මන්දාරම්නුවර සහ සැබෑ ඉතිහාසය

92

මන්දාරම්නුවර කියූ විගසින්ම බොහෝ අයට නම් මතක් වනුයේ ඉතා රමණීය වූ සංචාරක පාරාදීසයකි. ඒ තරමටම එය ස්වභාවධර්මයේ නිදහස අතින් හිනිපෙත්තෙහිම පවතින තරමක් ජනශූන්‍ය වූ ප්‍රදේශයකි. විශේෂයෙන්ම මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ තම්බපණ්නියේ ඉහළතම කඳුකර නවාතැන වන පිදුරුතලාගල කඳු පාමුල (2524 M) මෙම ගම්මානය කේන්ද්‍රගත වී ඇත. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වසරේ බොහෝ කාලයන්හිදී මීදුමෙන් පිරී ඇති නිසාම මන්දාරම්නුවර යන නාමය පසුකාලීනව මෙම ඉසව්වට ලැබී ඇත. අද්‍යතනයේ නම් බොහෝ අය නිවාඩු පාඩුවට යෑමට කල්පනා කරන සංචාරක පාරාදීසයක් ලෙස ප්‍රචලිත වුවද වර්ෂ 2012 වන විටත් මෙම ගම්මානයේ ජනගහනය ලෙස සිටියේ 550 ක් පමණි. තවද ගම්මානය වටාම ඉතා පුදුමාකාර ලෙස කඳුවැටි වලින්ම ආවරණය වී ඇති අතර එක් අන්තයකින් පමණක් මහවැලි ගඟේ අතු ගංගාවක් වන බෙලිහුල්ඔය නිම්නය දැකගත හැකිවේ.

 කඳුවැටි මතින් ආවරණය වී ඇති භූවිෂමතාවය නිසාම හිරු නැඟෙන සහ බැස යන අවස්ථාවන්හීදී සුවිසල් හිරු එළියක් මෙම ගම්මානය වෙත නොලැබේ. කෙසේ වෙතත් කොළඹ අගනගරයේ සිට පැමිණෙන අයකු මහනුවර රිකිල්ලගස්කඩට පැමිණ ඉන් පදියපැලැල්ල හරහා මේ ඉසව්ව වෙත ළඟා විය හැකි අතර සම්පූර්ණ දුර ප්‍රමාණය 179km කි. මේ හා සම්බන්ධ වර්තමානය එසේ වුවද මේ හා සම්බන්ධ ඉතිහාසය මීට සියවස් ගණනාවක් එපිට මහනුවර යුගය දක්වාම දිව යයි. මෙහි ඓතිහාසිකත්වය සඳහන් ප්‍රධානතම මූලාශ්‍රය වනුයේ මන්දාරම් පුවත කාව්‍යයි. එහි මෙම ඉසව්ව පිළිබඳ මුලින්ම සංවාදයකට ලක් වන කාලපරිච්ඡේදය වනුයේ පළමුවන රාජසිංහ (ක්‍රි.ව 1581-1593) රාජ්‍ය කාලයයි. එම කාලයේදී ඔහුගේ ආරාධනයෙන් ඉන්දියාවේ සිට පැමිණි ගිරි නම් ශිව පූජකයා ශිව ආගම දැවැන්ත ලෙස ප්‍රදේශයේ පතුරුවා හරිමින් බෞද්ධාගමට බොහෝ කෙනෙහිලිකම්ද කරමින් මෙහි වාසය කර ඇත.

 මෙම වාතාවරණය මත මන්දාරම්නුවර විසූ ප්‍රභූන් විසින් ස්වදේශික සුන්දර බණ්ඩාර නම් පුද්ගලයකු රජ කරවීමට උත්සාහ දරා තිබේ. එහෙත් එය සාර්ථක වී නොමැත. කෙසේ වෙතත් පසුකාලීනව මහනුවර රාජධානියේ 1 වන විමලධර්මසූරිය (ක්‍රි. ව. 1591-1604) නමින් රජවී ඇත්තේ මොහුගේ පුතා වූ කොනප්පු බණ්ඩාර බව කියැවේ. එහිදී පෙර කල සිටම එහි විසූ ගිරි නම් ශිව පූජකයාට මෙයින් ඉවත් වන ලෙස විමලධර්මසූරිය රජු ඔහුට ඉල්ලීම් කළද ශිව පූජකයා එය පිළිගෙන නැත. පසුව තමා සතු බලය භාවිත කරමින් එම පූජකයා සතු සියලු වත්කම් හා සබැඳි සමස්ත මන්දාරම්නුවරම ඔහු විසින් විනාශ කරන ලදී. එය පසුකාලීනව ගොඩනංවන ලද්දේ දෙවන රාජසිංහ රජු (ක්‍රි. ව. 1634-1686) විසිනි. ඒ අනුව පැරණි යුග වලදී විශාල වන ගහනයක් පැවතියද ඉංග්‍රීසීන් විසින් යටත් විජිත යුගයේදී තේ වගාව සඳහා මන්දාරම්නුවර බොහෝ ඉඩම් හෙළි කරන ලදී.

 අද නම් ඉතා ක්‍රමික ලෙස හෙල්මලු ක්‍රමයට කඳු බෑවුම් මත රටටම අවැසි සරුසාර එළවළු ගම්මුන් විසින් වගා කරනු දැකගත හැකිවේ. ඒ අනුව අද්‍යතනය දක්වාම සෙංකඩගල වංශයේ ජනශුතීන් අධ්‍යයනය කිරීමේදී මන්දාරම්නුවර බොහෝ ගවේෂකයන්ගේ මෙන්ම විද්වතුන් බොහොමයකගේ අවධානයට ලක්ව ඇති සුන්දර ඉසව්වක් ලෙස දැක්විය හැක.

 සහන් ඇලෙක්සැන්ඩර්
 ජනමාධ්‍ය අධ්‍යයනාංශය,
 කොළඹ විශ්වවිද්‍යාලය, ශ්‍රීපාලි මණ්ඩපය.

advertistmentadvertistment
advertistmentadvertistment