නිවෙස් හිමිකාරිය කොවිඞ් ආසාදිතව රෝහල්ගත කිරීම හේතුවෙන් වසා දමා තිබූ නිවසක් තුළ දින හතක කාලයක් නිරාහාරව සිටි සුනඛයන් 17 ක්, බළලූන් 20 දෙනකු සහ ඉබ්බකු මත්තේගොඩ පොලිසිය මැදිහත්වී නිවස ශුද්ධ පවිත‍්‍ර කර සතුන්ට ආහාර පාන ලබාදීමේ ආදර්ශමත් සිද්ධියක් නිකිණි පොහෝදා (22 දා* මත්තේගොඩ නිවාස සංකීර්ණයෙන් අපට අසන්නට දකින්නට ලැබිණි
මෙම නිවාස සංකීර්ණයේ වර්ග අඩි 350 ක් පමණ කුඩා නිවසේ සතුන් හදාවඩා ගත් කාන්තාවන් දෙදෙනාට, කොරෝනා ආසාදනය වී මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලැබීම නිසා සතුන් මෙසේ නිරාහාරව සිට ඇති බව වාර්තා වේ. රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන එක් කාන්තාවක් අසාධ්‍ය තත්ත්වයෙන් දැඩිසත්කාර ඒකකයට ඇතුළත්ව ප‍්‍රතිකාර ලබන බවද පැවසේ.


මෙලෙස සතුන් නිරාහාරව දින ගණනාවක් විලාප න`ගමින් නිවසක් තුළ සිරවී සිටින බවට සත්වවේදිනියක වන මනෝජා වීරක්කොඩි මහත්මියට ලද තොරතුරකට අනුව ඇය ආසාදිත කාන්තාවන්ගේ ඥාතියකුගෙන් සතුන්ට ආහාර පාන ලබාදී සත්කාර කිරීමට අවසර ඉල්ලා ඇතත් ඊට අවසර ලබාදිය නොහැකි බවට ඥාතීන් පැවසීම හේතුවෙන් ඇය මේ පිළිබඳව මත්තේගොඩ පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබිණ.

ඒ අනුව මත්තේගොඩ පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සුමේධ විමල ගුණරත්න මහතා සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ ඥාතීන්ට දුරකථනයෙන් කතා කොට, නිවසේ යතුර ගෙන්වාගෙන, පොලිසිය මැදිහත්වී දොරගුළු විවෘත කොට සිරවී සිටි සතුන්ට ආහාර පාන ලබාදීමට පියවර ගෙන තිබුණි.
ඒ අවස්ථාව වන විට නිවස තුළ, සුනඛයන් දහහතක්, බළලූන් විස්සක්, එක් ඉබ්බෙකු සිටි අතර බළලූන් දෙදෙනකු මියගොස් සිටි බවද සත්වවේදිනී මනෝජා වීරක්කොඩි මහත්මිය පැවැසුවාය.

මනෝජා වීරක්කොඩි මහත්මිය ඇතුළු පිරිසට පොලිසිය අවසර දුන්නේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී අසංක ශ‍්‍රීනාත් මහතා මෙසේ කියා සිටියේය.
මෙම නිවසේ කාන්තාවන් දෙදෙනා කලක සිට සුරතලයට සතුන් හදාවඩා ගෙන තියෙනවා. ඒත් මෙම නිවෙස්වල සතුන් හදාවඩා ගැනීමට නිවාස සංවර්ධන අධිකාරියෙන් අවසර ලබාදීලා නැහැ. ඒක නීතිමය තත්ත්වයක්.
නමුත් වසර පහක පමණ සිට මෙම කාන්තාවන් සතුන් හදාවඩා ගෙන තියෙනවා. මේ වනවිට සුනඛයන් දාහතක් බළලූන් විස්සක් සහ එක් ඉබ්බෙකු නිවසේ සිට හමුවුණා.
මේ තත්ත්වය හරි අවදානම්. ඒ අතරෙ බළලූන් දෙදෙනකු මියගොස් සිටියා. ඉතින් මම කියන්නේ සතුන් හදාවඩා ගැනීම ඉතා හොඳ කි‍්‍රයාවක්. නමුත් මෙලෙස සතුන් අසරණභාවයට පත්වීම සත්ව හිංසාවක්. දින ගණනාවක් සතුන් ආහාර නොමැතිව විලාප න`ගමිනුයි සිටියේ.
මේ කාරණය දැනගෙන සත්ත්ව වේදිනියක ඇතුළු පිරිසක් මේ ස්ථානයට පැමිණ පොලිසියේ මැදිහත්වීමෙන් පසුගිය නිකිණි පුර පසළොස්වක පොහෝදා මේ සිදුකළ කි‍්‍රයාව මහා පුණ්‍යවන්ත කි‍්‍රයාවක්. මේ සඳහා සහයෝගය දැක්වූ සැමදෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා.
ඒ වගේම බලධාරීන්ගෙන් මා ඉල්ලා සිටින්නේ මේ කාරණය පිළිබඳව අවධානය යොමුකොට අවශ්‍ය පියවර
ගන්නා ලෙසයි.
මෙම අවස්ථාවට හෝමාගම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී අසංක ශ‍්‍රීනාත්, මත්තේගොඩ පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සුමේධ විමලගුණරත්න, සත්වවේදිනී මනෝජා වීරක්කොඩි, අර්ජුන වික‍්‍රමසිංහ, සූ. විජේකුලසූරිය මිය ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
මේ අහිංසක සතුන්ට ජීවිතය ලබාදෙන්නට ඉදිරිපත් වූ සත්ත්ව අවිහිංසාවාදී කි‍්‍රයාවට කැපවූ මනෝජා වීරක්කොඩි කවුදැයි අපි දැන් විමසමු.
ශ‍්‍රී ලාංකේය සිනමාවේ අමරණීය මතකයන් රැන්දූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ගේ ගම්පෙරලිය, සංදේශය, සිකුරු තරුව, කුරුළුබැද්ද, ගෝඞ් කිං වැනි සිනමා පට ගණනාවකම කලා අධ්‍යක්‍ෂණය කළ මෙරට කීර්තිමත් චිත‍්‍ර හා මූර්ති ශිල්පියකුව සිටි දිවංගත කලා මාන්‍ය ආරියවංශ වීරක්කොඩි මහතාගේ දියණිය ඇයයි. ඇයගේ එක් සොහොයුරකු වන ප‍්‍රසන්න වීරක්කොඩි මහතා ප‍්‍රකට චිත‍්‍ර ශිල්පියකු මෙන්ම පරිසරවේදියකු ලෙසද ප‍්‍රකටය.
පින්සිරි ආරියරත්න – රත්මලාන සහ ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්