මනුස්සකම හා වෘත්තීය ආචාරධර්ම කෙළෙසන චාරයක් නැති වර්ජන

128

වැඩ වර්ජන අපට අලූත් දෙයක් නොවේ. මෙරට ඉතිහාසයේ ඇතිවූ වර්ජන අතර 1980 ජූලියේ දියත්වූ වැඩ වර්ජනය ඓතිහාසිකම වර්ජනය බව අපි දනිමු. අදටත් එම වැඩ වර්ජනයේ නිරතවීම හේතුවෙන් රැකියා අහිමිවූවන් ඔවුනගේ සැඳෑසමය ගතකරන්නේ එදා වර්ජනය නිසා රැකියා අහිමිවී නොවිඳිනා දුක් ගොන්නක් විඳීමෙන් අනතුරුවය.

ජූලි වර්ජනය අපට මතක් වූයේ ඉකුත් බදාදා (15 වැනිදා) දහවල් 12.00ට කඩිමුඩියේ දියත් කළ දුම්රිය වර්ජනය දුටු පසුවය.

වැඩ වර්ජන මෙයාකාරයට දියත් කරන ලෝකයේ ඇති එකම රට ශ‍්‍රී ලංකාව විය හැකිය. මෙයට පෙරාතුව දුම්රිය වෘත්තීය සමිති මෙයාකාරව සවස සිට වැඩ වර්ජනයක් දියත් කළා මතකය.

උදේ සිට දහවල් වනතුරු දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කර දහවල් සිට දුම්රිය ධාවනය නතරවූ පසු සිදුවන්නේ කුමක්ද? මඟී ජනතාව අනාථවීමයි. මෙයාකාරයට ජනතාව තළාපෙලා දමා මේ අය උත්සාහ කරන්නේ ආණ්ඩුව කෙරෙහි අප‍්‍රසාදයක් නිර්මාණය කිරීමටදැයි අප දන්නේ නැත. විදුලි ඉංජිනේරුවන් අකුරට වැඩ කර රටම අඳුරක හෙළා දැමීය. ගුරුවරු වැටුප් වර්ධක ඉල්ලා රටේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාළ කර දැමීය. විටක දොස්තරවරුද තවත් විටක නර්ස්ලාද තවත් විටෙක සුළු සේවකයින්ද වර්ජනවලය. පිටුපස සිටින්නේ විපක්ෂයේ වෘත්තීය සමිතිද? නැත්නම් රටේ අර්බුද උඩුදුවා තිබේද? 69 ලක්ෂයක ජනවරමක් ලැබුණේ රට හැදීමටය. රට ඉදිරියට යන එක නතර කර වර්ජනවලින් රට ප‍්‍රපාතයට හෙළන්නේ කවුද? ඒවා සොයා බැලීම ආණ්ඩුවේ වැඩකි. නමුත් මෙයාකාරයට වර්ජන කර කර නම් රටට ඉදිරියට යෑමට නොහැකි බව අපි දනිමු. හැටනම ලක්ෂයක බලාපොරොත්තුව වූයේ සෘජු තීරණ ගන්නා රටකි. නමුත් ඉකුත් බදාදා (15 වැනිදා) දහවල් 12.00න් පසු සිදුවූයේද මගී ජනතාවට යන එන මං නැතිකර දැමීමය. වෘත්තීය අරගලවල නිරතවීමට වෘත්තිකයින්ට අයිතියක් තිබෙන බව සත්‍යයකි. නමුත් වෘත්තීය සටන් දියත් කළ යුතු පිළිගත් පිළිවෙතක් තිබේ. වැඩ වර්ජන යනු වෘත්තීය සටන්වල අවසානය මිස ආරම්භය නොවන බව මේ වෘත්තීය සමිති නොදන්නවා නොවේ. නමුත් දැන්දැන් වෘත්තීය සමිතිවල නායකයින් ඒ පිළිගත් පිළිවෙත් හා සම්ප‍්‍රදායන් අහකට විසිකර දමා ගහෙන් ගෙඩි එන්නාක් මෙන් හිටි හැටියේ වැඩ වර්ජන දියත් කිරීමට පටන් ගෙන ඇත.

මෙකී දුම්රිය වර්ජනය දියත් කිරීමට හේතුවී තිබෙන කාරණා සලකා බැලීම හරි වැදගත්ය.

පළමු ඉල්ලීම වැටුප් වැඩිකිරීමය. දෙවැන්න උසස්වීම් සම්බන්ධ ගැටලූවකි. තවත් සුළු සුළු ඉල්ලීම් කිහිපයක්ද ඇතුළත්ය. දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන දුම්රිය රියදුරන් ඇතුළු සේවකයින්ට මසකට ලැබෙන වැටුප් සුළු නැත. ඔවුන්ට තව තවත් වරප‍්‍රසාද රැසක් උරුමය. ඔවුන් ලබන වැටුප් පරිමාණ, අනෙකුත් වරප‍්‍රසාද පිළිබඳ අප හෙළි නොකරන්නේ ඒවා ලබා ගැනීමට ඔවුනට අයිතියක් තිබෙන නිසාය. නමුත් වැටුප් වැඩිවීම් හා උසස්වීම් ඉල්ලා හිටි හැටියේ වැඩවර්ජන කිරීම නම් ඉතා අසාධාරණය. මෙවැනි වර්ජන මහ ගොබ්බ තුච්ච වැඩය. උදේ සිට දහවල් වනතුරුම සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනයේ යොදවා හිටි ගමන් දහවල 12.00 සිට වැඩ වර්ජනයක නිරත වී සියලූම දුම්රිය ධාවනය නොකිරීම වෘත්තීය අරගල නොව ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් ලෙස යමෙකුට පෙන්වාදීමට පුළුවන. එදා කොළඹ කොටුව දුම්රියපොළ අසල සිදුවූ දෙය අපි ඇසින් දුටිමු. එදා කොටුව දුම්රියපොළ අසල සිටි මිනිසුන් කී කතා කිහිපයකි මේ.

කුරුණෑගල ආර්.ඒ. නිමල් මහතා,

මුන්ට හෙණ ගහන්න ඕනෙ. මම කොළඹ ආවෙ අප් ඇන්ඞ් ඩවුන් ටිකට් එකක් අරගෙන. බස් එකේ කුරුණෑගලට යන්න අතේ සතයක් නෑ. මුන් මෙහෙම වැඩ වර්ජන කළාම හරිද? එහෙන් දොස්තරලයි, නර්ස්ලයි වර්ජනයේ, මෙහෙන් විදුලිබල මණ්ඩලයේ උන් වර්ජනයේ. අනෙක් පැත්තෙන් කොරෝනා වසංගතය, පොහොර නෑ. ගෑස් නෑ. කන්න සල්ලි නෑ. රටේ ආණ්ඩුවක් නැද්ද? රටේ ආරක්ෂාව ගැන සහතික දීලා බලයට ආපු අය කෝ. හැම තැනම ප‍්‍රශ්න. ඒ කුරුණෑගල නිමල්ගේ අදහස්ය.

කොළඹ පාසල්වලට පැමිණ අතරමංවී සිටි දරුවන් කිහිප දෙනෙකු කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී කී කතා මසුරන්ය.

අන්කල් අපි කොහොමද ගෙදර යන්නෙ. තාත්තා මට රුපියල් 100ක දීල තිබුණා. ඒ සල්ලිවලින් මගෙ යාළුවො තුන්දෙනෙකුට සල්ලි දුන්නා බස් එකක යන්න. මම නම් පදිංචි කොළඹ. ඒත් ගම්පහ වේයන්ගොඩ කළුතර ඉන්න මගෙ යාළුවන් අනාථයි. අපි මුන්ට ගහමු කියලා සමහරු යෝජනා කළා. නෑ අපි කතාවක් පවත්වමු කියලා මේ අසාධාරණ වර්ජනයට එරෙහිව යාළුවෙක් කථා කළා. බලන්න අන්කල් බස් එකේ ගෙදර යන්න අපි දන්නෙ නෑ. සමහර යාළුවන්ට බස් එකේ ගෙදර යන්නවත් ඒ පාරවල්වල බස් දුවන්නෙ නෑ. ඒ දරුවෝ එසේ කීහ.

මේ අතර දියතලාවේ පදිංචි කුමාර් පොන්නම්බලම් මහතා කීවේ මේ කතාවය.

මහත්තයා අපි හරි දුප්පත් මිනිස්සු. අපි මේ දරු දෙන්නයි නෝනයි එක්ක කොළඹ ඇවිත් ආපහු ගෙදර යන්නයි ආවේ. අපේ අනෙක් දරුවා නංගිගේ ගෙදර දාලා ආවේ. වර්ජනයක් බව අපි දන්නේ නෑ. බස්වල යන්න සල්ලිත් නෑ. එදා කොටුව දුම්රිය ස්ථානය යුද පිටියක සිරි ගනිමින් තිබිණි. වර්ජකයෝ එළියට ආවේ නම් මොනවායින් මොනවා සිදුවේදැයි සිතාගත නොහැකි තත්ත්වයක් උද්ගතව තිබිණි. උදේ දුම්රියේ නැගී වැඩ රාජකාරිවලට ආ ගිය අය මහමග අතරමං කර සේවක අයිතීන් දිනා

ගැනීම තුට්ටු දෙකේ වැඩය. වර්ජනයකට පෙර අනුගමනය කළ යුතු වෘත්තීය සටන් ක‍්‍රමයක් තිබේ. පළමු පියවර ඒ ඉල්ලීම් ලිඛිතව බලධාරීන්ට දැනුම් දීමය. දෙවැන්න සාකච්ඡා කිරීමය. තෙවැනි පියවරද සාකච්ඡාවය. සාකච්ඡා දිගින් දිගටම අසාර්ථක නම් පිකටිං, උද්ඝෝෂණවලට යා හැකිය. ඊටත් පසුව අකුරට වැඩ කිරීමට යා හැකිය. ඊටත් ප‍්‍රතිචාර නැත්නම් කළ යුත්තේ සංකේත වර්ජනයක්ය. වැඩ වර්ජනය යනු වෘත්තීය සටනක අවසාන සටන බව සිහිකරන්නේ බොහෝ වෘත්තීය සමිතිවල නායකයින්ට දැන් ඒවා අමතකව ඇතැයි හැඟෙන නිසාය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment