මත්පැන් ඉල්ලුම සියයට 30කින් පහළට – රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී හෙළි වෙයි

141

මත්පැන් මිල වැඩිවීම සහ ජනතාවගේ ආදායම් අඩු වීම නිසා මත්පැන් ඉල්ලුම 30% කින් පමණ අඩු වී ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

මේ පිළිබඳ අනාවරණය වූයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (20දා) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

රාජ්‍ය ආදායම වැඩිකරගැනීමට සකස්කොට ඇති සැලසුම් හා ඒවායේ වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට මාර්ගගත ක්‍රමය ඔස්සේ ආයතන කිහිපයක් නියෝජනය කරන නිලධාරීන් මෙහිදී සම්බන්ධ කර ගැණිනි. මේ අනුව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති පිළිබඳ අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව නියෝජනය කරන නිලධාරීන් මෙසේ මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ කර ගනු ලැබිණි.

මෙහිදී ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ඉලක්කගත ආදායමට ළඟාවීමේදී ගැටලු කිහිපයක් ඇති වී තිබෙන බවත් මත්පැන් නිෂ්පාදනය කිරීමට ඇති එතනෝල් ප්‍රමාණය සීමාසහිත වීම, ඩීසල් සහ දැවිතෙල් සීමාසහිත වීම සහ බෙදාහැරීමේදී ඇති ගැටලු මීට හේතු වී ඇති බවත් මෙම නිලධාරීන් සඳහන් කළේය. එසේම මත්පැන් මිල වැඩිවීම සහ ජනතාවට ආර්ථික අපහසුතා පැවතීම යන කරුණු නිසා මත්පැන් ඉල්ලුම 30%කින් පමණ අඩු වී ඇති බවද ඔවුහු පෙන්වා දුන්හ. මේ නිසා නීති විරෝධී මත් පැන් නිෂ්පාදනය වැඩිවීමේ ප්‍රවණතාවක් මේ වන විට ඇති වී තිබෙන බව අනාවරණය විය.

එසේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අපේක්ෂිත ආදායම් සහ වර්තමාන තත්ත්වය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරන ලදි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද මෙම අවස්ථාවට සහභාගි වූ අතර බදු ප්‍රතිපත්ති වෙනස් කිරීමේදී කටයුතු කරන ආකාරය සහ බදු පරිපාලනය වැඩි දියුණු කිරීමට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ වූ නිලධාරීන් සමග ඒ මහතා සාකච්ඡා කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment