොදාගත්ත එක තමයි සිද්ධ වුණේ. දැන් රජ කතාව මේකෙන් ඉවර කරන්න ඕනෑ. තුන්වැනි ලෝකයේ රටවල තියෙන හරි දීන කන්සෙප්ට් එකක්.

 ● අපේ රටේ මාධ්‍ය කලාව ගැන

 කලණගේ කියැවීම ඕක අපිට බෙදාගන්න වෙනවා. මාධ්‍ය ගත්තහම පුද්ගලික මාධ්‍ය සහ රාජ්‍ය මාධ්‍ය කියලා යෙදෙනවානේ. රාජ්‍ය මාධ්‍ය පවතින රජය වෙනුවෙන් පෙනී සිටීම නතර කරන්න බැහැ. මුලින්ම රාජ්‍ය මාධ්‍ය ස්වාධීන විය යුතුයි. අනෙක් නාලිකා තියෙන්නේ ව්‍යාපාරිකයන් අතේ. එතකොට ව්‍යාපාරවලට ප්‍රශ්න ඇති කරන නිසා පවතින රජයට යම්කිසි

 සහයෝගයක් ලබා දෙන්න වෙලා තියෙනවා පුද්ගලික මාධ්‍යට. ස්වාධීන තත්ත්වයක් වෙන්න ආයතනවලට බැහැ. රාජ්‍ය යාන්ත්‍රණය හැදෙන්න ඕනෑ. ආයතන හිරකරනවා යම් යම් බාධක දමලා. පාලකයා සහ මාධ්‍ය මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින්න ඕනෑ. මම මාධ්‍යයට ගහන්නේ නැහැ. මාධ්‍යට ආරාධනා කරනවා වෙනස් වෙන්න කියලා. ජනතාව වෙනුවෙන් ජනමාධ්‍ය ගොඩනැඟෙන්න ඕනෑ.

 ● ජනතාවගේ සංඛ්‍යාත උඩ තමයි සියලු මාධ්‍ය දුවන්නේ. ඒ ගැන ජනතාවට අවබෝධයක් තියෙනවාද?

 ජනතාවට අවබෝධයක් තියෙනවා. නමුත් ඔවුන්ට විකල්පයක් නැහැ. සමාජ මාධ්‍ය ගත්තහම දුරකථනයක් තියෙන්න ඕනෑ ඒකේ ඩේටා තියෙන්න ඕනෑ. ඒ සම්බන්ධව දැනුමක් තියෙන්න ඕනෑ. ඒ අනුවයි මේක සැරිසරන්නේ. එතැනින් එහා පිරිස අතර විකල්පයක් නැහැ.

 සමාජ මාධ්‍යවල විවිධ ටෙලිනාට්‍ය විරෝධී සංගම් පවා හදාගෙන තියෙනවා. ෆැන්ටසි කතා සහ යථාර්ථවාදී කතාත් තිබිය යුතුයි. නමුත් සමහරු හිතාගෙන ඉන්නවා ෆැන්ටසි කතා සම්පූර්ණයෙන්ම නතර කරන්න ඕනෑ කියලා.

 නෑ නෑ මම කියන්නේ ෆැන්ටසි කතා තියෙන්න ඕනෑ. අපි ජීවත්වෙලා තියෙන්නෙම ෆැන්ටසි කතාවල ෆැන්ටසියෙන් තොර ආර්ට් එකක් නැහැ. ෆැන්ටසි මම කියන්නේ තව දරුණු වුණාට කමක් නැහැ කියලා. මම චිත්‍රපට අටක විතර පිටපත් රචකයෙක් විදිහට වැඩ කරලා තියෙනවා. අපි හැම වෙලාවෙම ගොඩනගන්න හදන්නේ අමුවෙන් දේශපාලනය කියැවීම වෙනුවට ෆැන්ටසියක්. ෆැන්ටසිය තමයි මිනිස්සු වැළඳගන්නේ. දැන් යන ටෙලි නාට්‍යවලත් තියෙන්නේ ෆැන්ටසි. ෆැන්ටසි ඇතුළේ මිනිස්සුන්ගේ ඔළුව වෙනස් කරන්න යනවා කියන්නේ ලොකු වැඩක්.



 ● කලණ අරගලය ඇතුළේ උත්සාහ කළේ රූපණ ශිල්පියෙක් විදිහට ඔබේ ප්‍රතිරූපය වර්ධනය කර ගැනීමට ද?

 ඇත්තටම මට තියෙන්නේ හැඟීමක්. හැඟීම එළියට දාන එක තමයි මම වෘත්තීමය විදිහට කළේ. දැන් මෙතැන තියෙන්නේ වෘත්තියක් නෙමෙයි. මෙතැන තියෙන්නේ හැඟීමක් විතරයි. මම ප්‍රෆෝමන්ස් ආර්ට්ස් කෙනෙක් විදිහට වැඩ කරලා තියෙනවා. මම දිගටම අරගලයේ හිටියේ ප්‍රෆෝමන්ස් ආර්ට්ස් කෙනෙක් විදිහට. මම දීර්ඝකාලීනව මෙතැන හිටියා කියලා කියන්නේ නැහැ. මට පුළුවන් හැම අවස්ථාවකම මම මෙතැනට ආවා. මෙතැන සෑහෙන පිරිසක් මාර කට්ටක් කාගෙන ඉන්නේ. මෙතැන ගොඩක් කට්ටිය කාගෙන ඉන්නේ මොකක් හරි අමාරුවකට නෙමෙයි. සත පහක්වත් නැතිවෙන එකක් තියෙන්නේ. මට නඩත්තු කරගැනීමට වුවමනාවක් නැහැ. මගේ පෞරුෂය නඩත්තු කරගන්න ඕනෑ නම් මට මේක නොකර ඉන්න ඕනෑ. මට එළියේ හිටියොත් ටෙලි නාට්‍යයක්  කරගෙන හොඳ නළුවෙක් වෙන්න පුළුවන්.

 ● කලණට පාර්ලිමේන්තු යන්න අදහසක් තියෙනවාද?

 මම මුල ඉඳන් කියපු දෙයක් තියෙනවා. කලාව කියන්නේ එකක්. දේශපාලනය කියන්නේ තව දෙයක්. රඟපාන්න පුළුවන් වුණා කියන්නේ දේශපාලනය කරන්න පුළුවන් වුණා කියන එක නෙමෙයි. දේශපාලනයට දැනුමක් තියෙන්න ඕනෑ. ඒ වගේම පරිපාලනයටත් දැනුමක් තියෙන්න ඕනෑ. නැතිනම් වෙන්නේ නළුවෙක් හරි නිළියක් හරි පාර්ලිමේන්තුවට ගිහිල්ලා මොනවද කරන්නේ. රඟපාන්නද? නළුවෝ විදිහට අපි කරන්නේ අනුන්ගේ පිටපතකට රඟපාන එක. දැන් වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුව ඇතුළේ ඔක්කොම වගේ ඉන්නේ නළුවෝ වාගේ කට්ටිය. පාර්ලිමේන්තුවේ ඉන්න 225 ම නළුවෝ තමයි. මම දන්නේ නැති මඟුල් කරන්න යන්නේ නැහැ. ටෙලි නාට්‍යයක් වුණත් රඟපාන්න බැරිනම් භාරගන්නේ නැහැ. මට කිසිම වුවමනාවක් නැහැ දේශපාලනය කරන්න. මෙච්චර හොඳ වැඩක් කරද්දී. මෙච්චර මිනිස්සු අපිට ආදරය කරද්දී පක්‍ෂ භේදයෙන් තොරව අපිට ආදරය කරද්දී සියයට පනහකටත් වඩා අඩුවෙන් නියෝජනයක් තියෙන දේශපාලනය තෝරාගන්නේ.

 ● දිනේෂ් විතාන
 ඡායාරූප – ඉනූ ෆොටෝග්‍රැෆ

advertistmentadvertistment
advertistmentadvertistment