නාඩු-120යි
සම්බා-125යි
කීරි සම්බා-132යි
වී අලෙවි මණ්ඩලය හරහා මෙවර මහ කන්නයේදී වී මිලදී ගැනීමේදී වී කිලෝවක් සඳහා ගෙවන අවම මිල ගණන් රජය ඊයේ (05දා) ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව වියළි නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, වියළි සම්බා වී කිලෝවක් රුපියල් 125කටත්, වියළි කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132කටත් මිලදී ගන්නා බව කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.
වෙළෙඳපොළේ සහල් මිලත් ගොවියාගේ නිෂ්පාදන වියදම සහ පාරිභෝගිකයා ගැනත් සිතා කිසිවකුට අසාධාරණයක් නොවන ලෙස වී සඳහා අවම මිලක් නියම කිරීමට පියවර ගත් බවද ඇමැතිවරයා සඳහන් කළේය.
වී අලෙවි මණ්ඩලය මගින් මෙවර මහ කන්නයේ වී ගන්නා මිල ගණන් දැනුම්දීමට ඊයේ (05දා) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
වී අලෙවි මණ්ඩලය තෙත වී මිලදී නොගන්නා බවත්, පෞද්ගලික අංශයට තෙත වී මිලදී ගෙන වියළා ගැනීමේ හැකියාව පවතින බැවින් රජය ප්‍රමිතිගත වී පමණක් මිලදී ගන්නා බවත් ඇමැති ලාල්කාන්ත මහතා සඳහන් කළේය.
මණ්ඩලයේ මිලට වඩා වැඩි මිලට වී මිලදී ගැනීමට වෙනත් පාර්ශ්වයන්ට හැකියාව ඇති බව පැවසූ ඇමැතිවරයා වී මිලදී ගැනීම රජය ප්‍රකාශයට පත් කරන්නේ නියම මොහොතේදී බවද කියා සිටියේය.
ඇතැම් ගොවි සංවිධාන හෝ දේශපාලන වුවමනාව මත ක්‍රියාත්මක වන කණ්ඩායම්වලට අවශ්‍ය ලෙස වී අලෙවි මණ්ඩලය වී මිල නියම නොකරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
කෘෂිකර්ම, නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහතාද මාධ්‍ය හමුවට එක්ව සිටියේය.
සුජීව තත්සර
ආණ්ඩුවේ වී මිල ගැන ගොවීන්ගේ සෑහීමක් නෑ – ජාතික ගොවිජන එකමුතුවේ සභාපති
වී සඳහා රජය නියම කළ අවම මිල ගණන් පිළිබඳව ගොවි සංවිධාන සෑහීමට පත් නොවන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ‘දිවයින’ට ඊයේ (05දා) පැවසීය.
වී කිලෝවක් සඳහා ගොවීන් රුපියල් 130 – 140ත් අතර මුදලක් බලාපොරොත්තුව සිටි නමුත් රජය රුපියල් 120ක් ලබාදීමට ක්‍රියාකළ බවද හෙතෙම සඳහන් කළේය. අවම මිල ගණන් පිළිබඳව තමන් සෑහීමට පත් නොවූවත්, පාරිභෝගිකයා පිළිබඳව සිතා රටතුළ සහල් මිල සාධාරණව පවත්වාගෙන යන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද හෙතෙම පැවසීය.
“රජය තෙත වී කිලෝවක් සඳහා අවම මිලක් නියම කළෙත් නැහැ. වී මිලදී ගැනීමට වෙන් කර ඇත්තේ රුපියල් කෝටි 500යි. ඉන් මිලදී ගත හැක්කේ වී මෙටි්‍රක් ටොන් 40,000කට ආසන්න ප්‍රමාණයක්. නමුත් වී මිලදී ගන්න අවශ්‍ය ඕනෑම මුදලක් ලබාදෙන බව රජය කියා තිබුණා. ඒ වුණත් රජය සතුව තිබෙන්නේ වී ගබඩා 74ක් පමණයි. ඒවායේ ගබඩා කළ හැක්කේ වී මෙටි්‍රක් ටොන් අසූදහසක් පමණක්’ යැයි ද අනුරාධ තෙන්නකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
සුජීව තත්සර