පසුගිය සතිය තුළ මෙරට ක්‍රිකට් ලෝලීන්ට හිමිවූයේ ජය පරාජයේ මිශ්‍ර හැඟීමකි. එක අතකින් ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම සිතාගත නොහැකි ලෙස පරදින විට අනෙක් පසින් මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ සිතාගත නොහැකි ලෙස ක්‍රිකට් ජය ලබමින් අපගේ ක්‍රිකට් ලෝලීන් වෙත සතුට රැගෙන ආවෝය. ඒ ශ්‍රී ලංකාවේ පැවැත්වූ ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමෙනුයි. තරගාවලියේ සියලුම තරග ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අර්ධ අවසන් තරගයේදී ප්‍රබල පාකිස්තානය පරදා තියුණු ජයක් ලබාගත්තේ ඉන්දියාව සමග අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගනිමිනි.

ඉන්දියාව යනු කාන්තා ක්‍රිකට් පිටියේ සිටින ප්‍රබල කණ්ඩායමකි. ඉන්දියාව හැකියාවෙන් පමණක් නොව තම ක්‍රීඩිකාවන්ට ආරෝපණය කර දී තිබූ පෞරුෂයෙන් ද ප්‍රබල මතයක් ලෝකය තුළ ගොඩනඟා තිබුණි. ශ්‍රී ලංකාවට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම එන්නට පෙර සිටම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකාවන් උත්කර්ෂයට නංවා තිබුණේ ඉතාමත් තියුණු අයුරින්. මේ නිසාම මෙරට ක්‍රිකට් ක්‍රීඩිකාවන් ගැන කතා කිරීමට වඩා ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකාවන් ගැන කතාකිරීමට අපගේ සමාජ මාධ්‍ය ඒ දිනවල උත්සුක විය. මෙහි තිබූ දුක්බර කතාව වන්නේ

තරගාවලිය ආරම්භයට පෙරම වැඩි අවධානයක් දිනා ගැනීමට ඉන්දිය ක්‍රීඩිකාවන් සමත්වීමත් ඒ නිසා අපගේ ක්‍රීඩිකාවන් ගැන කිසියම් අඩු අවධානයක් යොමුවීමත්ය. එලෙස ඉන්දීය ක්‍රීඩිකාවන් අතරින් වඩාත්ම කතාබහට ලක් වූයේ ඉන්දීය ආරම්භක පිතිකාරිණිය වූ රූමත් ස්ම්රිටි මන්දනා ක්‍රීඩිකාවයි. එයට හේතුව වූයේ ඇගේ රූමත් බවයි. 2014 වසරේ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ මන්දනා සැබවින්ම අතිදක්ෂ ක්‍රීඩිකාවක්. මෙවර කාන්තා ආසියානු කුසලානයේදී ද තෙවැනි වැඩිම ලකුණු ලාභබිය වූයේ ද ඇයයි. ඉනිම 4 ක් තුළ ඇය රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 173ක්. මෙම තරගාවලියේ වැඩිම ලකුණු ලාභිනිය වූයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව වූ චමරි අතපත්තුයි. එහිදී ඇය ඉනිම 5ක් තුළ ලබාගත් ලකුණු සංඛ්‍යාව 304ක්. ඇයගේ ඉනිමක ලකුණු සාමාන්‍ය 101යි දශම 33ක්.

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් අවසන් මහා තරගය ශ්‍රී ලංකාව ජයගත්තේ මෙවන් වටපිටාවක් තුළයි. එසේම එය මෙරට කාන්තා ක්‍රිකට් ඉතිහාසය අලුත් කිරීමක්ද වුණා. ඒ මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හිමිකරගත් ප්‍රථම ආසියානු කුසලාන ජයග්‍රහණය වීම නිසායි. ප්‍රබල ඉන්දියානු කණ්ඩාමට එරෙහිව ලබාගත් එම ජයග්‍රහණය වැදගත් වන්නේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියට මෙකී ජයග්‍රහණය අගනා ප්‍රවේශයක් වන බැවිනුයි.

අවසන් මහා තරගයේදී නියමිත පන්දුවාර 20 අවසානයේ ඉන්දියානු කාන්තා පිල කඩුලු 6 ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 165ක්. පිළිතුරු ඉනිම දියත් කළ අපේ ක්‍රීඩිකාවෝ අතිමහත් ප්‍රේක්ෂක ආකර්ෂණය මැද තරගය ජය ගත්තේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 167ක් ලබාගනිමින්. මේ ජයග්‍රහණයත් සමග අපට සීරුවෙන් කළමනාකරණය කළ යුතු ක්‍රිකට් වීරවරියන් බිහි වී ඇත. දැන් මෙරට සමාජ මාධ්‍යවලට වෙනත් රටවල කාන්තා ක්‍රිකට් තරු ගැන කතාකිරීමට අවශ්‍ය වන්නේ නැත. දැන් මන්දනා වන්දනාව නවතමු. චමරි ප්‍රමුඛ ක්‍රිකට් තරුණියන්ට සහය වෙමු.

සුනිල් සෝමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment