මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙල අද ඇරඹේ

131

ජාත්‍යන්තර සහ ජාතික කෙළි බිම ජයගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ රන් දෙපා මාතලේ බර්නාඩ් අළුවිහාරේ ක්‍රීඩාංගණයේ දී මුණ ගැසෙන මෙවර මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙල අද (13දා) පෙ.ව. 08.30 ට ආරම්භ කෙරේ.

දින 04 කින් සැදුම්ලත් වන මෙවර ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලිය සිකුරාදා (16දා) ප.ව. 03.00 දක්වා ක්‍රියාත්මක කෙරේ. ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් උදෙසා තිළිණ ප්‍රදානය එදින සවස සිදු කිරීමට නියමිතය.

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර ඇති මෙවර ක්‍රීඩා උළෙලට මහනුවර මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි අධ්‍යාපන කලාප 15ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වෙති.

වසර 27කට පසුව ක්‍රියාත්මක වෙමින් මධ්‍යම පළාත් පාසල් මලල ක්‍රීඩා උළෙල මාතලේ පුරවරයේ දී පැවැත්වීමට තීරණය කර තිබීම විශේෂත්වයකි. මධ්‍යම පළාත් පාසල් මලල ක්‍රීඩා තරගාවලිය 1997 වසරේ අවසන් වරට මාතලේ දී පවත්වා තිබේ. පසුගිය වසර කිහිපය තුළ මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වෙන ආකාරය දැක ගන්නට හැකි විය. සුදුසු ක්‍රීඩාංගණයක් එකල මාතලේ නගරයේ නොමැති වීම ද ඒ සඳහා බලපා තිබිණ.

අවුරුදු 20 න් පහළ (බාලක සහ බාලිකා), අවුරුදු 18 න් පහළ (බාලක සහ බාලිකා), අවුරුදු 16 න් පහළ (බාලක සහ බාලිකා), අවුරුදු 14 න් පහළ (බාලක සහ බාලිකා), යන වයස් සීමාවන් යටතේ ක්‍රියාත්මක කෙරෙන මධ්‍යම පළාත් පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ඉදිරියේ දී පැවැත්වෙන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබනු ඇත.

මධ්‍යම පළාතේ අධ්‍යාපන කලාප 15ට අයත් ලාබාල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම දක්ෂතාව ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව සලසා දෙමින් අවුරුදු 12 න් පහළ (බාලක සහ බාලිකා) මලල ක්‍රීඩා තරග ඉසව් ද මෙම තරගාවලිය යටතේ පැවැත්වීමට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අංශය පියවර ගෙන තිබීම ද මෙවර ඇති විශේෂත්වයකි.

මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද ක්‍රීඩා උළෙල ආරම්භ කෙරේ.

මෙවර මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ ඔලිම්පික් පහන දැල්වීම සඳහා අඹගමුව මධ්‍ය මහා විදුහලේ අයෝමාල් අකලංක ක්‍රීඩකයා සහ වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහලේ තරුෂී දිල්සාරා කරුණාරත්න ක්‍රීඩිකාව තෝරාගෙන තිබේ.

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට එක්වූ තරුෂී කරුණාරත්න වත්මන් ආසියාතික කාන්තා මීටර් 800 රන් පදක්කම් ලාභිනිය වන අතර අයෝමාල් අකලංක ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 කඩුළු මතින් දිවීමේ පදක්කම් ලාභියෙකි. එමෙන්ම මැද රට පාසල් කෙළිබිම තුළින් ජාත්‍යන්තරය ජයගත් අයෝමාල් අකලංක සහ තරුෂී කරුණාරත්න පළමු වරට මෙවර මාතලේ දී ධාවන පථයට පිවිසීමට නියමිතය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment