මනෝ භාව

860

මොහොමඞ් සහරාන් සහ අන්තවාදී සූකර රැළක් විසින් 2019 පාස්කු ඉරිදා එල්ල කරන ලද මාරාන්තික බෝම්බ ප‍්‍රහාර මාලාවේ වෙඩි බෙහෙත් ගඳ අදටත් එසේමය. මිනී මස් පිළිස්සුනු ගඳ අදටත් එසේමය. ලේ පැල්ලම්වල රත අදටත් එසේමය.

ලංකාවේ පළමුවන බෝම්බකාරයා සහරාන් නොවේ. 1971 අපේ‍්‍රල් කැරැල්ලෙන් පසු අත් බෝම්බය නමැති ආයුධය සමාජ භාණ්ඩයක් බවට පත්විය. 71 කැරලිකාර තරුණයන් විසින් පුපුරුවන ලද සියලූම බෝම්බ ශ‍්‍රී ලංකාවේම නිෂ්පාදිත බඩු භාණ්ඩය. හිස් කිරි පිටි ටින්වලට සෙට්කළ බෝම්බ, හිස් ටින් කිරි ටින් වලට සෙට්කළ බෝම්බ සහ පිත්තල කළගෙඩිවලට සෙට්කළ බෝම්බ යනාදියෙන් බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව පෙරළන්නට 71 ජවිපෙ කැරලිකරුවන් තැත් කළද එය නිරර්ථක විය. එහෙත් 71 සිදුවීම් මාලාවත් සමගම ඒ වන තුරුත් දාමරිකයන් අත පමණක් තිබුණු බෝම්බ ඒකාධිකාරය සාමාන්‍ය මහජනතාව අතට ගියේය. අප මෙයින් කියන්නේ දාමරිකයන් මෙන්ම සාමාන්‍ය ජනතාවද ගෙදර දොරේ රාක්කයක අත් බෝම්බයක් හෝ දෙකක් තබාගත් බව නොවේ. බෝම්බය නමැති මතවාදය කෙරෙහි ජනතාව තුළ තිබූ නුපුරුදු බව නැතිව ගොස් එය සංකල්පයක් ලෙස සමාජගත වූ බවය. එක්දහස් නවසිය අසූ ගණන්වල මුල සිට ප‍්‍රභාකරන් ඇතුළු මිනීමරුවන් රැළ පුපුරුවන ලද බෝම්බ සංඛ්‍යාව කෝටි ගණනක් විය යුතුය. එහෙත් ඒ සියලූ බෝම්බ අභිබවා අදත් මේ රටේ ජන සංතානය තුළ නිතර පුපුරන බෝම්බය 2019 යේ පාස්කු බෝම්බය ය.

