මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ මිලියන 6 ක වගකීම අපි භාරගන්නවා

252
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ මිලියන 6 ක වගකීම අපි භාරගන්නවා

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්
මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි

රට තුළ පැවති සෑම රජයක්ම පාහේ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙළ පිළිබඳ සැලසුම් සහිතව ජනතාව හමුවට පැමිණි බව සැබෑය. සෞභාග්‍ය දැක්ම ජාතික ප‍්‍රතිපත්තිය අනුව ද මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම සඳහා ජාතික වැඩපිළිවෙළක් සකස් කිරීම සම්බන්ධයෙන් ප‍්‍රමුඛතාව ගෙන තිබෙනු දක්නට ලැබේ. ශ‍්‍රී ලංකාවේ මෙතෙක් පුනරුත්ථාපනය සඳහා යොමුකර ඇත්තේ පිරිමින් පමණි. මෙම වසරේ අග හෝ නව වසරේ මුල හෝ ප‍්‍රථම වතාවට කාන්තාවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. ඊට සමගාමීව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ඉකුත්දා ප‍්‍රකාශ කර සිටියේ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන තවදුරටත් ඉදිරියට ගෙන යමින් අටදහසකට ආසන්න පිරිසක් පුනරුත්තාපනය සඳහා යොමු කිරීමට කටයුතු යොදන බව ය. ඒ සඳහා මූලිකත්වය ගනු ලබන්නේ පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාලය යි. එහි ප‍්‍රධානි පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීම මත කන්දකාඩුව ප‍්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහිත් සේනපුර තෘතියික හා වෘත්තීය භාෂා පුහුණු මධ්‍යස්ථානයෙහිත් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළ ක‍්‍රමවත්ව පවත්වාගෙන යනු ලබයි. වසරක් තුළ දැනට එක්දහස් හත්සියයක පමණ පිරිසක් පුනරුත්ථාපනය කරන පසුබිමක අට දහසක පමණ පිරිසක් පුනරුත්ථාපනය සඳහා කටයුතු කරන්නේ කෙසේද යන්නත් ඊට අදාළ පහසුකම් සපයා ගැනීම සඳහා ගන්නා ක‍්‍රියාමාර්ග මොනවාද යන්නත්, විශේෂයෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් මේ සඳහා යොමු කර ගන්නා ආකාරය පිළිබඳවත් අපි කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් විමසුවෙමු. මේ එම සංවාදයයි.

අධිකරණ අමාත්‍යවරයාගේ සැලසුමක් තිබෙනවා මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ කාන්තාවන් සඳහා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ඇති කිරීමට. මෙය ශ‍්‍රී ලංකාවට අලූත් අත්දැකීමක් නේද….?

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාත් සිරකරුවන් පුනරුත්ථාපන හා බන්ධනාගාර කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් පී. ආර්. සිල්වා මහතාත් ඉකුත් සතියේ සාකච්ඡා කළා මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ තරුණ පිරිස් පුනරුත්ථාපනය කිරීමේදී ගත යුතු නව ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන්. මේ වන විට ශ‍්‍රී ලංකාවෙහි මිලියන හයකට ආසන්න පිරිසක් මත්ද්‍රව්‍ය සඳහා දරුණු ලෙස ඇබ්බැහි වී සිටිනවා. එයින් මිලියනයකට වැඩි පිරිසක් කාන්තාවන්. මොවුන් පුනරුත්ථාපනය කළ යුතු ක‍්‍රමවේද පිළිබඳ අපි එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළා. ඒ වගේම පුනරුත්ථාපනය සඳහා යොදවා ගන්නේ කෙසේද යන්න සැලසුම් කළා. එම සැලසුම් අතරින් එක් සැලසුමක් තමයි වව්නියාව ඒකාබද්ධතා මධ්‍යස්ථානය ආශ‍්‍රිතව මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය කිරීම. අද රටේ පවතින තත්ත්වය සමග කාන්තාවන් පුනරුත්ථාපනය කිරීම අත්‍යවශ්‍ය කාර්යයක් බවට පත්වෙලා. මේ සඳහා විසඳුම් ගෙන ආ යුතු හොඳම කාලය මෙයයි. අද පවතින සමාජ විෂමතාවන් සමග තරුණියන් වරදකට යොමු වීමට ගත වන්නේ තත්පරයකටත් අඩු කාලයක්. ඒ සඳහා ඔවුන්ට වැරදි ආදර්ශ වගේම වරදකට පෙළඹීමට අවශ්‍ය පසුබිම සාධක ගොඩනැගී තිබෙනවා. පාසල් දරුවන් ජංගම දුරකථන ඔස්සේ ඉතා සෝචනීය ලෙස සම්බන්ධතා ගොඩනගාගෙන තිබෙනවා. මේ තරුණ දියණිවරු අධිකරණයකින් වරද කරුවෙක් වෙනවා කියන්නේ ඉතාම බරපතළ කාරණයක්. අපි දැන්ම ඊට සුදුසු ක‍්‍රියාමාර්ග ගත යුතුව තිබෙනවා. වරදට යොමු වූ අය ඉන් මුදා ගැනීමටත්, තරුණ දූ දරුවෝ වරදකට පෙලඹෙන්න පෙර අවබෝධය ඔස්සේ ආරක්ෂා කර ගැනීමටත්. මෙය රටට නව සංකල්පයක් වුවත් හමුදා නිලධාරීන් වශයෙන් අපි කාන්තා එල්ටීටීඊ සාමාජිකයන් පුනරුත්ථාපනය කර තිබෙන නිසා අපට ඒ සඳහා අත්දැකීම් තිබෙනවා. එය ඉතා සාර්ථක ලෙස නිම කිරීමටත් අපට හැකියාව ලැබුණා. එලෙස පුනරුත්ථාපනය ලැබූ කාන්තා එල්ටීටීඊ සාමාජිකාවන් අදටත් අප සමඟ සම්බන්ධතා තබා ගනිමින් ඉතා හොඳ ජීවිතයක් ගත කරනවා. ඒ නිසා මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය කිරීමේ කාර්යය භාර¥ර කාර්යයක් ලෙස මා දකින්නේ නැහැ.

දෙදහසකට ආසන්න පිරිසක් පුනරුත්තාපනය කර ඇති ඔබගේ ආයතනයට එකවර අට දහසක පිරිසක් පුනරුත්ථාපනය සඳහා යොමු කිරීම අභියෝගයක් නෙමෙයිද….?

එම කටයුත්ත සඳහා අධිකරණ අමාත්‍යවරයා ලොකු උනන්දුවක් දක්වනවා. ඔහුගේ සැලසුම අනුව අදියර තුනක් යටතේ තමයි සංඛ්‍යාත්මකව පිරිස වැඩි කරන්න කටයුතු කරන්නේ. 2022, 2023, 2024 යන වසර තුළදී අට දහසක පිරිසක් පුනරුත්ථාපනයට යොමු කිරීමට හැකියි. ඊට අදාළ පහසුකම් සියල්ලක්ම ක‍්‍රමිකව සම්පූර්ණ කරගැනීමට අපි දැන් සිටම කටයුතු කරනවා. එය අභියෝගයක් නොව අපගෙන් ඉටුවිය යුතු මෙහෙයක් ලෙසයි මා දකින්නේ.

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළ ඔස්සේ මෙතෙක් පුනරුත්ථාපනය වූ පිරිස සාර්ථක ලෙස සමාජගත කළ හැකි වුණාද..?

2013 අගෝස්තු මස විසි වෙනිදා තමයි පුනරුත්ථාපන කොමසාරිස් කාර්යාල මගින් කන්දකාඩු ප‍්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය ස්ථාපිත කළේ. මත්ද්‍රව්‍ය භාවිතයෙන් සමාජ විරෝධීන් ලෙස පොලිස් අත්අඩංගුවට පත් වන පිරිස් අධිකරණ නියෝගයක් මත පුනරුත්ථාපනයට යොමු කිරීම එදා සිටම සිදුකළා. හයදහසකට ආසන්න පිරිසක් මේ වන විට ප‍්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා. මේ පිරිස කන්දකාඩු ප‍්‍රතිකාර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මාස 6 කුත් සේනපුර තෘතීයික හා වෘත්තීය භාෂා පුහුණු මධ්‍යස්ථානයේ මාස 6 කුත් පුහුණුව ලබා තිබෙනවා. මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් යනු මුල් කාලයේ මත්ද්‍රව්‍ය නොමැතිව දරුණු ලෙස පීඩා විඳින පිරිසක්. ඔවුන් මුල් මාසයේ පාලනය කරගැනීම ඉතාම වැදගත්. මේ වන විට පිටව ගිය පිරිසෙන් සියයට දශම ගණනක් හැර සෙසු සියල්ලෝම සාර්ථක ලෙස ජීවත්වන බවට තොරතුරු තිබෙනවා.

කන්දකාඩුව සහ සේනපුර ලෙස ස්ථාන දෙකකදී පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමේ විශේෂත්වය කුමක්ද…?

කන්දකාඩුව ප‍්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී සිදු කෙරෙන්නේ අධිකරණය මගින් යොමුකළ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ රැඳවියන් මෙල්ල කර ගැනීම වැනි කටයුත්තක්. ඒ සියල්ල සිදුවන්නේ ඉතා පිළිවෙළකට චිකිත්සාවන් ඔස්සේ යි. බොහෝ දෙනකුගේ මතයක් තිබෙනවා මොවුන් පාලනය කරගැනීම සඳහා දරුණු පියවර ගන්නා බවට. නමුත් කිසිම අවස්ථාවක පුනරුත්ථාපනයේදි එවැන්නක් සිදුවන්නේ නැහැ. කෘෂි චිකිත්සාව, ජල චිකිත්සාව, උපදේශනය, භාවනාව සම්බන්ධ සෞඛ්‍ය තත්ත්වයන් ද යථාර්ථය පැහැදිලි කරදීම ආදී ක‍්‍රමවලින් කන්දකාඩුවේ වැඩසටහන් රැසක් සිදු කෙරෙනවා.

සේනපුරදී සිදු කරන්නේ මේ රැුඳවියන්ට වෘත්තීය පුහුණුවක් ලබා දීමයි. පුහුණුවක් ලබාදීම සේනපුර දී සිදු කෙරෙනවා. රැකියාවන් කරා යොමු කිරීමටත් පියවර ගන්නවා.

මෙම පිරිස් සේනපුරින් නැවත නික්ම යන්නේ තමන් ජීවත් වූ ප‍්‍රදේශයට. එහිදී නැවත නැවතත් මත්ද්‍රව්‍ය සඳහා යොමු වීමේ ඉඩකඩක් තිබෙනවා. වසරක් පුරා කළ මෙහෙය එවිට ප‍්‍රතිඵල රහිත වේවි නේද..?

මිනිස්සු විවිධයි විෂමයි. පුනරුත්ථාපන කාලසීමාව තුළදී තමන් අතින් සිදු වූ වරද අවබෝධ කර ගනිමින් ජීවිතය මත්ද්‍රව්‍ය සඳහා යොමු වූ බවට තොරතුරු තිබෙනවා. ඒ සඳහා අපි මෙවර නව වැඩසටහන් ඇති කර තිබෙනවා. මෙවැනි තත්ත්වයට පත්වන පිරිස් හඳුනා ගැනීමට අපට හැකියාව තිබෙනවා. ඒ පිරිස් සඳහා විශේෂ පුනරුත්ථාපන ක‍්‍රියාදාමයන් ඇති කිරීමට මා කටයුතු කළා. සේනපුර සිට නික්මෙන වැඩි පිරිසකට විදේශගත වීමේ ක‍්‍රමවේදයන් සැලසුම් කරලා තියෙන්නේ. වෘත්තීය පුහුණුව ලබන පිරිස් සේම ඔවුන්ගේ පවුල් ජීවිත ද ආලෝකවත් වෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ අපි මේ වන විට සාකච්ඡා කරනවා වෘත්තීය පුහුණුව සහිතව විදේශ ගත කළ හැකි

රැකියා අවස්ථා සම්බන්ධයෙන්. බහුතරයකටම විදේශගත වීමේ හැකියාව ඇති පරිදි තමයි සැලසුම් සකස් කොට තිබෙන්නේ. ඊට අදාළ කරගනිමින් පුහුණුවක් ලබාදීමට අප මේ වන විට කටයුතු කරනවා.

බොහෝ දෙනා මත්ද්‍රව්‍යට ඇබ්බැහි වන්නේ කිසියම් මානසික පීඩාවක් හෝ විඳ දරා ගැනීමට ශක්තියක් නොමැති වීමත් සමග. පුනරුත්ථාපනය මගින් එය යථාවත් වුවත් සමාජගත වීමෙන් පසු නැවත නැවත පීඩාකාරීව ජීවත් වීමට සිදු වුවහොත් ඔවුන් නැවතත් වරදක් කරන්නට පෙළඹේවි නේද…?

සෙසු වසරවලට වඩා එහා ගිය දරාගැනීමේ පුහුණුවක් සහ සමාජයේ කැපී පෙනෙන පුහුණුවක් ලබාදීමට අපි තීරණය කළේ මේ සියලූ කාරණා නිසා. ඒ අනුව තමයි යම් ස්ථානයක සිදුවෙන කුමක් හෝ සිදුවීමකදී මූලිකත්වය ගැනීමට හැකි අයුරින් ඔවුන්ව පුරුදු පුහුණු කරන්නට අපි සැලසුම් කරලා තියෙන්නෙ. විනයගරුක, සෞඛ්‍ය සම්පන්න, කැපී පෙනෙන, තමන් පිළිබඳ අභිමානයක් ඇති පුද්ගලයෙක් බිහි කිරීම පුනරුත්ථාපන ක‍්‍රියාවලියේදී සිදුකරනවා. එනිසා නැවත පීඩාවක් පැමිණියත් ඒ සඳහා සෘජුව ශක්තිමත්ව අභිමානයෙන් මුහුණදීම සඳහා අවශ්‍ය පසුබිම අපි සකස් කරලා දෙනවා. ආපදා කළමනාකරණය පිළිබඳ පුහුණු පාඨමාලාවක්., හදිසි අවස්ථාවක බෝම්බයක් නිෂ්ක‍්‍රීය කරගැනීම හෝ ගැටුම්කාරී අවස්ථාවකදී ගැටුම විසඳා දීමට ඉදිරිපත් විය හැකි ආකාර පුහුණුවක්, හදිසි අනතුරකදී හෝ වෙනත් ඕනෑම අවස්ථාවකදී මූලික ප‍්‍රථමාධාර ලබා දියහැකි කෙටිකාලීන ප‍්‍රථමාධාර පාඨමාලාවක්, ජලය විදුලිය පරිසරය වනාන්තර ඇතුළු ස්වභාවික සම්පත් ආරක්ෂා කරගැනීම උදෙසා වන පාඨමාලාවක්, ජංගම දුරකථනයේ නිවැරදිව භාවිත කිරීම සහ එයින් සිදුවන යහපත අයහපත පිළිබඳ පාඨමාලාවක්, යහපත් පවුල් ජීවිතයක් යහපත් දරුවන් නිවැරදිව ගොඩනගා ගන්නා ආකාරය පිළිබඳව පුහුණුවක්, පවුලේ ප‍්‍රශ්නයකදී ඊට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳවත් වන පාඨමාලාවක්, ශ‍්‍රී ලංකාවේ ඓතිහාසික ස්ථාන ආරක්ෂා කරගැනීම, ජාතීන් අතර සමගිය ආරක්ෂා කරගැනීම පිළිබඳ පාඨමාලාවක්, පිළිකාව, දියවැඩියාව, බෝ නොවන රෝග, ඒඞ්ස්, ඩෙංගු සහ නිදන්ගත රෝග සහ බෝ වන රෝග පිළිබඳ පුළුල් අවබෝධයක් සහිත පාඨමාලාවක් අප මේ පිරිසට ලබා දෙනවා. මේ සියල්ල සම්බන්ධයෙන් අධ්‍යයනය ලබාදෙන්නේ ඉතා ක‍්‍රමවත්ව. ඒ ඒ රැඳවියන්ගේ මානසික තත්ත්වයන් අවබෝධ කරගැනීමේ ශක්තීන් ඒ සියල්ලක් ගැනම අප පූර්ණ අවධානය යොමු කොට තිබෙනවා.
එවැනි පුහුණුවක් ලබන තැනැත්තා නැවත සමාජයට ගොස් පෙර සිටි පුද්ගලයා පරිද්දෙන්ම කටයුතු කරන්නේ නැහැ කියන විශ්වාසය අපට තිබෙනවා. සමාජගත කළ පසු පුනරුත්ථාපන කොමසාරිස් කාර්යාලය යටතේ පවතින ප‍්‍රාදේශීය කාර්යාල ඔස්සේ ඔවුන් පිළිබඳ පසු විපරමක් දිගින් දිගටම සිදුකෙරෙනවා.

රටේ නන් දෙසින් ජනතාවගේ චෝදනාවක් තිබෙනවා පළාත් නවය ම ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යොමු කිරීමේ අවස්ථාව නැති බවට.

පුනරුත්ථාපනය සඳහා පුද්ගලයන් යොමු කරන්නේ දිවයින පුරා තිබෙන අධිකරණ හරහායි. ඊට අදාළව සියලූම කටයුතු සිදුකරන්නෙ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින්. ඉදිරියේදී පුනරුත්ථාපනය කරන පිරිස වැඩි අගයක් ගන්නා නිසා මේ කියන චෝදනා ඉදිරියේදීත් නැති වේවි.

සාකච්ඡා කළේ – සමන්තී විරසේකර

advertistmentadvertistment