මඩකලපුවේ විශාලතම පැරණි පුළුකුණාව හෙවත් වෙහෙරගල්කන්ද පුදබිම

311

ගවේෂණය කරන්නට ගොස් කන්දෙන් පහළට ලිස්සා ගොස් පුරාවිද්‍යා චක‍්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියෝ බේරුණු හැටි…

ලෙන් සියයකට අධිකයි

ඉපැරණි දාගැබ්, පොකුණු, ආරාම සංකීර්ණ

අතීතයේ රුහුණු පුරවරයට දිගාමඩුල්ල පමණක් නොව මඩකලපුව දිස්ත‍්‍රික්කය ද අයත්ව තිබුණි. ඒ බවට මඩකලපුව කුසලානගල පුරාවිද්‍යා භූමියේ ඇති සෙල්ලිපි ද සාක්ෂි දරයි.

එවන් ප්‍රෞඪ, අභිමානවත් අතීත උරුමයන් රැසක් මේ වන විට දිනෙන් දින අන්තවාදීන්ගේ ගල් බෝර, කුළු ගෙඩි පහරට හසුව කෑලිවලට කැඞී බිඳී යමින් තිබේ. තවත් පුරා වස්තූන් ට‍්‍රැක්ටර් සහ ඩෝසර් තලවලට යටව විනාශ වෙමින් පොළොව තුළ සැඟවෙමින් ඇත. අනුරාධපුර, පොලොන්නරුවට නොදෙවැනි පුරා වස්තු වන වදුළට යට වෙමින් තිබේ.

එවන් සුවිශාල පුරාවිද්‍යා උරුමයන් රැසක් සහිත මඩකලපුව දිස්ත‍්‍රික්කයට අයත් විශාලතම පුදබිම වන පුළුකුණාව හෙවත් වෙහෙරගල් කන්ද පුදබිමෙහි පුරා වස්තූන් බොහොමයක් තවමත් ඇත්තේ කැලෑවට යටවය.

අම්පාර නගරයේ සිට මහඔය මාර්ගයේ පියංගල ආරණ්‍ය සේනාසනය පසුකර කිලෝ මීටර් දෙක තුනක් ගිය විට පුළුකුණාව හමුවේ. එතැන් සිට වම් පසට වැටී ඇති කාපට් ඇතිරූ මාර්ගයේ කිලෝ මීටර් තුනක් පමණ ගිය විට ඓතිහාසික පුළුකුණාව රජ මහා විහාරය හමුවේ.

ලංකාවම එක්සේසත් කළ දුටුගැමුණු රජු විසින් මෙම පුදබිම ගොඩනගා ඇති බව බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි. සුන්දර වන පෙතකින් වටව ඇති මෙම අසිරිමත් පුදබිම නිසි පරිදි ගවේෂණය කර කැණීම් කරන්නේ නම් බෞද්ධයන්ගේ අවධානයට ලක් වුණ ප‍්‍රධානම පුදබිමක් වන බව නිසැකය.

පුළුකුණාව කන්ද අඩි 628 ක් උසකින් යුක්තය. එහි මැද සැතපුමක් පමණ දිගටි පුළුල් තැන්නකි. මෙම කඳු වටා තැනිතලා සහිත වනාන්තරයෙන් යුක්ත වන අතර කටාරම් කොටා බිත්ති බැඳ සංඝයා වහන්සේලාට පූජා කර ඇති ලෙන් සීයකට අධික ප‍්‍රමාණයක් ඇත. ලෙන් ලිපිවලින් පැවසෙන ආකාරයට කි‍්‍රස්තු පූර්ව දෙවන සියවසේ මුල් භාගයට අයත් බව සිතිය හැක. මෙම පුදබිම පුරාවට ගොඩනැගිලි, ස්තූප, ලෙන්, පියගැට පෙළවල්, මාර්ග, පොකුණු ආදියෙන් පිරුණු ආරාම සංකීර්ණයක් තිබුණු බවට අදට ද ඉතිරිව ඇති නටබුන් සාක්ෂි දරයි. පුස්සදේව තෙරුන් වහන්සේ මෙම පුදබිමේ වැඩසිටි බවට පැවැසෙන මෙහි ඇති සෙල් ලිපියක

‘ඒක උතිරික බණක පුශදෙව තෙරහ මනොරමේ’ යනුවෙන් සඳහන් වේ. අංගුත්තර නිකාය භානක පුස්සදේව තෙරුන්ගේ මනොරම්‍ය(ලෙණ දෙන ලදි.) යනුවෙන් ඉන් කියවේ. අවස්ථා කීපයකදීම මෙම පුදබිම ගවේෂණය කළ පුරාවිද්‍යා චක‍්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් මෙවැනි සෙල්ලිපි විශාල ප‍්‍රමාණයක් සොයා ගෙන සුවිශේෂී මෙහෙයක් ඉටු කර තිබේ.

මඩකලපුවේ විශාලතම පැරණි පුළුකුණාව හෙවත් වෙහෙරගල්කන්ද පුදබිම

මෙම පුදබිමේ කඳු කොටස හඳුන්වනු ලබන්නේ විහාර කන්ද ලෙසිනි. පහත් තැන්නේ ඇති ස්තූපය මියුගුණ සෑය නමින් හඳුන්වනු ලබයි. මෙම පූජනීය ස්ථානය දුටුගැමුණු රජතුමා කළ බවත් ථෙරපුත්තාභය තෙරුන් වහන්සේ වැඩ සිටිය බවත් කියැවේ. ඇතැම් වංශ කතාවල දුටුගැමුණු රජතුමා මියුගුණ සෑය විශාල කරවූ බව ද සඳහන් වේ.

පුස්සදේව තෙරුන් වහන්සේ සද්ධාතිස්ස රජතුමාගේ සහෝදරියකගේ පුතෙකි. ත‍්‍රිපිටක පුස්සදේව තෙරුන් ලෙස කාවන්තිස්ස රජ සමයේ දී තවත් තෙරුන් වහන්සේ නමක් සිට ඇත. ඉහත කතාවලට සම්බන්ධ ඇත්තේ සද්ධාතිස්ස රජුගේ සහෝදරියගේ පුතා වූ පුස්සදේව තෙරුන් වහන්සේ බව බොහෝ දෙනකුගේ මතය යි.

හැටේ දශකයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම පුදබිම සොයාගන්නා ලදී. 70 දශකයේ රජමහ විහාරස්ථානයක් ලෙස හෑගොඩ ඉන්දසාර නාහිමියන් විසින් ආරම්භ කරන්නට විය. එම සමයේ විහාරස්ථානයේ ආසන්නයේ සිංහල පවුල් පන්සීයකට අධික පිරිසක් නුගේලන්ද බක්කියේ ආදි ප‍්‍රදේශවලින් පදිංචි කරන්නට විය.

මෙම පුදබිමේ වත්මන් භාරකාරත්වය දරන උතුර නැගෙනහිර දෙපළාතේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කිරිඳිවැල සෝමරතන නාහිමියන් මෙලෙස අදහස් දක්වන්නට වූහ.

මෙම පුදබිම අපේ නායක ගුරුදේවයන් වහන්සේ වන හෑගොඩ ඉන්දසාර නාහිමියන් ආරම්භ කරාට පස්සේ කොළඹ තරුණ බෞද්ධ සංගමය මගින් ධර්මශාලාවක් 80 දශකයේ දී ඉදිකරන ලැබුවා. එම සමයේ අම්පාර විද්‍යානන්ද පිරිවෙනේ ආචාර්යවරයකු වන හල්වල ඥානවිමල හිමියන් එම ස්ථානය වැඩ වාසය කළා. උන්වහන්සේ මෙම ස්ථානය ගොඩගන්නට විශාල මහන්සියක් ගත්තා. ත‍්‍රස්තවාදීන් උන්වහන්සේට පහර දීලා රෝහල් ගතවෙන්න පවා සිදු වුණා. 1980 පස්සේ එහි වැඩ වාසය කරන්නට බැරි වුණා. ඒ කාලේ ත‍්‍රස්තවාදි කලබල වැඩි වුණ නිසා හිමියන්ට ජීවිත ආරක්ෂාව පතා නැවතත් විද්‍යානන්ද පිරිවෙනට වැඩම කරන්ඩ සිදුවුණා. 87 ජුනි දෙවැනි දා හෑගොඩ ඉන්දසාර නායක හාමුදුරුවෝ අරන්තලාවේදි ඝාතනය කිරීමත් සමගම පුළුකුණාව පුදබිමට අවධානය යොමු කරන්නට නොහැකි වුණා ඒ ත‍්‍රස්තවාදී කලබල නිසා. නුගේලන්ද, බදුලූවෙල ආදි බොහෝ ප‍්‍රදේශවලට ත‍්‍රස්තවාදි ප‍්‍රහාර එල්ල වුණා. ඒ කාලේ පුළුකුණාව ආරක්ෂක අංශ කඳවුර කොටි ගහලා කාලතුවක්කු පවා කොටින් අරන් ගියා. පුළුකුණාව පංසලේ ආසන්නයේ පදිංචි අයත් ඉඩකඩම් අත්හැර පණ බේරා ගෙන ආවා.

යුද්ධය අවසන් වූ පසුව 2012 වසරේ සාමකාමී වාතාවරණයක් තුළ මෙම ස්ථානය නැවත ගොඩනගන්න කටයුතු කරා. ඒ ගමනේදී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, හිටපු රාජ්‍ය ඇමැතිනී ශ‍්‍රියානි විජේවික‍්‍රම, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන, මේජර් ජෙනරල් චූලා අබේනායක, දිසාපති නීල් ද අල්විස්, නියෝජ්‍ය පොලිස්පති තිලක් අභයගුණවර්ධන, සහකාර පොලිස් අධිකාරී ජයරත්න වන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම පුදබිම රැකගැනීම සඳහා දායකත්වයක් ලබා දුන්නා. එවකට හිටපු මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතාගේ මැදිහත් වීමෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කිලෝමීටර් දෙකහමාරක් කාපට් අතුරා සකස් කළා. ඒ සුවිශේෂී කරුණක්.

අපි එක්වරක් භික්ෂූන් වහන්සේලා සියක් නමක් සහ ගිහි පිරිසක් සමග ශ‍්‍රමදානයක් කරද්දි මඩකලපු ද්‍රවිඩ සංධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් වාහන 10 ක සෙනග එක්ක ඇවිත් අපිට බාධා කළා. අපේ පැත්තේ කොහොමද සිංහල ගම්මාන හදන්නේ කියලා කීවා. මඩකලපු දෙමළ මිනිසුන්ට විතරක් අයිති නෑ. සිංහල ජනතාවක් හිටියා. මේක යුද්දෙට කලින් සිංහල ගමක්. පුස්සදේව රහතන් වහන්සේ වැඩ සිටි ස්ථානයක් කියලා අපි කරුණු තේරුම් කරාට පස්සේ අවසානයේදී ඔවුන් හැරිලා යන්න ගියා. මේ ආකාරයට බාධා මැද තමයි පුළුකුණාව පුදබිම ගොඩනඟන්න අපි කටයුතු කළේ. ඒ නිසා මඩකලපු දිස්ත‍්‍රික්කයේ විශාලතම පුදබිම වනාන්තරයට, පසට යට වෙලා තියෙන අතිවිශාල පුරාවස්තු කැණීම් කරලා මතුකරලා බෞද්ධයන්ගේ වන්දනාමානයට ලක් කරන්න ඕන කාලේ ඇවිල්ලා. එනිසා මා ඉල්ලීමක් කරනවා හැකි ඉක්මනින් මෙම පුදබිම ගොඩනඟන්න. දීඝවාපිය පුදබිම නැවතත් ගොඩ නැගෙනවා. අම්පාර දිස්ත‍්‍රික්කයට මායිම්ව තිබෙන රජගල ගොඩනැගෙනවා, අම්පාර දිස්ත‍්‍රික්කයට මායිම්ව තිබෙන පුළුකුණාව පුදබිමත් කඩිනමින් ගොඩනගන්න කටයුතු කරන්න කියලා අපි කියනවා. බලධාරීන්ගෙන් සහ දෙස් විදෙස් බෞද්ධ ජනතාවගේ සහය ලැබුණොත් දිනෙන් දින විනාශ වන මෙවැනි පුදබිම් ගොඩ ගැනීමට පුළුවන්. දැනට මහාවෙනාවල ආරියවංශ හිමියන් මෙම පුදබිමේ වැඩවාසය කරනවා. යුද හමුදාවෙන් දාන මාන ලබා දෙන අතර පොලිස්් දෙපාර්තමේන්තුව ආරක්ෂකව ලබා දෙනවා. නැගෙනහිර පුරාවිද්‍යා උරුමයන් රැකගැනීම සදහා පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ සහ එහි ලේකම් ජීවන්ති සේනානායක මහත්මියගේ අවධානය යොමුවෙලා තියෙනවා. ඒ සමගම ලෝකවාසී ජනතාවගේ අවධානය යොමු වෙලා හෙළ රජදරුවන්ගේ විස්මිත නිර්මාණයක් වූ රහතන් වහන්සේලා වැඩ සිටි මෙවන් මහා පුදබිමක් හෙට දිනයේදී වැඳ පුදා ගැනීමට ලෝකවාසී ඔබ සැමගේ සහය ලැබෙන්නේ නම් හැකි වෙනු ඇතැයි පූජ්‍ය කිරිඳිවැල සෝමරතන නාහිමියන් පවසා සිටියහ.

මෙම පුදබිමට විදුලිය ලබා ගැනීම සඳහා මඩකලපුව ප‍්‍රාදේශීය විදුලි බල කාර්යාලය වෙත දාහතර වතාවක් සෝමරතන හිමියන් හට යන්නට සිදු වුවත් විදුලිය සැපයුම බලධාරීන් විසින් ලබා නොදෙන ලදී. ඔවුන් නිතර දෙවේලේ ඔප්පුව රැගෙන එන ලෙස පවසා සිටින්නට විය. අවසානයේ බැරිම තැන මේවා හැදුවේ දුටුගැමුණු රජතුමා. ගිහිල්ලා දුටුගැමුණු රජතුමාගෙන් ඔප්පුව ඉල්ලා ගන්නවා කියා අභීත ස්වරයෙන් සෝමරතන නාහිමියන් පැවසීමත් සමඟ විදුලිබල කාර්යාලයේ නිලධාරීන් පසුබෑමට ලක්වූහ. ඉන්පසු පුළුකුණාවට විදුලිය ලබා ගන්නට හැකි වන්නට විය.

නැගෙනහිර ජාතික උරුමයන් සුරැකීමේ සංවිධානයේ සභාපති, අම්පාර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය ගම්පහ නාරද හිමියන් මෙලෙස අදහස් දැක්වූහ. දීඝවාපියට නොදෙවෙනි මෙම පුදබිම පිළිබඳව ගවේෂණය කරමින් පුරාවිද්‍යා චක‍්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමිපාණන් සුවිශාල මෙහෙයක් සිදු කරනු ලැබුවා. එක් අවස්ථාවක දී උන්වහන්සේ අඩි 25ක පමණ ප‍්‍රපාතයකට ලිස්සා ගොස් පාදය ද තුවාල සිදුවී දැඩි අනතුරකට ලක්ව තිබුණා.හෑගොඩ ඉන්දසාර නාහිමියන් සිට වත්මන් අපේ ගුරුදේවයන් වහන්සේ වන පූජ්‍ය කිරිඳිවැල සෝමරතන නායක හිමිපාණන් මෙම පුදබිම ඇතුළු දිගාමඩුල්ල මිටියාවතේ උරුමයන් රැකගැනීමට මහා කැපවීමක් කරනවා. උතුරු නැගෙනහිර උරුමයන් සුරැකීමේ සංවිධානයේ ප‍්‍රධාන ලේකම් පූජ්‍ය පල්ලේවෙල මහින්ද හිමියන් මෙලෙස පැවසූහ.

වසර සිය දහසක් තිස්සේ මෙම පුදබිමෙහි මහා උරුමයන් රැසක් වනාන්තරයට සහ පොළවට යට වෙලයි තියෙන්නේ. කන්ද මුදුනේ විශාල චෛත්‍යයක් තිබෙනවා. ඒ වාගේම කන්ද මුදුනේ විශාල සමතලා ප‍්‍රදේශය තිබෙනවා. ඒ වගේම ආසියාවේ විශාලතම ආසනඝරය තිබෙන්නේ මෙම පුදබිමේ. මෙහි ගරාවැටුණු චෛත්‍යය, මන්දිර, සීමාමාලක ධර්ම ශාලා වැනි විශාල ගොඩනැගිලිවල නටබුන් වුණ පුරාවස්තු රැසක් තිබෙනවා. වැව් පොකුණු අදට දිය පිරි තිබෙනවා ඉපැරණි රජ දවසේ තිබූ තාක්ෂණයෙන් මැනවින් දකින්නට පුළුවන් ස්ථානයක් තමයි පුළුකුණාව පුදබිම. කඳු මුදුනට ගිය විට රජගල ආදී කඳු පන්ති හොඳින් පෙනෙනවා. අතීත මහා උරුමයන් පොළොවට සහ වනයට යට වී තිබෙනවා. ඇයි අපේ සංස්කෘතිය මේ වගේ පොළොවට යටවෙලා තියෙන්න දෙන්නෙ. තවමත් මෙහි බොහෝ ස්ථාන ගවේෂණයට ලක් වෙලා නෑ.තවමත් මෙම පුදබිම තුළ තිබෙන පොකුණුවල ජලය පිරී තිබෙනවා.ඒ නිසා මේවා මෙහෙම සංරක්ෂණය නොකර තිබ්බහම වෙන්නේ දිනෙන් දින විනාශ වෙලා යන එක. කඳු මුදුනේ පවා දාගැබ් තිබෙනවා. නරඹන්නන් මවිතයට පත්වෙන ආකාරයේ ඉපැරණි පුරා වස්තු සහිත ආරාම සංකීර්ණයක් මෙහි තිබෙනවා. මෙම පුදබිමේදී සිට ඓතිහාසික රජගල පුරාවිද්‍යා භූමියේ උමගක් එකල තිබුණ බවට ජනප‍්‍රවාදයේ සඳහන් වෙනවා යැයි පූප්‍ය පල්ලේවෙල මහින්ද හිමියන් අදහස් දැක්වූහ. මේ පිළිබඳව අදහස් දැක්වූ දමන පදිංචි චතුරංග මහතා මෙලෙස පැවසුවේය. අපේ අතීත උරුමයන් නරඹන්න ලෝකයේ සිව් දෙසින් ජනයා ලංකාවට පැමිණෙනවා. ඔවුන්ගේ වැඩි දෙනෙක්ගේ අවධානය යොමුවෙලා තිබෙන්නේ අනුරාධපුර, පොලොන්නරු වැනි ප‍්‍රදේශවලට. නමුත් නැගෙනහිර පළාතේ සුවිශාල උරුමයන් තිබෙනවා. දීඝවාපිය, රජගලතැන්න, නීලගිරිය ආදී උරුමයන්ට අමතරව පුළුකුණාව පුරාවිද්‍යා ස්ථානය ද ගවේෂණය කර සංරක්ෂණය කරන්නේ නම් සංචාරක ව්‍යාපාරය වර්ධනය කරන්නට පුළුවන්.

මඩකලපුවේ විශාලතම පැරණි පුළුකුණාව හෙවත් වෙහෙරගල්කන්ද පුදබිම

නැගෙනහිර පළාතේ සුන්දර මුහුදු වෙරළ තීරයන් තිබෙනවා. ඒ සමඟම ගල්ඔය ජාතික වන උද්‍යානය, ලාහුගල වනෝද්‍යානය, කුමන වනෝද්‍යානය වැනි සුන්දර වන පාරාදීසය තිබෙනවා. එවන් සුන්දර ස්ථාන සහ මෙවන් ඓතිහාසික පුරාවිද්‍යා උරුමයන් සංරක්ෂණය කරල ජනතාවට දැක බලා ගන්නට අවස්ථාව ලැබුණොත් සංචාරක අංශය විශාල දියුණුවක් කරන්නට පුළුවන්.මෙම ස්ථානයේ දහසක් වූ අඩුපාඩු හා වන අලි තර්ජන මැද හිමිනමක් වැඩ වාසය කරමින් සිටියි. මෙම පුදබිම විහාරස්ථානයේ ඉදිකරන සමයේ සිංහල ජනයා පදිංචි කළ ද කොටි ත‍්‍රස්තවාදීන් ගේ කුරිරුකම් හමුවේ ඒ ජනයා ඉඩකඩම් අත්හැර යන ලදී. ඒ නිසා මෙම පුදබිමට වසන හිමිවරුන්ට දන් දෙන්නේ යුද හමුදාවේ නිලධාරීන් විසිනි.

මේ වෙන විටත් මෙම පුදබිමේ පූජ්‍ය කිරිදිවැල සෝමරත්න නායක හිමියන්ගේ මහා කැපවීමේ ප‍්‍රතිඵලයක් ලෙස ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර බෝධීන් වහන්සේ නමක් රෝපණය කර තිබේ. මේ වන විටත් අවම පහසුකම් සහිතව මෙම පුදබිම පවතී.

මෙම පුදබිම ගවේෂණය කර නිසි පරිදි සංරක්ෂණය සිදු කරන තෙක් ලෝකවාසී බෞද්ධ ජනතාවගේ සහාය මෙම පුදබිමට ලැබෙන්නේ නම් රජමහ විහාරයක අංගවලින් සමන්විත මනරම් පුදබිමක් ගොඩනැඟීමට හැකිවනු ඇත.

දිවයින පුවත්පත කියවන ලොව පුරා සිටින ඔබ දනට පිනට ලැදි මනුස්සකම හදවත පුරා පුරවාගෙන සිටින පිරිසක් බව දනිමි. ඔබගේ සහය අන්තවාදීන් විසින් දිනෙන් දින විනාශයට ගොදුරු කර ගනිමින් තිබෙන මෙම පුදබිම දියුණු කරන්නට ලැබුණහොත් දීඝවාපි පුදබිම මෙන් මෙම පුළුකුණාව ජනතාවගේ වන්දනාමානයට පත්වෙනු ඇත.

0718333322 යන නැගෙනහිර දෙපළාතේ අධිකරණ සංඝනායක පූජ්‍ය කිරිඳිවැල සෝමරතන නාහිමියන්ගේ දුරකථන අංකයෙන් මෙම පුදබිම පිළිබඳ තොරතුරු ලබා ගත හැක. ඔබ නැගෙනහිර පළාතේ, දිගාමඩුල්ලේ සංචාරය කරන්නේ නම් ඓතිහාසික පුළුකුණාව පුදබිම ද වැඳපුදා ගන්නට අමතක නොකරන්න.

සුසන්ත අමරබන්දු

advertistmentadvertistment
advertistmentadvertistment