මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති සුපුන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විසිවෙයි

66

රුපියල් කෝටියක අල්ලසක් ලබාගත්තේ යැයි අභූත චෝදනා නඟමින් තමන් ද්වේෂ සහගත ලෙස අත්අඩංගුවට ගත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන්ට එරෙහිව නිසි පියවර ගන්න යැයි ඉල්ලා මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ කරුණු දැක්වීමෙන් අනතුරුව එම පෙත්සම විභාගයට ගැනීමට තරම් ප්‍රමාණවත් කරුණු නොමැති බවට නිගමනය කළ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්. තුරෙයිරාජා හා මහින්ද සමයවර්ධන යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළහ.

2023.11.10 වැනිදා තමා සිය කාර්යාලයේ සිටියදී පැමිණි අල්ලස් කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් තමා අත්අඩංගුවට ගෙන පසුදින අධිකරණයට ඉදිරිපත් කළ බවත්, 13 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව ඇපමත මුදාහළ බවත් පෙත්සම්කරු අධිකරණයට කියා තිබිණි. තමා අල්ලස් ගත් බවට හෝ ඉල්ලූ බවට කිසිදු සාක්‍ෂියක් නොතිබූ බවත් දේශපාලන හේතූන් මත එලෙස අත්අඩංගුවට ගත් බවත් එය සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් බවත් කියමින් එසේ නිගමනය කරන තීන්දුවක් නිකුත් කරන ලෙසට ද පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment