චිත්‍රපට විචාරය

සුදත් මහදිවුල්වැව අධ්‍යක්ෂණය කළ ‘මයි රෙඩ් කොම්රේඩ්’ චිත්‍රපටය ගොඩනැඟෙන්නේ පරම්පරා දෙකකට අයත් ප්‍රතිපක්ෂ චරිත දෙකක් අතරය. එනම් තමා පසුපස හඹා එන ඝාතකයන් ගෙන් බේරී සැඟවී සිටින අරගලකරුවකු සහ එම ඝාතකයන් මරා දැමූ අරගලකරුවකුගේ දියණියයි. අඛණ්ඩව දිවෙන දීර්ඝ දර්ශන මත ඔවුනොවුන්ගේ ආත්ම කථන තැබෙයි. එහි ඇත්තේ න්‍යයාත්මක හා තාර්කික ස්වීඝටනාත්මක කතන්දර විලාසයකි. එසේ වුවද එම න්‍යායික ප්‍රශ්නෝත්තර සිනමාත්මක රූපාවලියක තැබෙන නිසා එහි යටිපෙළ අරුත් සෙවීමට සිතෙයි. එකම කුටියක කොටු වී සිටින චරිත දෙකක් දෙස ප්‍රේක්ෂාවෙන් බලා සිටින්නට අප වශී වී සිටිනුයේ එබැවිනි. පිටත පරිසරයත් සමග කිසිදු සම්බන්ධයක් නැති සහ එම ලෝකය පෙරලා දැමීමට අරගල කරන සමාජවාදියා සහ එවැන්නකුගේම දියණිය නමැති දෙවිධියක දෙදෙනකු තම තමන්ගේ ලෝකවල හුදෙකලාව සිරගතව තබන්නට සිනමාකරුවා යොදා ගන්නා මේ කුඩා මුඩුක්කු කාමරය ප්‍රබලතම රූපකයකි.

මිනිසා සහ ඔහු ලද යුතු අවබෝධය යන අන්තදෙක අන්‍යොන්‍ය වශයෙන් මුණගස්වන්නේ මෙම කුඩා කාමරයයි. එකී ගැළපීම සම්පූර්ණයෙන්ම සමාප්ත නොවන ක්‍රීයාවලියක් බව පෙන්වන්නේ අරගලකරුවා, තරුණිය සහ ඝාතකයා න්‍යායික තර්කනයක තබමිනි. ඝාතකයන් ගෙන් විප්ලවකරුවා බේරාගැනීම සඳහා එබඳුම විප්ලවවාදියකුගේ දියණිය විප්ලවීය ලෙස වහා නිරුවත් වී ගණිකාවක බවට පත්වීම මෙහි කූටප්‍රාප්තියයි. අවස්ථාවෝචිතව ඇය ගණිකාවක බවට පත්වන්නේ න්‍යායික දේශපාලනය හා තාර්කික පුරුෂාර්ථ මොහොතකට නිරුවත් කරමිනි. එතැන් සිට අපට පිටත ලෝකය වෙත නිරුවත් දෑසින් යන්නට සිදුවෙයි. මන්ද යත් මේ නිර්වස්ත්‍ර විප්ලවකාරිය අප සාදාගත් ලෝකය කුඩුපට්ටම් කරන නිසාය. තරින්දි ප්‍රනාන්දු යනු ටෙලි තිරයෙන් විළි වසා, ඉවසා සිටි දක්ෂ නිළියක බව ඔප්පු කර පෙන්වන්නට මේ විසල් තිරය පිහිටට එයි.

ප්‍රායෝගික විප්ලවකාරිණියට ගණිකාවක ලෙස රඟපාන්නට සිදුවන මෙහි කූටප්‍රාප්තිය බොහෝ දේ අපට කියයි. අපගේ පරිණාමය සහ අප නියුතු විප්ලවය පිළිබඳව අපම හමුවෙහි තබන අවබෝධය මේ කුඩා මුඩුක්කු කාමරයට වඩා විශාලය. පරිණාමය යනු ක්‍රමක්‍රමයෙන් සිදුවන ප්‍රමාණාත්මක වෙනස්වීම්වල විකසනයකි. ඒ අනුව සිතද්දී විප්ලව සිදුවන්නේ හිටි හැටියේ කඩිනමින් සිදුවන විපර්යාස ලෙසටය. පොතේ හැටියට මවාපාන න්‍යායික විප්ලව තව දුරටත් ඵලක් නැත. ක්‍රමිකව වෙනස් වන සංස්කෘතික පරිසරයක පරිණාමය සිදු වෙයි. එබඳු සක්‍රීය පරිසරයක් විසින් අර්ථවත් සංස්කෘතික මිනිසකු සාදනු ලබයි.

මෙම චිත්‍රපටය වේදක සහ වේදයිත යන අන්තදෙක එකට මුණගස්වයි. මනෝරාජික වාමාංශික අරගලකරුවා සහ ඔහු ඉදිරියේ නිර්භයව නිරුවත් වන සැබෑ විප්ලකාරිණිය යනු එම අන්ත දෙකයි. වේදයිත අන්තය යනු අප විඳින දේ සහ ඉන්ද්‍රීයයන්ට හසු වූ දේය. වේදක යනු එම විඳින්නා හෙවත් දැනීම ලබාගන්නා තැනැත්තාය. මේ දෙදෙනාට වැස්ස (සොබාදහම) දැනෙන්නේ දෙවිධියකටය. කුටියෙන් පිටත නැඟෙන අකුණු ඒ මැදින් ඒ මේ අතයන දුම්රියට නැවතුමක් නැත. මෙහි හස්තගත කැමරාවට හසු කර ගන්නා රූපක මතු කරන යටිපෙළ රූප ගැඹුරුය. එම චලන රූප වෙනස්වන රිදීමය අවධාරණය කරනුයේ හටගන්නා සියල්ල වෙනස් වන සුලු හා නැසෙන දහමයි. එනම් ඒ සොබාදහමේ නියාමයයි. මෙම චිත්‍රපටය සොබාදහම සහ අප එය වෙනස් කළ යුතු ද යන්න විමසන කතිකාවකි.

සොබාදහම සහ එහි දැනුවත්ව ජීවත් වන්නා මෙම සිනමා කතිකාව තුළ පරීක්ෂාවට ලක්වෙයි. අප අප ම සමගත්, අපගේ වටපිටාව සමගත් යෙදෙන අනිවාර්ය සටනකි. මෙහි වාමාංශිකයාගේ රහස් කුටියෙහි සිට වැහි අකුණු සහිත පිටත පරිසරය පෙන්වන කුඩා කවුළුව ගැඹුරු රූපකයකි. ලෝකය සහ ලෝකයා පෙන්වීම සඳහා සිනමාකරුවා මෙම කුටිය තුළම ආයාසයෙන් සිරගතව සිටී. එය නෙපෙනෙන සහ දැකියයුතු ලෝකය පෙන්වන කදිම පරිකල්පනාමය උපායකි. නොදැනුවත් අප අපගේ පැවැත්ම සාදා ගතයුතු වටා පිටාව සමග සටන් කරන්නේ එතැන් සිටය. එම අරගලය නිසා අපට ලෝකය දැකීමට සිතෙයි. ලෝකය පාලනය කිරීමට සිතෙයි. අවසානයේ එය ලෝකය වෙනස් කිරීමට හේතු වෙයි. සියල්ල වෙනස් වන බව එනම් හටගන්නා සියල්ල වැඩෙන සහ නැසෙන බව නොදැනුවත් මිනිසා දැනුවත් වන්නේ මෙම ගැටුමේදීය. සිනමාකරුවා මේ මනෝගත සමාජවාදියා හමුවෙහි තබන තරුණිය ලවා පවසන්නේ එයයි.

විප්ලවකරුවා සිය පොත් ගොන්නත් සමග ගිනි දල්වා මරා දමන මේ ඝාතකයන් සිය සතුරා හඹා යන ආකාරය මෙහි දැක්වෙන්නේ ඉන් බේරී පලා යන්නන්ගේ අවස්ථාවෝචිත කුටියක සිටය. එය සිනමාත්මක රූප හැසිරවමකි. සිනමාකරුවා ඝාතකයා නොපෙන්වා පෙන්වන ගුප්ත නිහඬතාවය, වැස්ස, අකුණු සහ අන්ධකාරය රූපයට හසු කරගන්නේ දැනුවත් ශික්ෂණයකිනි. මරා දැමුණු සමාජවාදියා සහ ජීවත්වන සමාජවාදියා අතර තිබෙන රූමත් දියණිය සහ ඔවුන්ට හතුරු ඝාතකයන් පවසන පොදු දහමක් ඇත. එනම් සොබාදහම සමග ගැටෙමින්, එය අවබෝධ කර ගනිමින් අපගේ අවශ්‍යතා මත එය හැඩගස්වා ගතයුතු බවයි. සොබා දහමට එරෙහිව නිරත සටනේ ප්‍රතිඵලයක් ලෙස මිනිසා මිනිසාට ම එරෙහිව ඇති වන අරගලය මෙහි පෙන්වයි. එය කිසිදා සමතයකට පත් කළ නොහැකි ලෙස ඇතිවන සටනකි. පීඩිතයා සහ පීඩකයා අතර සිදුවන පන්තිමය සටනකි. ඝාතකයා හමුවෙහි ඇය ගණිකාවකගේ වෙස් ගනිමින් රකින විප්ලවකරුවා සිය මනෝරාජික න්‍යායික ලෝකයෙන් මහ පොළොවට පරිණාමය වන ආකාරය සිනමාකරුවා දකී.

මනෝරාජික සමාජවාදියා ඝාතනය කරයි - මයි රෙඩ් කොම්රේඩ්

මෙම ස්ත්‍රිය සහ පුරුෂයා සහේතුක තර්ක මාර්ගයෙහි පිහිටා සත්‍යය කරා එළැඹෙති. මෙහි ඇත්තේ ඔවුනොවුන් ප්‍රශ්න කර ගැනීමකි. ප්‍රශ්නෝත්තර මාර්ගයෙහි ලක්ෂණය වනුයේ සත්‍යයක් සේ පෙනෙන කරුණක් ඊට විරුද්ධ තර්ක විතර්ක ගෙනෙමින් නියත සත්‍යය කරා එළැඹීමයි. දැන් අපට අවශ්‍ය වන්නේ මෙතෙක් අපට අදහන්නට සිදුවූ සත්‍යය නොව, නියත සත්‍යයයි.

සිනමා කෘතියක් නිර්මාණය කරන අභිප්‍රායයෙන්ම පසුවන සිනමාකරුවකු රූපය සමග නියැළී සිටිනුයේ කිසියම් වූ අරගලයකය. එම අරගලය පරිසමාප්ත වන්නට නම් ඔහුගේ අභිප්‍රාය අපූර්ව විප්ලවයක් වියයුතු වෙයි. එසේ රූපයත් සමග සක්‍රීය වීම සටන්කාමී අරගලයක් වන තරම තීන්දු කරනුයේ එම රූපීය විප්ලවය සමග බද්ධ වන සමාජ කතිකාවයි. එනම් සමාජ කතිකාවට හිමි වන කාලීන වලංගුභාවයට අනුවය. එබඳු සමාජ කතිකාවකටත් වඩා එහි තීරකයා ප්‍රශ්න කිරීමක් ‘මයි රෙඩ් කොම්රේඩ්’ සිනමා කෘතියෙහි වේ. මෙතෙක් කල් සිදුවූයේ සමාජ ගැටලුව ප්‍රශ්න කිරීමකි. මෙහි ඇත්තේ එම සමාජ අර්බුදයේ වගකිව යුතු තීරකයකු ලෙස වාමාංශික සටන්කාමියා ගැන විමසිලිමත් වීමකි. පළමුව හේතුව විමසා දෙවනුව ඵලය විභාග කළ හැකි යැයි සිනමාකරුවා සිතයි. එම ඵලය විනිශ්චය කිරීම ඔහු අප මත තබයි.

අතිප්‍රබල සිනමා රූප කළමනාකරණය ‘මයි රෙඩ් කොම්රේඩ්’හි කැපී පෙනෙන විලාසයයි. සිනමා රූපය තම ආත්ම ප්‍රකාශනය සඳහා හිතුවක්කාර ලෙස යොදා ගන්නා සිනමාකරුවා සිය රූපමය අරගලය තුළ ශිල්ප හරඹ පායි. එම විපලවීය මැදිහත්වීම මෙම චිත්‍රපටයෙහි වඩාත් කැපී පෙනෙන ලක්ෂණයයි. මෙතෙක් සමාජ අර්බුද ප්‍රශ්න කළ දේශපාලන සිනමාව ම ප්‍රශ්න කරමින් මෙම සිනමාකරුවා එකී සමාජ ව්‍යසනය විසඳිය යුත්තා ප්‍රශ්න කරයි. සිනමාකරුවා සිය අවි යොමන්නේ අරගලය දෙසට නොව, අරගලකරුවා දෙසටය. සැබෑ සටන ඇරඹෙන්නේ සිනමාකරුවා තම සටන නවතන තත්ත්පරයෙනි. ඔහු පසෙකට වී ඉදිරි පෙළ සන්නද්ධ රසිකයාට යුද්ධය භාර දෙයි. මෙම සිනමා කෘතියෙහි බලවත් ප්‍රකාශන ස්වරූපය එයයි. සැබෑම යුද්ධය ඇරඹෙන්නේ ප්‍රභාකරන් මරා දැමූ පසුවයි. විජේවීර මරා දමන තැනින් මෙම චිත්‍රපටයේ යටි පෙළ රූපාවලිය බලාත්මක වෙයි.

මෙතෙක් අප ඇසුරු කළ මෙරට දේශපාලන චිත්‍රපටවල ලෝකය විවිධාකාරව අර්ථ දක්වා ඇත. දැන් අපට අවශ්‍ය වනුයේ ලෝකය ගැන අර්ථකථන නොව, ලෝකය වෙනස් කළ හැකි ප්‍රායෝගික විධියකි. ‘ඔය හදනවා යැයි කියන යහපත් සමාජයේ අපට ඉඩක් නැද්දැයි’ ස්ත්‍රිය පුරුෂයාගෙන් විමසන තැන ඇත්තේ බරපතළ ගැටලුවකි. වෙනස් වීම පිළිබඳ න්‍යාය වෙනුවට වෙනස් කිරීම සඳහා වූ අවබෝධය ලැබීම සහ ඒ අනුව වෙනස් වීම යන ක්‍රියාව තුළ ඇය සිටී. වාමාංශික අරගලකරුවාගේ න්‍යාය පුස්තක ගිනි තබා විනාශ කරනුයේ සහ එම ගින්නටම දමා පොත් කට පාඩම් කරන්නන් විනාශ කළ යුතු බව මෙහි කියයි. මෙම සිනමා කෘතියෙහි වනුයේ ලෝකය විග්‍රහ කිරීමකින් ඔබ්බට ගොස් එකී ලෝකය වෙනස් කිරීමට සුදුසු ක්‍රමයක් යෝජනා කිරීමයි. මනෝරාජික සමාජවාදියා සහ සැබෑ සමාජවාදියා වෙන්කොට හඳුනාගත යුතු බව මෙහි අවධාරණයයි. ‘දේශපාලනය හැර අපි මොනවා හරි කතා කරමු’ කියා යෝජනා කරන තරමට ම ඇය මේ අරගලකරුවාගේ සිත වෙනස් කරමින් සැබෑ විප්ලවයක නියුතු වෙයි. සමාජ විප්ලවයක් කරා දිගු කළ යුතු සැබෑම විප්ලවය පළමුව සිදුවිය යුත්තේ සිත් තුළය.

මෙම සිනමාකරුවා රැඩිකල්වාදී දාර්ශනිකයකු ලෙස සිය අධිකාරීත්වය පතුරුවයි. එම බලාධිකාරය රසිකයාට හානිකර නොවන්නේ ඔහු ද පෙරළා බලගැන්වෙන නිසාය. සිනමාකරුවා පනවන එම අධිකාරී බලය තහවුරු කරගත හැකි වන්නේ ඔහුට තම රසිකයා බලවත් කළ හැකි වී නම් පමණකි. එලෙස රසිකයා සක්‍රීය වන්නේ සිය චින්තනය බලගැන්වෙන තරම අනුවය. ‘මයි රෙඩ් කොම්රේඩ්’ චිත්‍රපටය තුළ සිනමාකරුවාත් එහි ප්‍රේක්ෂකයාත් යන අන්ත දෙකම බලවත් වෙයි. ඔවුන් දෙදෙනාම වගකිව යුතු ක්‍රියාකාරීන් බවට පත් වෙයි. එය ප්‍රබල සිනමා කෘතියක ස්වරූපයයි. දෙකොණ විලක්කුවම පත්තු වීම මෙම සිනමා කෘතියෙහි උභතෝකෝටිකය අවුළුවන්නකි. වාමාංශික සමාජවාදීන් සූත්‍ර ගත කරන ලෝකය සහ සත්‍ය ලෝකය යන දෙකොණ වෙන් කොට හඳුනාගත යුතුය. ඒ සඳහා මෙවන් සූත්‍ර ගත සමාජවාදීන්ගේ පූර්ව නිශ්චිත අරගලයෙන් සැබෑ අරගලය වෙන් කොට දැකිය යුතුයැයි මෙම සිනමා කෘතිය බල කර සිටී. සමාජවාදීන් සිහින මවන ලෝකය සහ ලෝකය යනු එකක් නොවන බව මෙම සිනමාකරුවාගේ විශ්වාසයයි.

පෙනෙන හා නොපෙනෙන වස්තු රූපාංකකරණය කිරීම සිනමාකරුවාගේ රූප මාධ්‍ය වැටහීම කියාපායි. වර්ණ භාවිතය කෙරෙහි ඔහු තුළ වන සංවේදීතාව සහ ශිල්ප විධි කෙරෙහි වූ සංයමය නිසා මෙය නිශ්චිත දේශපාලන මතවාදයකට හෝ කණ්ඩායමකට ලඝු නොවෙයි. මෙහි රූපය සහ හඬ විලාසයත් සමග යා වන දෙබස් ස්වරූපයත් යන දෘෂ්‍යමානයට යටි පෙළෙහි ඇති රූපය ප්‍රේක්ෂකයාගේ චින්තනය මත නිශ්චය වීමට ඉඩ තබයි. මෙහි සිනමාකරුවා උහුලන්නාවූ වගකීම අබිබවන අන් වගකීමක් ප්‍රේක්ෂකයාට ද පැවරෙයි. එය සක්‍රීය මැදිහත්වීමකි. සිනමා කෘතිය වඩාත් ප්‍රබල වන්නේ යෝජිත සිනමාරූපය විසින් ප්‍රේක්ෂකයාගේ චිත්ත රූපයට ඉඩ පාදන නිසාය. මෙහි ප්‍රේක්ෂකයා යනු නිර්ධන, නිරායුධ, නිර්පාක්ෂික ජනතාවයි. කෘතිය විසින් ඔහු තුළ ඇති කරනුයේ අපූර්ව චිත්ත පරිවර්තනයකි.

මිය ගිය අරගලකරුවාගේ දේශපාලනමය පොත් කට පාඩමින් කියන දියණිය ජීවතුන් අතර තැබීමත්, ඇය විසින් අනෙක් අරගලකරුවා බලගතු ඝාතකයන් ගෙන් බේරා ගැනීමත් සිනමාකරුවාගේ අභිප්‍රාය හෙළි කරයි. සැබෑ දේශපාලනය යනු න්‍යායික දෙබස්වලින් ඔබ්බෙහි පවත්නා සැබෑ ප්‍රායෝගිකත්වය හෙළි කරන්නකි.

මනෝරාජික සමාජවාදියා ඝාතනය කරයි - මයි රෙඩ් කොම්රේඩ්

මෙහි පියා සහ දියණිය අතර සම්බන්ධතාවත් එම ඒකකය තුළ පියා අරගලකරුවකු වීමත්, දියණිය පමණක් ජීවතුන් අතර තබා එම පියා ඝාතනය කිරීමත් අවසානයේ මෙම දියණිය විසින් අනෙක් අරගලකරුවා ඝාතකයන් ගෙන් බේරා ගන්නා ආකාරයත් මෙහි ප්‍රබල ව්‍යාංගාර්ථ මතු කරන අවස්ථා ජාලයකි. සිය පියාගේ දේශපාලන න්‍යායික පොත් කට පාඩමින් කිව හැකි තරම් එම පුස්තකාලය ඇසුරු කර ඇති මේ දියණිය පවසන්නේ එම අජීවී න්‍යායික ලෝකයට වඩා තම පියාගේ විශාලත්වයයි. අවසානයේ මෙකී විප්ලවකාරී පියා තම ජීවිතය පුදන්නේ සිය දේශපාලනය වෙනුවෙන් නොව, තම දියණියගේ ජීවිතය වෙනුවෙනි. එනම් අන් සියලුම න්‍යායට වඩා මානුෂික සම්බන්ධතා සිද්ධාන්තය බලවත් බවයි. අපගේ ඇදහීම්වල අර්ථය හා සත්‍යය තීන්දු කළ යුත්තේ එහි ප්‍රායෝගික හරය මත බව මෙහි අවධාරණයයි. එනම් සත්‍යයේ වටිනාකම තීන්දු කෙරෙනුයේ එහි ප්‍රායෝගික උපයෝගිතාවය හෙවත් ප්‍රයෝජනවත් බව මතයි. සාධ්‍යතාව හෙවත් කළ හැකි බව, එනම් ක්‍රියාත්මක බව සහ ප්‍රායෝගිකත්වය න්‍යායට වඩා වැදගත් යැයි කියැවෙන ප්‍රබලම අවස්ථාවක් වන්නේ අරගලකරුවා හඹා එන සිය ඝාතකයා අන්දමන්ද කොට ආපසු හරවා යවන ඇයගේ ප්‍රයෝගකාරී හැසිරීමයි. ඔහුගේ ප්‍රතිපත්තිවලට වඩා ඇයගේ අවස්ථාවෝචිත ප්‍රායෝගික බව ප්‍රබල වෙයි. වාමාංශික අරගලකරුවකුට වඩා ගණිකාවක වීරත්වයක තබනුයේ එබැවිනි.

සිය පියාගේ පුස්තකාලයේ රුසියානු පොත් සියල්ල කටපාඩමින් කියන දියණිය පොතේ හැටියට කෙරෙන දේශපාලනය දෙස උත්ප්‍රාසයෙන් බලයි. රුසියාවේ පොත් සහ ලංකාවේ විප්ලවය අතර නොපෑහීම මැනවින් මෙහි පවසයි. සිනමාකරුවා ඇය ලවා පොත්වල වදන් සහ සැබෑව පහදයි. න්‍යාය සහ යථාර්ථයත් වෙන් කොට දක්වයි. මෙහි පියා හෙවත් අරගලකරුවා ඝාතනය කිරීම ඔහුගේ පොත්වලට ගිනි තබා එම ගින්නෙහිම ඔහු දවාලීම සංකේතවත් කරනුයේ ක්‍රමයට එරෙහි න්‍යායට අත්වන ඉරණමයි.

අතීත මිනිසුන් වටපිටාව පිළිබඳව අවබෝධය ලද්දේ විශ්වාස ඇදහිලි මතයි. පරිසරය පිළිබඳ සීමිත අවබෝධය සහ හීලෑ නොකරන ලද ස්වභාවික වටපිටාව හමුවේ ඔවුන් අසරණයි.

එම සීමිත අවබෝධය සහ අනවබෝධය නිසා අදත් අපි අසරණයි. න්‍යායික ඇදහිලි වෙනුවට මිනිසා ලෝකය පිළිබඳව ලබන විද්‍යාත්ම ඥාානය විසින් මිනිස් සංහතියේ ප්‍රගතිය සාදයි.

සංස්කෘතික ලක්ෂණ අහිමි කරගත් ම්ලේච්ඡ නොමිනිසාගේ ආධිපත්‍යයට හසුව සැකසී ඇති පිටත ලෝකය සමග මෙම සමාජවාදියාගේ පටු කාමරය රූපයට නැඟීම ප්‍රබල සිනමා රූපී ගොඩනැංවුමකි. අව් වැසි අකුණු ගිනිඅවි පොලිසිය සහ නොනවත්වාම වමේ සිට දකුණට සහ දකුණේ සිට වමට යනෙන දුම්රිය වැනි සංකේත රූපක භාවිතයෙන් මෙහි පිටත ලෝකය හා සිත රූපකාර්ථයට නඟයි. මෙම විප්ලවකරුවා මනෝරාජික ලෝකයක තැබීම සිනමාකරුවාගේ උත්ප්‍රාසාත්මක යෙදුමකි.

අන්ධකාර කුටියෙහි කවුළුවෙන් පිටත ලෝකය යනු මිනිසාම තැනූ නමුත් සිය පාලනයෙන් ගිලිහුණු, මිනිසාටම සතුරුවූ නරුම බිහිසුණු වටපිටාවකි. අඳුර මැදින් නොනැවතී ඇදෙන දුම්රිය, වැස්ස, අකුණු සර, සමග බලගතු වන ගුප්ත නිහඬතාවය මෙහි තහවුරු කරනුයේ කුමක් ද? මිනිසාම සැදූ, මිනිසාට ම සතුරු වූ ලෝකය වෙනස් කිරීම කොතරම් අභියෝගයක් ද යන්නය. අඳුර සහ නිහඬ බවට අවනතව වමේ සිට දකුණට සහ දකුණේ සිට වමට ඇදෙන දුම්රිය ගැඹුරු යටි පෙළ රූප ජනනය කරයි.

සංස්කෘතික මිනිසා සහ ම්ලේච්ඡ නොමිනිසා අතර සංසන්දනයක් ‘මයි රෙඩ් කොම්රේඩ්’ චිත්‍රපටයෙහි වස්තු විෂය වෙයි. එම අන්තර්ගතය අබිබවන උසස් රූප කළමනාකරණයකින් මෙම සිනමා කෘතිය බලවත් වෙයි.

● අජිත් ගලප්පත්ති

advertistmentadvertistment
advertistmentadvertistment