මඩේ ලගින දේශපාලන තාරාවුන් නාවන්න බෑ!

351

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි මූලික යෝජනාවක් මෙන්ම එහි පදනම ලෙස ද හැඳින්විය හැකි සර්ව පාක්‍ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් විපක්‍ෂ නායක සජිත්ගේ විවේචනය දැඩි නිර්දය හා කිසියම් අවඥා සහගත එකක් බවද පෙනේ. විපක්‍ෂ නායක සජිත්ට අනුව මෙම යෝජනාව රාජපක්‍ෂවරුන්ගේ බිඳ වැටුණු දේශපාලනය යළි නඟා සිටුවීමේ අරමුණින් ක්‍රියාත්මක වන්නකි. එහි සත්‍යයක් තිබේ නම් එයින් ගම්‍ය වන්නේ ගාලු මුවදොර අරගලකරුවන් විසින් අද පවතින සමාජ ආර්ථික දේශපාලනයට එරෙහිව නඟන ලද ඓතිහාසික විරෝධතාව නො තකමින් සිය සුපුරුදු බල ව්‍යාපෘතිය අත්හැර දැමීමට ඔවුන් සූදානම් නොමැති බවකි. සැබැවින්ම විරෝධතාකරුවන් අවධාරණය කළ සිස්ටම් චේන්ජ් වෙනුවට නිදහසින් පසු මේ දක්වාම මෙරටේ ප්‍රභූ දේශපාලනඥයන් විසින් නඩත්තු කරන ලද ඒ දූෂිත, ගර්හිත ක්‍රමවේදය තවදුරටත් පවත්වා ගෙන යෑම රාජපක්‍ෂවරුන්ගේ හා එම කඳවුරෙහි අභිලාෂය වී තිබේ ද?

ගාලු මුවදොර විරෝධතා ව්‍යාපාරය දෙස මතුපිටින් බලන බොහෝ දෙනෙක් එහි ගැඹුර හා අභ්‍යන්තර දේශපාලනය හඳුනා නො ගනිති. එම විරෝධතාව පුළුල් මහජන දායකත්වයෙක් සහිතව ඉදිරියට ගලා ගිය ආකාරය ගෝඨාභය මෙන්ම මහින්දත් නිවැරදිව වටහා ගෙන තිබුණි. එය පවුල්වාදය දූෂණය නාස්තිය, අල්ලස් හා වංචනික ක්‍රියාකාරකම් ආදී කරුණු ගණනාවකට එරෙහිව ගොඩ ගැසුණු ජන බලයකි. ගෝඨාභය තමන්ට හිමු වූ 69 ලක්‍ෂයක ජනවරම නිෂේධනීය වූ බව වටහා ගත් නිසා සිය ධුරය අත්හැර පලා ගිය බව ද රහසක් නොවේ. ජයර්ධන ගොඩ නැඟූ ප්‍රබල හා නොයෙක් නීතිමය ආවරණවලින් ද ශක්තිමත් කළ විධායක ජනාධිපති ධුරයට මහජන ප්‍රජාතන්ත්‍රවාදී විරෝධය අබියස අත් වූ ඉරණම පොහොට්ටුවේ සමහරුන්ට නොතේරීම ද පුදුමයක් නොවේ. එපමණක් නොව පවතින ආණ්ඩු ක්‍රමයෙහි විධි විධාන අනුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවේ අසුනක් හිමිවූ රනිල් 69 ලක්‍ෂයක ජනවමරක් හිමිවූ ගෝඨාභය වෙනුවට ජනාධිපති ධුරයට පත්වීමේ දේශපාලන සරදම පොහොට්ටුවේ මෙන්ම ඉන් පිටත ද නොදන්නා අය සිටිති. එහෙත් ඒ තාක්‍ෂණ හා නීතිමය තර්ක ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදය හා මහජන අපේක්‍ෂාවන් පිළිබඳ නිගමනවලට එළැඹීම යථාර්ථවාදී නැත. ඇත්ත වසයෙන්ම රනිල් ජනාධිපති ධුරයට පත්වීම දේශපාලන අර්ථයෙන් බැලූවිට රාජපක්‍ෂ පවුල් පාලනයට එරෙහිව ගොඩ නැඟුණු ජනමතය පිළිබිඹුවීමක් ලෙස සැලකීමට නොහැකිය. එයින් කිසිසේත්ම අරගලයේ කේන්ද්‍රීය බලය වන තාරුණ්‍යයයෙහි අපේක්‍ෂා උද්දීපනය වූ බවක්ද කිව නොහැක.

මඩේ ලගින දේශපාලන තාරාවුන් නාවන්න බෑ!

ජනාධිපති රනිල් මේ ප්‍රජාතන්ත්‍රවාදී මහජන විරෝධය ඔස්සේ විවර වූ කවුළුනේ මතු වූ දේශපාලන චරිතය බවට පත්වීම, රාජපක්‍ෂ බල වළල්ල බිඳ දමන්නක් නොවන බව ඉතා පැහැදිලි සරල කරුණකි. අප්‍රේල් 09 වැනිදා මිරිහානෙන් ආරම්භ වී ජූලි 09 වැනිදා තෙක් සිදුවූ ක්‍රියාවලිය නොසලකා හැරීමට නොහැකි බලවේගයක ප්‍රතිඵලයක් බව රාජපක්‍ෂවරුන් විසින් එයට දක්වන ලද ප්‍රතිචාරවලින්ම පැහැදිලිය. එහෙත් ජනාධිපති රනිල් දෙස බොහෝ දෙනෙක් බලා සිටින්නේ වර්තමාන සමාජ ආර්ථික හා දේශපාලන අර්බුද කෙරෙහි තියුණු හා සාධනීය වාතාවරණයක් සකසා දෙනු ඇතැයි යන අපේක්‍ෂාවෙන්මය. ඔහුගේ දේශපාලන උපාය මාර්ග මෙරටේ සමස්ත ජන පීඩනයට අවමහ හෝ සහනයක් ලබා දෙන බවට රනිල්ගේ ඇතැම් විවේචකයෝ ද කල්පනා කළහ. රටේ ආර්ථිකය බිඳ වැටීමට හිටපු ජනාධිපති ගෝඨාභයගේ අනම්‍ය හා දැඩි එමෙන්ම ප්‍රායෝගික නොවූ බොහෝ තීරණ හේතු වූ බවද ජනාධිපති රනිල් දන්නා කරුණකි. රසායනික පොහොර තහනම, ගෝඨාභයගේ පාලනය බිඳ වැටීමට හේතු වූ බව රට ම දන්නා කරුණකි. ගොවියන්ගේ විරෝධය කෙබඳු දැයි ඒ දිනවල දිගින් දිගට ම සිදු වූ උද්ඝෝෂණවලින්ද පැහැදිලි විය. හැම පානයකදීම රාජ්‍ය අංශයේ බොහෝ තනතුරුවලට තම හිතවතුන් අනුගාමිකයන් පත්කර ගැනීමේ දුෂ්පිළිවෙත ගෝඨාභය අත්හැරියේද නැත. ඔහු වඩාත් විශ්වාසය තැබූ හමුදා ප්‍රධානීන් කිසිවකුගෙන් අපේක්‍ෂා කළ සේවයක් ඉටු වූ බවක්ද කිව නොහැක.

ජනාධිපති රනිල්ට සිය අභිමතය අනුවම ක්‍රියා කළ නොහැකි බව වටහා ගත් ඇතැම් දේශපාලන විචාරකයන් පාර්ලිමේන්තුව වෙනුවට මහජන කවුන්සිලයක් ද යෝජනා කර තිබේ. දිගු කාලයක් මුළුල්ලේ මෙරටේ පාලකයන්ට පාලනය කරගත නොහැකිවූ දූෂණය, වංචාව, අල්ලස, නීතියේ බිඳ වැටීම යනාදී කිසිවකට ගෝඨාභයගේ දෑවුරුදු පාලන සමය තුළ කිසිදු පිළිතුරක් ලැබුණේ ද නැත. ඇත්ත වසයෙන්ම සිදු වූයේ සමාජය ආර්ථික හා දේශපාලන ගරාවැටීම වඩාත් වේගවත් වීමකි. දැන් ජනාධිපති රනිල් මේ සියල්ලම ජය ගැනීම සඳහා යෝජනා කරන්නේ සර්ව පාක්‍ෂික ආණ්ඩුවකි. මේ වනවිට පාර්ලිමේන්තුවේ දීර්ඝ විවාදයක් පවා ඒ අරභයා සිදුවූ අතර ජනාධිපතිවරයා වෙන වෙනම දේශපාලන පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම් සමග ද සාකච්ඡා වට ගණනාවක්ම පවත්වා ඇත. ජ. වි. පෙ. කණ්ඩායම සමග එබඳු සාකච්ඡාවක් සිදු නොවීම ද කැපී පෙනුණි. එයට අදාළ දේශපාලන විවේචන මෙන්ම කරුණු දැක්වීම් ද සිදු වී ඇත.

සර්ව පාක්ෂික ආණ්ඩුවට එක්වීම පිළිබඳව විපක්‍ෂ නායක සජිත්ගේ විවේචනය නිර්දය එකක් බව ඉහතදීත් සඳහන් කර ඇත. ඔහුගේ වවේචනයේ හරය වන්නේ ජනාධිපතිවරයාගේ යෝජනාව ආණ්ඩුවේ දේශපාලන ගුණ්ඩුවක් බවය. එයින් සිදු කිරීමට යන්නේ තවදුරටත් රාජපක්‍ෂ ක්‍රියාන්විතයම පෙරට ගෙන යෑමක් බව ඔහු පෙන්වා දෙයි. දැන් තිබෙන ඇමැති මණ්ඩලයට පොහොට්ටුවේ තවත් පිරිසක් එක් කර ගැනීම හා විශාල කැබිනට් මණ්ඩලක් නඩත්තු කිරීම මේ අසීරු ආර්ථික අර්බුදයට ඔරොත්තු නොදෙන්නක් බවද ඔහුගේ අවධාරණයයි. පොහොට්ටුව නියෝජනය කරමින් හිටපු ඇමැතිවරුන් කීපදෙනෙක්ම යළි පත්කර ගැනීමට ආණ්ඩුවට අවශ්‍යව තිබෙන බවද ඔහුගේ චෝදනාවකි. මෙහිදී ඔහු දක්වන්නේ දූෂිතයන් ලෙස අප්‍රසාදයට පත්ව සිටින අය ද ඇතුළත් කැබිනට් මණ්ඩලයක හිඳ ගැනීම ඇඳුම් ඇඳගෙන කළ නොහැකි බවය. ඔහු පවසන රාජපක්‍ෂ “කුණුලොරිය” හා දූෂිත ඇමැතිවරුන් වැනි යෙදුම්වල අර්ථ දැක්වීම් ඇඟවීම් අතිශය බරපතළය. මෙරටේ දේශපාලනය පිළිබඳ අප බොහෝ දෙනෙකු තුළ තිබෙන විවේචනය වන්නේත් එය කුණුවී ගිය දුගඳ හමන එකක් බවය. පාර්ලිමේන්තුවේ 225 ම එපා යන ජනතා විරෝධයට පදනම් වන්නේ ද ජයවර්ධන යුගයේ සිට මෙතෙක් පැවැති දේශපාලනයෙහි වූ ගර්හිත හා දූෂිත ක්‍රියාවලියයි. එහිදී රාජපක්‍ෂවරුන්ට වෙනම විවේචනයක්ද තිබේ. ජ. වි. පෙ. අනුර කුමාර පාර්ලිමේන්තුව තුළදීමෙන්ම පිටතදීත් මෙරටේ නඩත්තු කෙරෙන දූෂිත, වංචනික දේශපාලනය විවේචනය කර තිබේ. ඒවා ජනතාවගේ මනස් තුළ ද තැන්පත්ව තිබිය හැකිය.

මේ විවේචන සමග බොහෝ දෙනෙක් එකඟ වන බවද අපි දනමු. එහෙත් අපට තිබෙන කනගාටුව මේ පාලනයේ ප්‍රධාන බලය තවමත් හිමිවූ රාජපක්‍ෂ කඳවුර එය අමතක කිරීමය. පොහොට්ටුව තවත් ඇමතිකම් ඉල්ලීම පමණක් නොව, ජනතාවගේ අප්‍රසාදයට ලක්වූ අයගෙන් පිරී තිබෙන පාලනයක් පිළිබඳ අපට ද විවේචනයක් තිබේ. ජනාධිපති රනිල් සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන කතාකරද්දී එයට උඩින් පැන හෝ තම බලය රඳවා ගැනීමට රාජපක්‍ෂවරු කල්පාන කරත් ද? අද ස්වාධීනව සිටින පක්‍ෂ කණ්ඩායමේ ප්‍රබලයකු වන වාසුදේවට අනුව ජනාධිපතිවරයා පොහොට්ටුවේ සිරකරුවෙකි. ජනධිපතිවරයාට ස්වාධීනව කටයුතු කිරීමට පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් බාධා එල්ලවන බව ඔහුගේ විවේචනයය.ි සර්ව පාක්‍ෂික ආණ්ඩු සංකල්පය මෙසේ ඇදී යන්නේද කුමක් හෝ අනිසි අත පෙවීමක් නිසා ද යන සැකය ද ඉතා සාධාරණය. එය පොහොට්ටුවට එල්ල වීම ද අනිවාර්ය දෙයකි. එහෙත් පොහොට්ටුව තවදුරටත් රට අගාධයකට ඇද දැමු දූෂිත මාර්ගය ඔස්සේම මේ රට ගෙනයා හැකි යැයි සිතන්නේ නම් එය මුලාවක් බව දැඩිව වටහා ගත යුතුය.

සර්ව පාක්ෂික ආණ්ඩුව පිළිබඳ යෝජනාව සමාජ දේශපාලන ක්‍ෂේත්‍රවල අවධානයට යොමු වූයේ රට මුහුණදී තිබෙන ගැඹුරු ප්‍රපාතයෙන් මිදිය හැකි මඟක් ලෙස එය පිළිගැනීම නිසාය. දැන් මාස ගණනාවක් මුළුල්ලේ ජනතාවගෙන් වැඩිම පිරිසක් ගොදුරුව සිටින විනාශයට මෙතෙක් සහනයක් ලබාදීමට පාලකයන්ට නොහැකි විය. එදා සිටි ජනාධිපති හා මේ කැබිනට් මණ්ඩලයේම සිටින පිරිසක් හා ඉන් ඉවත්වූ අය ද ඒ විනාශයට වගකිව යුතු වෙති. දෙවන ලෝක යුද සමයෙන් පසු (1939 – 45) රට මුහුණ දුන් බරපතළම විනාශය මෙය බවද කියති. විදේශ විනිමය සමග ද ගැට ගැසුණු මූල්‍ය කළමනාකරණයේ අවිධිමත් භාවය ගෝඨාභය පාලනයේ ප්‍රධාන දුබලතාව විය. එයට මුහුණ දීම සඳහා ඉදිරිපත් වූ මෙම සර්ව පාක්ෂික යෝජනාව සමග ගෝඨාභය කල් බලමින් සිටි අයුරු කවුරුත් දනිති. එහි අවසන් ප්‍රතිඵලය වූයේ රාජපක්‍ෂවරුන්ගේ බලය සංකේතවත් කළ ගෝඨාභයට ද රටින් යන තැනට කටයුතු සිදුවීමය. ඒ රාජපක්‍ෂවරුන් ප්‍රමුඛ පාලනයේ ආර්ථික දුෂ්චරිත නිසා මුළු මහත් ජනතාවගේම සමාජ ආර්ථික ජීවිත කඩා වැටී රට ම බංකොලොත් විය.

ගෝඨාභය විසින්ම ඒ ආර්ථික සමජ ප්‍රතිසංස්කරණයට තෝරා ගන්නා ලද චරිතය රනිල් විය. ඔහු අගමැති හා දැන් ජනාධිපති ලෙස ද යම් යම් පියවර ගනිමින් ද යෝජනා කරමින් ද සිටියි. එය යළිත් පොහොට්ටු පාලනයක් විය යුතු නැත. රටට මේ අර්බුදය රැගෙන ආ අයගෙන්ම එයට විසඳුම් ලබාගත නොහැකි බව කවුරුන් පිළිගනිති. ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාර්ථයක් කරගත යුතු බවට පොදුවේ රාජපක්‍ෂ කඳවුරට පරිබාහිරව ද පිළිගත් කරුණකි. එහෙත් සර්ව පාක්‍ෂික මන්තරය දෙසා බාමින් පොහොට්ටුවේ විනාශයට වගකිව යුතු අය ලෙස ජනතා විරෝධයට ලක්වූවන්ට ඇමැතිධුර පිරිනැමීම බරපතළ ක්‍රියාවකි. සජිත්ගේ විරෝධයට එය තාර්කික පදනමක් සපයා තිබේ. දූෂිත යැයි චෝදනා ලැබූ ඇමැතිවරුන් සමග එකට අසුන් ගැනීම විලි ලැජ්ජා නැති බඩ ගෝස්තරවාදී දේශපාලනයක් බව සජිත් පුන පුනා කියයි. ලංකාව දේශපාලන නරකාදියක් බවට පත් කළාහු ද හැත්තෑව දසකයේ පමණ සිට රට පාලනය කළ පක්‍ෂ හා නායකයෝම වෙති. ඒ දේශපාලන මඩෙහි ලගින තාරාවුන් නාවා පිරිසිදු කළ නොහැකි සත්ත්ව විශේෂයක් බව ජනතාව දනිති. හැත්තෑව දසකයට පෙර එය මෙතරම් විකෘතියක් නොවීය.)

ජ. වි. පෙ. අනුර කුමාර ප්‍රමුඛ එම පක්‍ෂයේ දේශපාලන ස්ථාවරය වන්නේ ද රාජපක්‍ෂ පාලනයේම දිගුවක් ලෙස තිබෙන මේ පාලනයට සුජාත භාවයක් නැති බවත් සර්ව පාක්‍ෂික ආණ්ඩුවකට ඔවුන්ගේ සහාය නොලැබෙන බවත්ය. එහෙත් ඉතා කුඩා කැබිනට් මණ්ඩලයක් පත් කර නිශ්චිත කාල රාමුවකට පසු වහාම මහ මැතිවරණයකට යා යුතු බවද ජ. වි. පෙ. අදහසය. මේ සියල්ල විමර්ශනය කර බලනවිට සර්ව පාක්‍ෂික ලේබලය යටතේ තවත් ඇමැතිවරුන් පත් කිරීමට පොහොට්ටුව දරන උත්සාහය පැහැදිලිව පෙනේ. ඉකුත් පාර්ලිමේන්තු විවාදයකදී රාජපක්‍ෂ කඳවුරෙන් රටට ලබාදුන් දැඩි ප්‍රකාශයකින් අවධාරණය කළේ රාජපක්‍ෂවරුන් අදත් හෙටත් මේ දේශපාලනයේ නිරතවන බවය. එය මහජන මතය අනුව සිදුවන්නක් නම් කිසිවකුට විරුද්ධ වීමට ද නොහැක. එහෙත් මේ තිබෙන දේශපාලන වාතාවරණය තුළ එබඳු අවකාශයක් නැත. මේ වනවිටත් හිටපු ජනාධිපති ගෝඨාභය මුහුණ දී සිටින්නේ අමිහිරි අත්දැකීම් මාලාවකටය. ඔහු එබඳු මානුෂික හේතූන් මත අනුකම්පාවට පාත්‍රවිය යුතු චරිතයක් නොවේ. ඔහුට මේ මහපොළොව තහනම් කළ නොහැක.

රනිල් ජනාධිපති ධුරයට පත්වූයේ පොහොට්ටුවේ අනුබලය හා අනුග්‍රහය නිසා බව කවුරුත් දනිති. එහෙත් ඔහු සතු වගකීම ඒ පොහොට්ටුව රැකීම ඓතිහාසික මහජන පිබිදීමක ඵලයක් ලෙස බිඳ වැටුණු රාජපක්‍ෂ කඳවුර වෙනුවෙන් පෙනී සිටීම හෝ නොවේ අද ආයුබෝවන් මහරජාණනි ලෙස ප්‍රශස්ති ගැයු වන්දිභට්ට දේශපාලනය මිය යමින් තිබේ. තවමත් පැරැණි දේශපාලනය නඩත්තු කරන අය යුගපුරුෂ වන්දනාවක් ද කරති. එහෙත් අරගලය විසින් කඩා බිඳ දමන ලද ඒ ජරපත් දේශපාලන කුණුපයට පැවැත්මක් නැත. ඇත්තට ම අරගලයේදී ගෝඨා හෝ හෝම් සටන්පාඨය අතට ගත් අය කල්පනා නොකළ දෙයක් ද විය. ඒ ගෝඨා නික්ම යෑමෙන් පසු කුමක් කළ යුතු ද යන්නයි. එහෙත් අත්නොහල අරගලයක නිහඬ කළ නොහැකි ජනබලයක අභිලාෂයන් ඉටු කිරීමේ වගකීම මේ දේශපාලන පක්‍ෂ හා නායකයන් සතු වූවකි. සර්ව පාක්‍ෂික පාලනයකට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියල්ලෝම එකඟ නොවෙත් නම් බහුතර පක්‍ෂවලට සම්බන්ධ විය හැකි කිසියම් කාල රාමුවක් සඳහා අන්තර්වාර පාලනයකට යා හැකිය. එය කිසිසේත් තනතුරු වරප්‍රසාද සඳහා නොව මේ රට මුහුණදී සිටින විපතින් ගොඩ ඒමේ අධිෂ්ඨාණශීලී පියවරක් වීම ප්‍රමාණවත්ය. ඇමතිකම්වල දිග පළල වරප්‍රසාද නිල මාන්නය එතැනට අදාළ නොවිය යුතුය.

මේ රට වෙනුවෙන් සේවය කිරීමට ඇමැතිකම් අවශ්‍ය යැයි නොසිතන ප්‍රබුද්ධ පිරිසක් ද සිටිති. පාර්ලිමේන්තු තුළ කාරක සභා මට්ටමින් එය කළ හැකි බව ස. ජ. බ. හර්ෂ ද සිල්වා පවසා තිබේ. ඔහු මේ වනවිට මුදල් කාරක සභාවට ද යෝජනා වී සිටියි. එසේම කෝප් හා කෝපා සිටියි. එසේම කෝප් හා කෝපා කමිටුවලට ද ස. ජ. බ.යේම එරාන් හා කබීර් හෂීම් ද යෝජනා වී තිබේ. සජිත් එකඟ වන්නේත් සර්ව පාක්‍ෂික වැඩපිළිවෙළකට මුළු පාර්ලිමේන්තුවම දායකවීමකි. මෙම අර්බුදය ජාතික විපතක් ලෙස වටහා ගත හැක්කේද දේශපාලන අන්තර් ඥානයකින් සපිරි අවංක හා ප්‍රබුද්ධ පිරිස්වලට පමණි. පටු අරමුණු රහිත දේශපාලන මජරකම් දුරලූ එබඳු අය අදත් ස්වල්ප දෙනෙක් හෝ සිටිති.

මේ අතර සර්ව පාක්‍ෂික ආණ්ඩුවකට සහාය දැක්වීම සඳහා අපේ ඇතැම් දෙමළ නායකයන් ඉදිරිපත් කරන කොන්දේසි ගැන ද සංවාද මතු වෙමින් තිබේ. නැඟෙනහිර ප්‍රදේශයේ පුරාවිiා කැණීම් නැවැත්වීම දෙමළ සිරකරුවන් නිදහස් කිරීම වැනි ඉල්ලීම් මේ ජාතික අර්බුදය සමග සබඳතාවක් නැත. ඒවා බොර දියෙහි මසුන් බෑමක් වැන්න. යළිත් සිංහල දෙමළ භේදය වපුරා ලීමට එබඳු යෝජනාවලින් පෙළඹවීමක් ලැබෙන බව පමණක් කිව යුතුය. අපගේ අදහස වන්නේ මේ පවතින අර්බුදය ජාති, ආගම්, පක්‍ෂ ආදි කවර හේතුවකට හෝ යොදා නොගත යුතුය. එදා බණ්ඩාරනායක අගමැතිවරයා ප්‍රකාශ කළ පරිදිම අප පළමුවෙන්ම ශ්‍රී ලංකික වේ. සිංහල හෝ දෙමළ වන්නේ දෙවනුවය. ජනාධිපති රනිල් මේ වනවිටත් දෙමළ සංවිධාන හා පුද්ගලන් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබේ. එබඳු පියවර විචාරශීලීව හා බුද්ධිමත්ව ගතයුතු බව පමණක් කිව යුතුය.

කෙසේ හෝ අද මේ රටේ ජනතාව වන්දි ගෙවමින් සිටින්නේ දේශපාලන අවස්ථාවාදීන්, හොරුන්, තක්කඩියන් මෙන්ම ඔවුන් සමග ජාතික සම්පත් හොරා කෑ අධම වසල නිලධාරීන්ගේ ද පව්වලට ය. දූෂිත බංකොලොත් රටක හිඟන්නුන් අහිනක් බවට ජනතාව පත් කළ දේශපාලන චෞරයෝ අදත් සුවසේ කල්ගෙවති. යස ඉසුරු ගොඩ ගසා ගනිති. සෞභාග්‍යයේ දැක්ම අවලංගු වී දුර්භාග්‍යයේ විපත ගම් දනව්කරා ද ගලා ගොසින්ය. මහානායක අනුනායක හිමිවරුන් මෙන්ම කාදිනල් හිමියන් අන් ආගමික නායකයන් හා සිවිල් සංවිධාන නීතීඥ සංගම් ආදිය නායකයන්ට දුන් උපදෙස් ඉදිරිපත් කළ යෝජනා වතුරේ ගොසින්ය. සත්පුරුෂ සමාජ ප්‍රාර්ථනාවේ අරගලයන්ට විරාමයක් ලැබී තිබේ. ඒනිසා මොන නමින් හැඳින්වුවත් රට වෙනුවෙන් කෙරෙන පොදු ජන මෙහෙවර තව කල් නොදැමිය යුතුය. ජනාධිපති රනිල්ට කාලය විසින් පවරන ලද භාරකාරත්වයට යුක්තිය ඉටු කරන ලෙස පමණක් ලියා තබමි.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment