මතුගමටත් පාතාලයක්

1187

රට තුළ සාපරාධය ක‍්‍රමානුකූලව නැතත් අතනින් මෙතනින් හිස ඔසවන බව පෙනේ. ස්ත‍්‍රී දූෂණ, පැහැරගෙනයෑම්, නිවාසවලට පහරදීම්, කුඩු බෙදාහැරීම්, සෑම පැය 24 ක් තුළම කිහිප වතාවක් සිදුවෙමින් පවතී. මතුගම පාතාල කල්ලි දෙකක ගැටුමක් නිසා පසුගිය දිනෙක තිදරු හතළිස් හැවිරිදි මවක් මිය ගියාය. මේ සිදුවීම ඊයේ දිවයින පුවත්පතේ ප‍්‍රමුඛ පුවතය. පාතාලකාරයන් මතුගම ව්‍යාපාරිකයකුගේ ගෙට පැන ඔහුට වෙඩි තැබීමට සූදානම් වූහ. එවිට ව්‍යාපාරිකයා තම කුඩා දරුවන් දෙදෙනාද සමග කාමරයක් තුළ සැඟවිණි. ඔහු සොයා ගැනීමට නොහැකි වුණු තැන බලවත් සේ කෝපයට පත්වූ පාතාල පිරිස ව්‍යාපාරිකයාගේ බිරිඳගේ හිසට වෙඩි තබා ඇය මැරූහ. සිද්ධියට අදාළ ව්‍යාපාරිකයා මතුගම පාතාලය සමග සම්බන්ධකම් පැවැත්වූ බව කියනු ලැබේ. මේ පුවත මුලින් ලැබුණු මොහොතේදී අප සිතාගෙන සිටියේ ව්‍යාපාරිකයා තමන්ට දරුවන් දෙදෙනකු ලබාදුන් ආදරණීය බිරිඳ එම දරුවන්ද සමග කාමරයක සඟවා තුවක්කුව ඉදිරියට යන්නට ඇති බවය. එහෙත් එය එසේ නොවන බව දැන ගැනීමෙන් පසු මරා දමන ලද කාන්තාව ගැන අපි මහත් සේ ශෝකයට පත්වුණෙමු. බුදුන් වහන්සේ විසින් දේශනා කළ පරිදි කෙනකුට තව කෙනකු වෙනුවෙන් කළ හැකි කැපකිරීම්වල කෙළවරක් නොමැත. වික්ටර් හියුගෝ කියන පරිදි ආදරය වෙනුවෙන් කළ හැකි කැපකිරීම අසීමාන්තිකය. ප‍්‍රංශ ජාතික මහා ලේඛක වික්ටර් හියුගෝ ගැන මෙහිදී ස්වල්පයක් කියමු. ලෝක ප‍්‍රකට මනුතාපය සහ කුදාගේ ආලය නමැති පොත් දෙක ලියූ මහා ගත්කරු වික්ටර් හියුගෝ 1802 දී ඉපිද 1885 දී පැරීසියේදී මියගියේය. ඔහුගේ පොත්වල ඇත්තේ කැපකිරීම් පිළිබඳ කතන්දරය. පන්සිය පනස් ජාතකයේ ඇත්තේද කැපකිරීම් පිළිබඳ කතන්දරය. මතුගම ව්‍යාපාරික සැමියා අපරාධකරුවන්ට පපුව දිය යුතුව තිබුණේ යැයි අපි මෙයින් අදහස් නොකරමු. හැබැයි ඔහු එසේ කළා නම් මේ කතන්දරය අප‍්‍රමාණ වීරයකු පිළිබඳ කතන්දරයක් බවට පත්වනවා ඇත.

අවුරුදු 2500 ක බෞද්ධ ඉතිහාසයක් ඇති ශ‍්‍රී ලංකාව ක‍්‍රමයෙන් සාපරාධී රාජ්‍යයක් බවට පත්වීමේ කතාව සංඛ්‍යාලේඛන සහිතව පොලිස් පොත්වල තිබේ. මේ රට තුළ මුල් වරට සමූහ අපරාධ සිදුවන්නේ 1971 දීය. එහිදී ජ වි පෙ කැරැල්ල හටගත් අතර ජ වි පෙ ය එක පොලිස්කාරයෙක් මරණ විට පොලිසිය සහ හමුදාව ජ වි පෙ යේ දහයක් ඝාතනය කළහ. 1988, 89 දී මේ කැරැල්ලේ දෙවන භාගය ආරම්භ වූ කල්හි ජේ වී පී කාරයෙක් එක පොලිස්කාරයෙක් මැරූ විට හමුදාව සහ පොලිසිය එක්වී ජේ වී පී කාරයන් දෙතුන් සීයක් මැරූහ. 1989 දවසක වැලිමඩ බණ්ඩාරවෙල පාර දෙපස උල්කරන ලද දිග ලී වල ගැසූ ජ වි පෙ තරුණයන් 18 දෙනකුගේ හිස් පාර දෙපස සිටුවා තිබෙනු දක්නා ලදී. මේ කටයුතුවලට සමාන්තරව 83 ජූලි කලබලයත් සමග ආරම්භ වූ ඊළාම් යුද්ධය 2009 දී අවසන් වන විට ලක්ෂ ගණනක් ඝාතනය වී තිබිණ. යුද්ධයෙන් පසු ඝාතන සංස්කෘතිය අවසන් වූයේ යැයි අපි සිතුවෙමු. මේ රටේ ජනයා එතැන් සිට අපේක්ෂා කළේ රිය අනතුරු හෝ ළිංවලට වැටීම් වැනි හදිසි අනතුරු මරණ පමණි. එහෙත් එතැන් සිට පාතාල කල්ලි අතර ගැටුම් ආරම්භ විය. විවිධ අය තමන්ට අනභිමත පුද්ගලයන් ඝාතනය කිරීමේ කොන්ත‍්‍රාත්තු පාතාලයට භාරදීමට පටන් ගත්හ. එය සාමාන්‍ය වාණිජ්‍ය ව්‍යාපාරයක ස්වරූපයෙන් සිදුවිය. එකම වෙනස වුණේ පුවත්පත්වල දැන්වීම් පළකර ටෙන්ඩර් කැඳවා මනුෂ්‍ය ඝාතන සඳහා කොන්ත‍්‍රාත් නොදීම පමණි. එක වතාවක් එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමස්ත ලංකා පාතාලය මර්දනය කර දැමුවේය. අවුරුද්දක ඇවෑමෙන් පාතාලය යළි මතුවිය.

සාමාන්‍යයක් වශයෙන් ගත්කල මේ රට තුළ අවුරුද්දකට අපරාධ 35000 ක් පමණ සිදුවේ. 2019රැ20 වසරවලදි මෙයින් 289 ක්ම අවුරුදු 16 ට වැඩි නව යෞවනියන් දූෂණය කිරීමය. තවත් 305 ක් වයස 16 ට අඩු දැරියන් දූෂණය කිරීමය.

පැහැරගැනීම් 900 ට කිට්ටු ප‍්‍රමාණයක් ද ගෙවල් බිඳීම් 8143 ක් ද අවුරුද්දකට සිදුවේ. 2019 අවුරුද්දේ මේ රටේ වාර්තා වූ මිනී මැරුම් ගණන 479 කි. ගිය අවුරුද්දේ ගණනද එයට ටිකක් කිට්ටුය. කොරෝනා සමයේදී වෙළෙඳ සල් කඩා භාණ්ඩ කොල්ලකෑම වැඩිවිය. සාමාන්‍යයෙන් අවුරුද්දකට මේ රටේ සොරකම් 3000 ක් පමණ සිදුවේ. මේ සියල්ල වාර්තා වූ අපරාධය. එසේම වාර්තා නොවූ අපරාධ ද විශාල සංඛ්‍යාවක් තිබේ. සමහර අපරාධ ධන බලයෙන් යට ගැසීම සිදුවෙයි. තවත් අපරාධ දේශපාලන බලයෙන් යට ගසනු ලැබේ. අපරාධයක් සෙවීමට මහන්සි වී අතින් කයිට්කර ගන්නවාට වඩා ඒවා යට ගැසීමට පොලිසියේ ඇතැම් නිලධාරීහු කැමති වෙති. මේ නිසා ලංකාවේ සාපරාධී ගමන් මග තවත් බොහෝ ඈතට වැටී තිබෙන බව හදපිරි ශෝකයෙන් කිව යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment