මීගමුව සිට පනාපිටිය යුද හමුදා මූලස්ථානයට හමුදා නිලධාරීන් හා නිලධාරිනියන් සේවය සඳහා රැගෙන යමින් තිබූ කුලී පදනම මත ලබාගන්නා ලද පෞද්ගලික බස් රථයක් කිරිඳිවැල පොලිස් වසමේ කිරිඳිවැල – නිට්ටඹුව ප්‍රධාන මාර්ගයේ ‘මනමාල වංගුව’ නම්වූ ප්‍රදේශයේ දී ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ගැටීමෙන් බසයේ සිටි විසිදෙදෙනකු තුවාල ලබා බස් රථයට බරපතළ හානි සිදුව ඇත. බස් රථයේ 56 දෙනකු ගමන් කරමින් සිට ඇත. තුවාල ලැබූ විසිදෙදෙනා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු විසිදෙනෙක් ප්‍රතිකාර ලබා පිටව ගියහ. බස් රථයේ රියැදුරු සහ තවත් සෙබළෙක් රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබති.
ලොරියේ රියැදුරුට සහ සහායකට තුවාල සිදුවී නැත. මෙම සිදුවීම ඊයේ (21 දා) පෙ.ව.6.30 ට පමණ සිදුවී තිබේ. මෙම අනතුරින් මහා මාර්ගයට සමාන්තරව ඇති ජාතික ජල සම්පත් මණ්ඩලයේ ජල නළයට ද හානි සිදුව තිබේ. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.
කිරිඳිවැල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අමිත් නිසංසල මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රියන්ත රණසිංහ, පො.කො.10465 රණවීර යන නිලධාරීහු පරීක්ෂණ කරගෙන යති. රෝගීන් සියලු දෙනාම ප්‍රතිකාර සඳහා වතුපිටිවල රජයේ රෝහලට ඇතුළත් කර ඇත.
චමින්ද සිල්වා, කිරිඳිවැල – සෝමපාල තැලිගම