පුපුරන ලද මුල් අවස්ථාවේදී කොටි සංවිධානය සිදුකළ බෝම්බවල විභවයට වැඩි විභවයක් පාස්කු බෝම්බවල තිබුණේ නැත. එහෙත් එම ප‍්‍රහාර මාලාව කතෝලික ආගමට තුවාල සිදුකිරීම පිණිස පමණක්ම අරමුණු කරගත් සිදුවීමක් බව සමාජගත වීමත් සමගම වැඬේ හිතුවාට වඩා අල විය. අන් කිසි රටක කතෝලික නායකයකු ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව නොසිටගත් පරිදි ලංකාවේ මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමා මොහොමඞ් සහරාන් සමග මුහුණට මුහුණ සිට ගත්තේය. යහපාලන ආණ්ඩුව 2019 දී පරදින්නේ මහ බැංකුව කැඩූ නිසාම නොවේ. පාස්කු බෝම්බයද එම පරාජයට මූලික හේතුවකි. රටේ ආරක්ෂාව නැති බවත් ජාතික ආරක්ෂාව පතා වඩා ස්ථාවර ආණ්ඩුවක් පත්කර ගත යුතු බවත් පොහොට්ටුව, වියත් මග ප‍්‍රමුඛ ගෝඨාභය රාජපක්ෂට හැකිවන්නේ පාස්කු බෝම්බය නිසාය. හැබැයි දැනට තිබෙන ආණ්ඩුව තේරුම්ගත යුතු වැදගත් කාරණයක් තිබේ. මීළඟ ඡන්දයේදී ජාතික ආරක්ෂාව මාර්කට් කිරීමට ඔවුනට බැරිය. කොහොමටත් බෝම්බ මාර්කට් එක නම් ඔවුන් අතින් සහමුලින්ම අතහැරී තිබේ. මේ වෙලාවේ බෝම්බ මාර්කට් එක අතේ තබාගෙන සිටින්නේ අගරදගුරු තුමාය. එය කැමති පරිදි පාවිච්චි කර මේ රටේ නායකයන් ඇඹරීමටත් නැවීමටත් කොන්ඩ ගොතනවා සේ ගෙතීමටත් උන්වහන්සේට පුළුවන් වී තිබේ. හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ඕනෑවට වඩා හිතුවක්කාර වීමට හෝ දඟ කිරීමට උත්සාහ කළොත් ආණ්ඩුව පාස්කු බෝම්බ වාර්තාව යොදාගෙන ඔහු මෙල්ල කිරීමට ඉඩ තිබේ. එහෙත් මෛත‍්‍රිපාල සිරිසේන කියන්නේ තමන් හිරේ ඉඳගෙන පවා දේශපාලනය කරන බවය.

මෙයට කලකට පෙර නාරාහේන්පිට ලංකා හොස්පිට්ල්ස් රෝහලේ කිසියම් තැනක තිබී අත් බෝම්බයක් හමුවිය. එයට ලැබුණු ප‍්‍රසිද්ධිය සමාන වන්නේ ඇමරිකානුවන් දෙවන ලෝක යුද්ධයේදී ජපානයේ නාගසාකි නුවරට දැමූ හයිඩ‍්‍රජන් බෝම්බයටය. ඊටත් කලකට පසු බොරැල්ලේ සියලූ සාන්තුවරුන්ගේ දේවස්ථානයෙන්ද බෝම්බයක් හමුවිය. මෙයටද පෙර ප‍්‍රසිද්ධියට වැඩි ප‍්‍රසිද්ධියක්, එනම් දෙවන ලෝක යුද්ධයේදී ඇමරිකානුවන් හිරෝෂිමාවට දැමූ පරමාණු බෝම්බය හා සමාන ප‍්‍රසිද්ධියක් ලැබිණි. බෝම්බය තිබුණේ කතෝලික පල්ලියක් තුළ බැවින්ද පාස්කු බෝම්බය තවමත් ජන මනස තුළ පුපුරමින් තිබෙන බැවින්ද අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් තුමා ඉතා සැරට සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කරන්නට පටන් ගත්හ. බෝම්බය පිටුපස තවත් මොහොමඞ් සහරාන් කෙනෙක් දැකීම කතෝලික ප‍්‍රජාවේ අපේක්ෂාව විය. එහෙත් එම බෝම්බය තැබූ තැනැත්තා ක‍්‍රිස්තු භක්තික විශ‍්‍රාමික වෛද්‍යවරයකු බව දැන් හෙළිවී තිබේ. ලංකා හොස්පිට්ල්ස් රෝහලට බෝම්බ තබන ලද්දේත් ඔහුමය. ඔහුගේ මානසික මට්ටම කිසිදු ලෙසකින්වත් ඇදහීමට නොහැකි කතන්දරයකි. දැනටමත් වැඩිදෙනා දන්නා පරිදි එය කෙටියෙන් මෙසේය. වෛද්‍යවරයා විවාහ වී සිටියේ බෞද්ධ කාන්තාවක සමගය. මේ නිසා ඔවුන්ගේ විවාහයේදී බෞද්ධ කාන්තාවට සුදුසු තැන දීමට පල්ලිය මැලිවිය. මේ හේතුවෙන් විශ‍්‍රාමික දොස්තර බොරැල්ලේ සියලූ සාන්තුවර පල්ලිය සමග වෛරයක් ඇතිකර ගත්තේය. අවුරුදු 50 ක පමණ දීර්ඝ විවාහ ජීවිතයක් ගත කිරීමෙන් පසු ඔහුගේ බිරිය මිය ගියාය. ඇය ආදාහනය කළ ඔහු ඇගේ මිනී අළු ස්වල්පයක් ගෙන එය ඔබ්බවා මුදුවක් තනා ඇඟිල්ලෙහි පැළඳ ගත්තේය. ඉන්පසු රුපියල් 50,000 ක කොන්ත‍්‍රාත්තුවක් දී තෙවන පාර්ශ්වයක් ලවා පල්ලියට බෝම්බ තැබුවේය. බෝම්බය පිපිරුවොත් පල්ලිය අපකීර්තියට පත්වන බවත් මිනිසුන් මියයන බවත් ඔහු හිතන්නට ඇති. එය සහරාන්ගේ ගිණුමටම බැර කළ හැකි බවත් ඔහු කල්පනා කරන්නට ඇති. ඔහුගේ මනෝභාවය ක‍්‍රියාකළ විදිය හිතා ගැනීමට එතරම් අපහසු නැත.

එහෙත් අපේ පේ‍්‍රමාන්විත දොස්තර රෝහලට බෝම්බ තැබුවේ ඇයි? දොස්තරගේම පාපොච්චාරණය අනුව එයට හේතුව මෙසේය. ජීවතුන් අතර සිටියදී වතාවක් ඔහුගේ බිරිඳට අසාධ්‍ය විය. ඇය කොළඹ කොම්පඤ්ඤ වීදියේ ප‍්‍රමුඛ පෞද්ගලික රෝහලකට ගෙනයන ලද නමුත් රෝහල් අධිකාරිය ඇය භාරගත්තේ නැත. ඔහු ඊළඟට කෙළින්ම ගියේ ලංකා හොස්පිට්ල්ස් රෝහල වෙතය. ඔවුහු ඇය භාර ගත්හ. ඇයට හොඳින් ප‍්‍රතිකාර ද ලැබිණ. එහෙත් බිරිඳ එහිදී මළාය. බිරිඳගේ මරණය ලෝක ස්වභාවය ලෙස භාරගත් දයාබර දොස්තර සැමියා දුෂ්කර අවස්ථාවේදී තම බිරිඳට ප‍්‍රතිකාර කළ රෝහලට කෘතගුණ සැලකීමට තීරණය කළේය. ඒ, රෝහලට බෝම්බයක් තබා ප‍්‍රසිද්ධිය ලබා දීමෙනි.

මේ කතාවෙන් හැඟී යන්නේ මිනිසුන්ගේ මනෝභාවයන් ක‍්‍රියාකරන ආකාරයයි. බෝම්බය නමැති සංකල්පය විනාශකාරී අවියක් ලෙසත් ප‍්‍රචාරක අවියක් ලෙසත් යොදා ගැනීමට මේ වියපත් බොළඳ මනුස්සයා කටයුතු කිරීම පුදුම සහගතය. මෙබඳු පුවත් අප අසා අත්තේ මෙයට අවුරුදු 150 ට පමණ පෙර ජීවත්වූ ප‍්‍රංශයේ ගී ද මෝපසාං හෝ ෆ‍්‍රාන්ස් කෆ්කා වැනි අයගේ කෙටි කතාවල පමණි. නිර්මාණය සහ සැබෑව අතර ලොකු වෙනසක් ඇතැයි අපට විටෙක සිතේ. එහෙත් අවසන් ඵලයේදී එහි කිසි වෙනසක් නැත.

advertistmentadvertistment
advertistmentadvertistment