මධ්‍යම පළාත් ක්‍රීඩා උළෙලේ නව තරග වාර්තා 12ක්

80

මාතලේ බර්නාඩ් අළුවිහාරේ ක්‍රීඩාංගණය කේන්ද්‍රකර ගනිමින් දැන් ක්‍රියාත්මක මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ දෙවන දිනය වූ ඊයේ (14දා) දහවල් වන විට නව තරග වාර්තා 12 ක් බිහි කරමින් කැපී පෙනෙන්නට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූහ.

මහනුවර ත්‍රිත්ව විදුහලේ එස්. එන්. හෙට්ටිආරච්චි විසින් 2017 වසරේ දී පිහිටුවා තිබුණු 16.4 ක් වූ තරග වාර්තාව අභිබවා යමින් අවුරුදු 20 න් පහළ බාලක මීටර් 110 කඩුළු මතින් දිවීමේ නව තරග වාර්තාව තම නමින් ලියවා ගැනීමට ජාත්‍යන්තර කනිෂ්ඨ පදක්කම් ලාභී අයෝමාල් අකලංක සමත් වීම කැපී පෙණුනි. නුවරඑළිය හැටන් අධ්‍යාපන කලාපයේ පිහිටි අඹගමුව මධ්‍ය මහා විදුහලේ ශිෂ්‍යයකු ලෙස අයෝමාල් අකලංක ප්‍රදර්ශනය කළ දක්ෂතාව තත්.15.2 කි.

අයෝමාල් අකලංක ට අනුව යමින් නව තරග වාර්තා බිහි කරමින් කැපී පෙනෙන්නට මහනුවර ගේට්වේ ජාත්‍යන්තර පාසලේ එම්. අයි. තව්ෆික් (අවුරුදු 16 න් පහළ බාලක මීටර් 200 – තත්.23.2), මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විදුහලේ ආර්. ඒ. එම්. එස්. රණසිංහ (අවුරුදු 16 න් පහළ බාලිකා 200 – තත්. 26.30), කටුගස්තොට සංඝරාජපුර මහා විදුහලේ ඩබ්ලිව්. ජී. එන්. මධුභාෂිණී (අවුරුදු 20 න් පහළ හෙල්ල – මීටර් 32.19), කොත්මලේ වීරසේකර ද්විතියික පාසලේ ඩී. ඩබ්ලිව්. ජී. එන්. පබසරා (අවුරුදු 14 න් පහළ යගුලිය – මීටර් 8.22),

මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේ ජේ. ලක්ෂාන් (අවුරුදු 18 න් පහළ බාලක තුන් පිම්ම – මීටර් 13.96), මහනුවර ත්‍රිත්ව විදුහලේ ආර්. එන්. අමරසිංහ (අවුරුදු 14 න් පහළ බාලක මීටර් 80 කඩුළු මතින් දිවීම – තත්.12.5), රංගිරි දඹුල්ල ජාතික පාසලේ ඩී. එම්. දිසානායක (අවුරුදු 16 න් පහළ බාලක මීටර් 100 කඩුළු මතින් දිවීම – තත්.13.7), මහනුවර ත්‍රිත්ව විදුහලේ කේ. එච්. උයන්වත්ත (අවුරුදු 18 න් පහළ බාලක මීටර් 400 කඩුළු මතින් දිවීම – තත්.54.10),

මහනුවර සරසවි උයන මහා විදුහලේ යූ. ද සිල්වා (අවුරුදු 18 න් පහළ බාලිකා තුන් පිම්ම මීටර් 10.96), පිළිමතලාව ධීරානන්ද මධ්‍ය මහා විදුහලේ එච්. සී. කරුණාසිංහ (අවුරුදු 16 න් පහළ බාලිකා උස පැනීම – මීටර් 1.52), වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහලේ සී. අයි. කෝනාර (අවුරුදු 20 න් පහළ බාලිකා කවපෙත්ත විසිකිරීම – මීටර් 29.18) සමත් වූහ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර


advertistmentadvertistment