මන්කිපොක්ස් වැළැක්වීමට රටවල් ප්‍රමාණවත් පියවර ගෙන නැතැයි චෝදනාවක්

77

ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ‘මන්කිපොක්ස්’ රෝගය ශීඝ්‍රයෙන් පැතිර යන රටවල් එම රෝගය දැවැන්ත ගෝලීය වසංගතයක් දක්වා වර්ධනය වීම වැළක්වීම සඳහා ප්‍රමාණවත් පියවර ගැනීමට තවමත් අපොහොසත් වී ඇති බව ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගර රෝහල් පද්ධතියේ පර්යේෂිකාවක් වන වෛද්‍ය සයිරා මඩාඩ් පවසන්නීය.

 ‘මන්කිපොක්ස්’ රෝගය කිසිසේත් සැහැල්ලුවෙන් සැළකිය හැකි රෝගයක් නොවන බව පෙන්වා දෙන වෛද්‍ය මඩාඩ් මෙම වෛරසය මෙතෙක් පැතිර නොගිය රටවල සමාජයන් තුළ පැලපදියම් වීමේ වැඩි ඉඩක් පවතින බව සඳහන් කළාය. ‘මේ වන විට කොරෝනා වසංගතය නැවත හිස ඔසවමින් පවතින තත්ත්වයක් තුළ ‘මන්කිපොක්ස්’ වසංගතය පැතිරීම පාලනය කිරීමට රටවලට දැඩි සටනක් කිරීමට සිදු වීම අවාසනාවන්ත තත්ත්වයක්. රටවල් 75කට අධික සංඛ්‍යාවකින් ඊයේ (26දා) වන විට ‘මන්කිපොක්ස්’ රෝගීන් 17,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබිණි. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම ස්වාධීන විද්‍යාඥයන්ගෙන් සමන්විත ලෝක සෞඛ්‍ය ජාලය ‘මන්කිපොක්ස්’ රෝගය දැඩි අවධානයක් යොමු කළ යුතු

 ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. මෙතෙක් ගෝලීය වශයෙන් වාර්තා වන ‘මන්කිපොක්ස්’ රෝගීන්ගේ සංඛ්‍යාව ඉකුත් ජුනි අවසානය වන විට සියයට 77කින් වර්ධනය වී තිබිණි. ‘මන්කිපොක්ස්’ රෝගය ප්‍රධාන වශයෙන් ආසාදිතයකුගෙන් වෙනත් පුද්ගලයකුට පැතිරෙනුයේ මුහුණට මුහුණ සමට සම, මුඛය අතර මුඛය – සම අතර ස්පර්ශ වීමකින්, ලිංගික ඇසුරකින් හා ආසාදිතයකු භාවිත කළ ඇඳ ඇතිරිලි ඇතුළු ද්‍රව්‍ය ස්පර්ශ කිරීමෙන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මේ අතර ශ්වසන තරල හරහා ද මෙම රෝගය කෙනකුගෙන් තවත් අයකුට පැතිර යා හැකි බව ඇමෙරිකානු රෝග නිවාරණ හා පාලන මධ්‍යස්ථානය පවසයි.

 සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment