මන පිනවන – ගත සනසන බත්තලංගුණ්ඩුවේ දහදුක් විඳින ධීවරයෝ

120

කල්පිටිය. බත්තලංගුණ්ඩුව යන නම ඇසූ පමණින් සිතට නැගෙන්නේ සුන්දර මනස්කාන්ත පරිසරයකි. නිල් සයුර තරණයකර බොහෝ දෙනා මෙහි ඇති සුන්දරත්වය විඳීමට කටයුතු කළ ද එහි වෙසෙන දූපත්වාසීන්ගේ ජීවිත නම් සුන්දර නොමැති බව වටහා ගැනීමට දූපතට පැය තැබූ ඕනෑම කෙනෙකුට වැඩි වේලාවක් ගත නොවේ. මහ මුහුද සමග පොර බදිමින් පවත්වාගෙන යන ධීවර කර්මාන්තය දූපත්වාසීන්ගේ ජීවිකාවයි. අවම පහසුකම් මැද්දේ දිවි ගෙවන මෙම දූපතේ බොහෝ දෙනෙකුගේ නිවාස පැල්පත්ය.

මන පිනවන - ගත සනසන බත්තලංගුණ්ඩුවේ දහදුක් විඳින ධීවරයෝ

වසර ගණනාවක් තිස්සේ ධීවර කර්මාන්තයේ පවතින ගැටලු රැසකට විසඳුම් ලබා දීමට කිසිදු රජයක් කටයුතු නොකිරීම හේතුවෙන් කල්පිටිය බත්තලංගුණ්ඩුව ධීවර දූපතේ දූපත්වාසීන් දැඩි පීඩාවට පත්ව සිටිති.

මීගමුව, කල්පිටිය , හලාවත, වෙන්නප්පුව ඇතුළු ප්‍රදේශවල සංක්‍රමණික ධීවරයින් විශාල පිරිසක් වෙසෙන මෙම දූපතේ අත්‍යවශ්‍ය මූලික පහසුකම් අහිමිව සිටින ජනතාවගේ දුක් අඳෝනාවන්ට විසඳුම් ලබා දෙන සේයාවක්වත් පෙනෙන තෙක් මානෙකවත් නොමැති බව ඔව්හු පවසති.

මන පිනවන - ගත සනසන බත්තලංගුණ්ඩුවේ දහදුක් විඳින ධීවරයෝ

ජූඩ් පෙරේරා මහතා :

මම මේ දූපතට ඇවිල්ලා අවුරුදු විස්සක්. ඇත්තෙන්ම එදා ඉඳන් අද වෙනකන් මේ දූපතේ ධීවර ජනතාවට කිසිදු රජයක් යටතේ කරපු දෙයක් නෑ කිව්වොත් පව් නෑ. ඒ මොකද දන්නවද මේ දූපතේ ජනතාවගේ ඡන්ද තියෙන්නේ එකම බල ප්‍රදේශයකට නෙවෙයි. සමහර අය හලාවත, එහෙම තැත්තම් මීගමුවේ ඒක තමා වෙනස. මහත්තයෝ අපි කියන්නෙ හැම තිස්සේම අපි හම්බ කෙරුවොත් අපි කනවා කිලයි. අද බලන්න තෙල් ගණන්, ධීවර ආම්පන්න දිනෙන් දින මිල ඉහළ යනවා. අපිට කියලා කර්මාන්තයට අවශ්‍ය කරන කිසිදු සහනයක් ලබා දුන්නේ නැහැ. අපිට මේ ප්‍රශ්න කියලා ඇති වෙලා තියෙන්නේ. අපි පුළුවන් විදිහට රැකියාව කරගෙන දරු මල්ලොත් එක්ක ඉන්නවා.

එමිල්ඩා ප්‍රනාන්දු මහත්මිය :

සාමාන්‍යයෙන් මේ දූපතේ ධීවර කර්මාන්තයේ නියැලෙන 400 කට වැඩි පිරිසක් ඉන්නවා. ඒසේරම වගේ පිටින් ඇවිල්ල තියෙන්නෙ. හැබැයි උපන්දා ඉදන් ඉන්න අය ඉන්නවා. ඒ පරම්පරාවෙන්. මමත් එහෙමයි. අපේ අම්මල හිටියේ මේ දූපතේ. දැන් අපි මේ දූපතේ තමයි ජීවත් වෙන්නේ. උදේට මාළු ආපුවහම දැල් තෝරලා තමයි අපි ජීවත් වෙන්නේ. හැබැයි එහෙම දැල් තෝරලා ජීවත් වෙන්නත් අමාරුයි. මොකද මෙහ තෙල් මිල වැඩියි. වෙනත් පැතිවලට වඩා. ඒ කියන්නේ තෙල් ගේන්න බෝට්ටුවෙන් කල්පිටියට යන්න ඕන. මහ බෝට්ටුවෙන් එක ගමන්වාරයකට අයකරන මුදල රුපියල් 1250 ක් එතකොට තෙල් ලීටරයක් කීයටද ඒගොල්ලෝ දෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි මේ ධීවර රැකියාවේ නිරත වෙන්නේ? ඉතින් සමහර අය සතියකට එක දවසයි දෙකයි මූදට යන්නේ සමහර දවසට මාළු ඇත්තෙත් නෑ. ඉතින් ඒ දවස්වලට අපි හරිම අමාරුවෙන් ජීවිතේ ගැට ගහගන්නවා. මේ දූපතේ ඉන්න ධීවර ජනතාව ගැන බලලා ඒ අයට මොනවාහරි සහනයක් දෙන්න ඕන. මේ පුත්තලම මැති ඇමැතිවරු එන්නේ ඡන්ද කාලෙට හැබැයි ඇවිල්ල කරපු දෙයක් නෑ. අපිට බොරු පොරොන්දු දීලා දැන් අපි හෙම්බත්වෙලා ඉන්නේ. අපි ගැන බලන්නෙ අපි මිසක් වෙන කවුද ඕක තමයි ඇත්ත.

ජූඩ් ඩෙන්සිල් මහතා :

අපිට තියෙන ප්‍රධානම ගැටලුව තමයි ඉන්ධන ප්‍රශ්නෙ. විශේෂයෙන් භූමි තෙල් ඩීසල් වැනි ඉන්ධන පළාත්වලින් ගේන නිසා රුපියල් සීයක් දෙසියක් වැඩියෙන් දීලා ගන්න වෙන්නෙ. එනිසා සමහර දවස්වලට තෙල් වියදමවත් කවර් කරගන්න බැරුව යනවා . අත්තෙන්ම බත්තලන්ගුණ්ඩුව දූපත කිව්වොත් ඕනම දෙනෙකුට මතක් වෙන්නෙ මාළු, එහෙම නැත්නම් කරවල. එත් අපි මේ විඳින දුක දන්නේ නැහැ. රජය මැදිහත් වෙලා විශේෂයෙන් අපි ගැන මේ දූපත ගැන බලන්න ඕන.

මේරි කැතරින් මහත්මිය :

මම දැන් අවුරුදු හැත්තෑවක් කිට්ටුවෙනවා. මේ දූපතේ එදා තිබුණු තත්ත්වෙම තමයි අද තියෙන්නේ. වෙනසක් වෙලා නෑ. ඕන නම් දූපත ටිකක් දියවෙලා ඇති. මේ තිබුණු පැල්පත් තාම ඒ විදිහටම තියෙනවා. එහෙමත් ගෙයක් ස්ථිර ගොඩනැඟිල්ලක් කලාතුරකින් තියෙනවා. ඒ කියන්නේ දූපත ලංකාවෙන් වෙනම රාජ්‍යයක් කියල හිතනවා ඇති. ඇමති කෙනෙක් ආපු කාලයක් මතක නෑ. අපේ ළමයි සියලුදෙනාම ධීවර රැකියාව කරන්නේ? උදේට මුහුදට යනවා හවසට දැල් තෝරනවා. ආයෙ මුහුදට යනවා. ඕක තමයි ජීවිතේ. පුළුවන් අය පිට පළාත්වල ළමයි බෝඩිං කරලා ළමයිට උගන්වනවා. සමහර අයට උගන්වන්න විදිහක් නෑ. මෙහේ ඉස්කෝලයක් තිබුණා දැන් ඒ ඉස්කෝලෙත් නෑ. මෙහේ ඇත්තටම කිසිම පහසුකමක් නෑ. අපිට මොනවා හරි දෙයක් ලැබෙනවනම් මොනවා හරි ආරක්ෂාවක් ලැබෙනවානම් අපිට එය ලැබෙන්නේ මේ නේවි එකේ දෙවිවරු හින්දා. ඒගොල්ලෝ නැත්තං අපි අන්ත අසරණ වෙනවා. දැන් මේ කවුරුහරි ජනාධිපති වෙනවනෙ. එයාවත් අපි ගැන හොයල බලලා මේ දූපත නඟා සිටුවන්න දූපතේ ජනතාවට මොනවා හරි දෙයක් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment