“යොවුන් විය මෝඩකමකි. මහලු විය පසුතැවිල්ලකි.” අපේ බොහෝ දෙනෙක් ගේ ජීවිතයේ තේමා පාඨය වී ඇත්තේ මෙයයි. මෙම තේමා පාඨය බෞද්ධයාට අදාළ නැත. බෞද්ධයාට අයත් වන්නේ ඊට ප්‍රතිවිරුද්ධම තේමා පාඨයකි. ජීවිතයේ සැඳෑ සමයේ දී ආපසු හැරී මගේ බලන විට මගේ දීවා රාත්‍රී ගත වූයේ කෙසේ දැයි සොයා බලද්දී ඒ පිළිබඳව අසීමිත සතුටක් ලැබිය හැකි නම් එය බෞද්ධ ක්‍රමවේදය වෙයි.
ජීවිතයේ යථාර්ථය පිළිබද අනවබෝධය පදනම් කොට ගෙන ජීවිතය සංකීර්ණ තත්වයට පත් කරගෙන ඇති බවක් දක්නට ලැබෙයි. ජීවිතය භෞතිකමයව හා ආධ්‍යාත්මිකව දියුණු වීම සැබෑ දියුණුවයි. එසේ වුවත් බොහෝ පිරිසක් ආධ්‍යාත්මික දියුණුවට වටිනාකමක් නොදෙයි. භෞතික දියුණුව කෙරෙහි බොහෝ වෙහෙසෙයි. වතුපිටි ඉඩකඩම්, මිල මුදල් යාන වාහන, ආභරණ උප භෝග, පරිභෝග සම්පත්,නිලතල තනතුරු, නම්බුනාම, දැන උගත්කම්,දූ දරු මුණුබුරු මිණිබිරි ආදි පරිවාර සම්පත් දියුණු කර ගැනීමට දැඩි වෙහෙසක් දරයි. මෙය යහපත්ව හෝ අයහපත්ව ඉටු කරයි. කෙනකු තම භෞතික සංවර්ධනය සඳහා ගන්නා ක්‍රියාමාර්ග තව කෙනෙකුට හිරි හැරයකි. ඒ පදනම් කොට විවිධ අපරාධ සිදු වෙයි. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිථ්‍යාචාරය, බොරුව, කේළම, පරුෂ, වචන, හිස් වචන, මදයට හා ප්‍රමාදයට හේතුවන මත් පැන් මත් ද්‍රව්‍ය පරිහරණය ආදි අපරාධ සමාජයට බිහි වෙයි. මේ සමගම විවිධ අර්බුද ගොඩනැගෙයි. පාතාලය බිහි වන්නේ මේ නිසයි. එකිනෙකා මරා ගන්නේ මේ නිසයි. ආර්ථික, දේශපාලන, සමාජ සංස්කෘතික ගරා වැටීම් ඇති වන්නේ මේ නිසයි.
එක් අවස්ථාවක දී බුදුරජාණන් වහන්සේ පූර්වාරාමයෙහි දී සූර්යා ලෝකයේ පහස ලබමින් වැඩ වෙසෙති. ඒ අවස්ථාවේ දී අග්‍ර උපස්ථාය ආනන්ද තෙරුන් වහන්සේ උන්වහන්සේගේ අතපය පිරිමදිමින් උන්වහන්සේගේ අතපය දුර්වල වී ඇති සැටි, එහි පැහැපත් බව නැති වූ සැටි, සිරුරෙහි සියුමැලි බව නැති වූ සැටි, සිරුර කුදු ගැසී ඇති සැටි පුකාශ කරති. එවිට බුදු රජාණන් වහන්සේ දේශනාකරනු ලබන්නේ “ යම් පුද්ගලයකු අවුරුදු සියයක් ජීවත් වුවද මරු ඔහු ද බිලි ගනියි. මරු කිසිවෙකු ප්‍රතික්ෂේප නොකරයි. සියල්ලන් ම තම ග්‍රහණයට ගනියි.” මෙයින් අර්ථ ගැන්වෙන්නේ කෙනෙකු ජීවත් වන කාලය නොව ජීවත්වන ආකාරය වැදගත් වන බවයි. වැදගත් ආකාරයට ජීවත් වන්නේ ලෝක යථාර්ථය දුටු වෝ වෙති. අනෙක් සියලු දෙනා පවෙහි ඇලී ගැලී වෙසෙති.
ලොව පවතින යථාර්ථය නම් යොවුන් බව මහලු කම හමුවේ බිඳ වැටෙයි. පරදියි. මහලුකම තුළින් යොවුන් බව ග්‍රහණයට ගනියි. රෝගී කම තුළින් නීරෝගි බවත්, මරණය තුළින් ජීවත්විමත් මේ ලෙසටම සූන්‍ය ආකල්ප බවට පත් වෙයි. ජීවිතයට වැදගත් වන්නේ මේ යථාර්ථය දැන ජීවත් වීමයි. මදය දුරලීමයි.
“ පොල්අතු වැටෙන විට ගොක්අතු හිනැහෙනවා – ගොක් අතු වුවද කලක දී පොල් අතු වෙනවා ” මෙය ජීවිතයේ යථාර්ථයයි. නිත්‍ය නොවන ලෝකය තුළ භෞතික අභෞතික සියල්ල නිත්‍ය නොවෙයි. අනිත්‍යයි. යොවුන් බවේ ශත්තිය, අලංකාරය බිද වැටෙයි. කලු කෙස් සුදු වෙයි. ඇස් පෙනීම අඩු වෙයි. නැති වෙයි. කනේ ඇසීම අඩු වෙයි. නැති වෙයි. අත පයේ, කයේ, මනසේ ශක්තිය අඩුවෙයි. නැති වෙයි. මුහුණ රැළි වැටෙයි. ගතෙහි සියුමැලි බව නැතිව නහර වැල් ඉලිප්පෙයි. සතිපට්ඨාන සූත්‍රයට අනුව “ ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ත්ව නිකායවල යම් දිරීමක් දිරාපත් බවක්, කැඩුණු බවක්, පැසුණු බවක්, වළ ගැසුන බවක්,ආයුෂ ගෙවී යෑමක් , ඉන්ද්‍රියන්ගේ පැසුණු බවක් දක්නට ලැබෙයි නම් එය ජරාවයි.” සත්වයාගේ ජරාවට පත්වීම ස්වභාවික සංසිද්ධියකි. එය එසේ නොවෙයි යයි කිසියම් ශ්‍රමණයකු, බ්‍රාහ්මණයකු, දෙවියකු, බ්‍රහ්මයකු, මාරයකු ඉදිරිපත් නොවේ යයි උන්වහන්සේ දේශනා කළහ. අප ළමා කායේ , තරුණ කාලයේ, මැදිවයසේ නතර නොකොට මහලු වයස දක්වාම ගෙනයයි. එහෙයින් කායික මානසික ශක්තිය ගිලිහෙන්නට පෙර යොවුන් වියේ දී භෞතික දියුණුව හා අධ්‍යාත්මික දියුණුව ලද යුතුයි. පවින් වැළකිය යුතුයි. එසේ නොකට කායික මානසික දුර්වල අවස්ථාවේ දි ඒ ගැන සිතීම පියඹන්නට පිහාටු ශක්තිමත් නැති මහලු කොස්වාලිහිනියකු ගැඹුරු ජලයේ මාළු අල්ලන්නට නොහැකිව මාළු නැති වෙරළ තීරයෙහි මඩෙහි මාළු අල්ලන්නට යයි සිතමින් ලැග සිටින්නා හා සමානයි.
බුද්ධ දේශනාවට අනුව මැරෙන මිනිස්සු උපදිති. ඒ උපත සිදුවන්නේ මේ භවය හා පෙර භවයන් හි අප කළ කර්ම ශක්තීන් මතයි. එම කර්ම ශක්තීන් පදනම් කරගෙනයි. සත්ත්ව යෝනීන් අතර හැරවුම් ලක්ෂයක් සටහන් කළ දුර්ලභව ලැබූ මිනිස් ආත්ම භවයට නිගා දෙමින් ජීවත් වෙනවාද එසේත් නැතහොත් ඒ ජීවිතයට අර්ථයක් එක්කොට සාධාරණයක් කරනවාද යන්න තීරණය කිරීම අප සතු වගකීමකි.
ශාස්ත්‍රපති, අධ්‍යාපනපති
විල්ඔය පඤ්ඤාතිලක ස්ථවිර
සංස්කරණය – නිශාන්ත අමරසිංහ
|