මම ඇමෙරිකාවට ගියේ නැවත ලංකාවට එන්න නෙමෙයි…. – දලයි ලාමාටත් වඩා ලෝකයේ බුදුදහම ප‍්‍රචලිත කළ සිංහල හාමුදුරුවෝ…

564

ලොව විශාලතම භාවනා මධ්‍යස්ථානය ස්ථාපනය කළේ උන්වහන්සේය. ඒ ඇමරිකාවේ වොෂින්ටන් නගරයේ සිට කිලෝමීටර් එකසිය තිහක් ඈතින් පිහිටි සැනමිඩෝ ජාතික වන උද්‍යානය තුළ පිහිටි වෙස්ට් වර්ජිනියා භාවනා මධ්‍යස්ථානයයි. එමෙන්ම ලෝකය පුරා ථෙරවාදී බුදුදහම ප‍්‍රචාරය කරන ස්වාමීන් වහන්සේ අතර උන්වහන්සේ පෙරමුණේ සිටිති. ධර්මධර, විනයධර මෙන්ම ශබ්ද ශාස්ත‍්‍රය ද මනා සේ ප‍්‍රගුණ කළ මහා ප‍්‍රාඥයෙකි. එමෙන්ම පෙර අපර දෙදිග භාෂාවන් පිළිබඳ ප‍්‍රවීණත්වයක් උසුලන පැනවතෙකි. ඒ උතුරු ඇමරිකාවේ ප‍්‍රධාන සංඝ නායක, අග්ග මහා පණ්ඩිත, ආචාර්ය හේනේපොළ ගුණරතන හාමුදුරුවෝය. 47 වැනි කොටස…

 මම ඇමෙරිකාවට පැමිණි කාලයේ සිටම සෑම අවුරුදු දෙකකට වතාවක් වජිරාරාමයේ පියදස්සි හාමුදුරුවෝ ඇමෙරිකාවට ඇවිත් වොෂින්ටන් විහාරයේ මාසයක්, දෙකක් නතර වෙලා ඉඳලා යෑම පුරුද්දක් කරගෙන හිටියා. උන්වහන්සේ විවේකී සුවයෙන් සිටින සෑම මොහොතකම අපේ පුස්තකාලයේ පොත් කියැවීමට උනන්දුවක් දැක්වූවා. වොෂින්ටන් විහාර පුස්තකාලයේ එක පැත්තක රාක්කවල තිබුණේ මගේ නම ලියැවිලා තිබුණු පොත්පත්. උපාධි නිබන්ධන ඇතුළුව ඒ වෙනකොට විශාල පොත් සංඛ්‍යාවක් එකතු වෙලා තිබුණා. 1982 වර්ෂයේදී උන්වහන්සේ වොෂින්ටන් විහාරයට වැඩම කළ අවස්ථාවේ පුස්තකාලයේ පොත් බලමින් සිටින මොහොතක මගෙන් අහනවා ‘ගුණරතන’ නමින් තියෙන සේරම පොත් ‘ඔබවහන්සේගේ ද…’

 ‘ඔව් හාමුදුරුවනේ…’ මමත් ප‍්‍රීති ප‍්‍රමෝදයෙන් පිළිතුරු දුන්නා.

 ‘ඉතිං ඔබවහන්සේ යනකොට මේ සේරම පොත්පත් අරගෙන යන්න එපෑ…’

 ‘මම ඇමෙරිකාවට ආවේ යන්න නෙමෙයි හාමුදුරුවනේ…’

 ඔබවහන්සේව ඇමෙරිකාවට එව්වේ වසර පහකට නේද? පියදස්සී හාමුදුරුවො එහෙම අහනකොට මම ඇමෙරිකාවට ඇවිත් වසර පහළොවක් ගෙවිලා. වොෂින්ටන් විහාරය ආරම්භ කරන්න ඇමෙරිකා බැංකුවකින් ලබාගත් ණය මුදලත් ගෙවලා ඉවරයි. වසර පහළොවක් තිස්සෙ පැමිණි කිසිම අවස්ථාවක උන්වහන්සේ ඔය කතාව මගෙන් අහලා තිබුණෙත් නෑ. ඒත් පියදස්සී හාමුදුරුවන්ගේ ඒ කතාවට මගේ හිත කම්පනයට පත් වුණේ නෑ. ධම්ම පදයේ ගාථාවක් සිහිපත් වුණා.

 ඉද වස්සං වසිස්සාමි – ඉද හේමන්ත ගිම් ඉෂූ
 ඉති බාලස්ස සංකප්පෝ – ඉච්චා මානෝච වඞ්ඩති

 ඒ ගාථාවෙන් කියැවෙන්නෙ ‘ගිම්හානයෙත්, වස්සානයෙත් දෙකෙහිදීම මම වස් වසන්නෙ මෙතන තමයි. එහෙම හිතෙන මෝඩයාගේ තණ්නාහවත්, මාන්නයත් වැඩිවෙනවා…’ වොෂින්ටන් විහාරය සම්බන්ධයෙන් මට එහෙම ආශාවක් උපන්නෙ නෑ. ඒත් ඇමෙරිකාවට පැමිණි දවසෙ ඉඳලා විහාරය දියුණු කරන්න උපරිමයෙන්ම කැප වෙලා වැඩ කරගෙන ගියා. ඒ වෙනකොට වසර පහළොවක් නොසෑහෙන්න මහන්සි වෙලා වොෂින්ටන් විහාරය යම් ස්ථාවර තත්ත්වයකට පත් කරගෙන තිබුණා. ඒත් ඕනෑම අවස්ථාවක අතහරින්න සූදානම් වෙලා හිටියේ. වොෂින්ටන් විහාරයෙන් යන්න කියපු අවස්ථාවක දොට්ට බහින්න වෙන බවත් මම දැනගෙන හිටියා. ඒත් නොසිතූ මොහොතක ඒ පණිවිඩය ලැබීමත් සමඟ ඇමෙරිකාව තුළ භාවනා මධ්‍යස්ථානයක් පිහිටුවීමට මගේ සිතේ තිබුණු බලාපොරොත්තුව දැඩිව ඉස්මතු වුණා. ඔය සිද්ධිය වෙනකොට භික්කු බෝධි හාමුදුරුවොත් වොෂින්ටන් විහාරයෙන් ගිහින් තිබුණා. නැවත මම කාර්යබහුල වුණා. ඒත් භාවනා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවය දැඩි සේ සිතට දැනෙමින් තිබුණා. එවැනි පසුබිමක මැතිව් ද ඒ ගැන නැවත මතක් කළා…

 ‘අදහස නම් ඒ විදිහටම තියෙනවා. ඒත් ඉතිං භාවනා මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න විශාල මුදලක් තියෙන්න එපෑ. ආධාර කරන්න පිරිසක් ඉන්න ඕනෑ. ඉඩමක් තියෙන්න ඕනෑ. ඒ එක දෙයක්වත් අපිට නෑ…’ මැතිව්ගේ ප‍්‍රශ්නයට පිළිතුරු දෙමින් මම එසේ කීවා.

 ‘ඉතිං භන්තෙ ඒ දේවල් අපි හොයමු…’

 ‘කොහොමද හොයන්නෙ…’

 ‘අපි මුලින්ම භාවනා මධ්‍යස්ථානයටක සුදුසු ඉඩමක් බලමු…’

 ‘මුදල් නැතිව ඉඩම් බලලා මොකටද…’

 ‘මගේ කීමට ඉඩමක් බලන්න යමු කෝ…’ අපි දෙන්නා අතර සංවාදය දීර්ඝව ඇදිලා ගිහින් අවසානයේ මම මැතිව්ගේ අදහසට කැමති වුණා. මැතිව් රැකියාව කළේ ටොයෝටා කොම්පැණියේ අලෙවි නිලධාරිවරයෙක් විදිහට. සති අන්තයේ විතරයි නිවාඩු තිබුණේ. නිවාඩු දින දෙකේදී භාවනා මධ්‍යස්ථානයකට සුදුසු ස්ථානයක් සොයාබැලීමට අපි දෙදෙනා විවිධ ප‍්‍රදේශවලට ගියා. දුර ප‍්‍රදේශවලට ගිහින් ඉඩම් දෙක, තුන බලනකොට දවස ඉවරයි. අක්කර දහය, පහළොව, සීය, දෙසීය ඉඩම් බැලූවා. පාන් පෙති දෙක, තුනක් කලා, තේ හෝ පළතුරු යුෂ ටිකක් බීලා මුළු දවසෙම ඉඩම් බලපු අවස්ථා තියෙනවා. සැන්වීචස් පාන් හදාගන්න වෙළෙඳසල්වලින් බඩු ගන්න හදනකොට අපි ගැන අනුකම්පා කරලා සුළු මුදලක් අරගෙන සැන්වීචස් හදලා දීපු අවස්ථා තියෙනවා. බොහොම සතුටින් ප‍්‍රණීත ලෙස සැන්වීචස් හදලා දානයක් විදිහට පූජා කරපු වෙළෙඳ ව්‍යපාරික කාන්තාවන් ඒ අතර සිටිනවා. ඒ වගේම ඇමෙරිකාවේ සමහර ප‍්‍රදේශවලට ගිහින් මෝටර් රථයෙන් බහින්න බය හිතුණා. මගතොටේ ගමන් කරන මිනිස්සු ළඟ, කඩ පිල්වල ඉන්න සමහර මිනිසුන්ගෙ අතේ පිස්තෝල, තුවක්කු, රෞද්‍ර පෙනුමැති මහා නැඩ මිනිස්සු. කව්බෝයි තොප්පි පැළඳගෙන චණ්ඩි පාට් දාගෙන තමයි හිටියේ. එවැනි මිනිස්සු ජීවත්වන ප‍්‍රදේශවලින් අපි ඉඩම් බැලූවේ නෑ. ගිය සුනන්ගුවට ඒ ප‍්‍රදේශවලින් පිට මං වුණා. ඒ විදිහට මාස ගානක්ම ඉඩම් සෙව්වා. අඩු මුදලකට, භාවනා මධ්‍යස්ථානයකට සුදුසු නිස්කලංක පරිසරයකින් ඉඩමක් සොයාගන්න බැරි වුණා. ඒත් අපි ඉඩම් බලන එක නතර කළේ නෑ. සෑම සති අන්තයකදීම මැතිව් එක්ක ඉඩම් සොයාගෙන යනකොට පොඩි විලක් එක්ක අක්කර එකසීය අසූනවයක ඉඩමක් අපිට බලන්න ලැබුණා. ඒ ඉඩමෙ ගොඩනැඟිලි පහක් තිබුණා. බැලූ බැල්මට විශාල ශක්තිමත් ගොඩනැඟිලි. ඉඩමේ මිල නියම වෙලා තිබුණේ ඇමරිකන් ඩොලර් පහළොස්දහසක්. රුපියල්වලින් නම් දසකෝටි පනස්ලක්‍ෂයක්. එවැනි විශාල මුදලක් මට සිහිනයක් වගෙයි…

 ‘මැතිව් අපිට එච්චර සල්ලි නෑනෙ… මේ ඉඩම බලලා වැඩක් වෙන්නෙ නෑ. අපි යමු…’ මම එහෙම කියනකොට මැතිව් මෙහෙම කිව්වා.

 ‘හරි භන්තේ ඉඩම ගන්නෙ දෙවනුව… දැනට අපි හොඳට ඉඩම බලමු…’

 මැතිව් ඕනෑම දෙයක් ගැන සුබවාදීව දකින සහ යම් කටයුත්තක් සිදු කිරීමේදී නිමාවක් දකින තෙක් නොපසුබට වීර්යයෙන් කටයුතු කරන තරුණයෙක්. ඒ වගේම යම් යහපත් කටයුත්තකට තවත් අය පෙළඹවීමට අති දක්‍ෂ බුද්ධිමත් තරුණයෙක්. ඉඩම් බලන්න යනකොට අපි දෙන්නා සුන්දර ස්ථාන වගේම විවිධ ෆාම් නැරැඹීමට ගිහින් තියෙනවා. ආදරයට සතුන් ඇති කරන ස්ථාන වගේම මරන්න සතුන් ඇති කරන ස්ථානවලටත් අපි ගිහින් තියෙනවා. කුකුළු ෆාම්වල බිත්තරයෙන් එළියට එන පැටව් තෝරලා කිකිළි පැටව් අරගෙන කුකුළු පැටව් කුණු කූඩවලට විසිකරන අයුරු අපි බලාගෙන ඉඳලා තියෙනවා. සතුන් මරලා පැකින් කරන අවස්ථාව වෙනකම් පිළිවෙළට අපි බලාගෙන ඉඳලා තියෙනවා. යම් ස්ථානයකට යමු කියලා මම කිව්වොත් මැතිව් දෙවරක් හිතන්නෙ නැතිව වාහනය හරවාගෙන යනවා. මැතිව්ගේ ශබ්දකෝෂය තුළ ‘බෑ’ කියන වචනය තිබුණේ නෑ.

 අපි බලන්න ගිහින් හිටිය අක්කර එකසීය අසූනවයක ඉඩම පොත්පත් එකතු කර බෙදාහරින ‘කිප්ටන් බුක්’ කියන කොම්පැණිය කුලියට අරගෙන තිබුණේ. ඒත් ඉඩමේ අයිතිකරුට අවශ්‍ය වුණේ හොද මිලකට විකුණන්න. අපේ අවශ්‍යතාව කියලා ඉඩමේ මිල අඩු කරගැනීමට මැතිව් ඒ මනුස්සයා එක්ක දිගින්, දිගටම කතා කළා. කිප්ටන් බුක් කොම්පැණියත් දවසින්, දවස පාඩු වෙලා බංකොලොත් භාවයටම පත් වෙලා ගොඩනැඟිලිත් එක්කම ඉඩම අයිතිකරුට දීලා තිබුණා. ඉඩමේ අයිතිකරු පුංචි රස්සාවක් කළේ. කසාද බැඳලා දරුවෙක් හිටිය ඒ මනුස්සයට ඉඩමට බදු ගෙවා ගැනීමටවත් වත්කමක් නැති වුණා. ඇමරිකාවේ සෑම පුද්ගලික ඉඩමකටම අවුරුද්දකට සැරයක් බදු ගෙවන්න ඕනෑ. මැතිව් ඒ මනුස්සයා සමඟ කතා බහ කරලා ඩොලර් පහළොස්දහස, ඩොලර් හත්දාහට අඩු කරගෙන තිබුණා. මැතිව් ඉතිරි කරගෙන තිබුණු ඩොලර් දෙදහක් අත්තිකාරමක් වශයෙන් දීලා මාසයක් ඇතුළතදී තවත් ඩොලර් දහසක් දෙන බවත් ඉතිරි මුදල වසර පහක් ඇතුළතදී ගෙවා නිම කරන බවට පොරොන්දු වුණා. මැතිව්ගේ යෝජනාවට ඉඩමේ අයිතිකරුත් කැමති වුණා.

 ‘ඔයාට නම් පිස්සු මැට්. ඉතිරි මුදල් ගෙවන්න ඔයා ළඟ සල්ලිත් නෑ. මා ළඟ සල්ලිත් නෑ. එච්චර මුදලක් අපි කොහොමද හොයාගන්නෙ. නිකං බොරුකාරයො වෙනවා නේද…’ මෝටර් රථයට ගොඩ වූ හැටියේ මම මැතිව්ගෙන් ඇහුවා.

 ‘භන්තේ බය නැතිව ඉන්නකෝ… අපි සල්ලි හොයමු…’ මැතිව් සිනාමුසුව එහෙම කිව්වා. එතැන ඉඳලා විහාරයට එනකම් ඒ ගැන කතා කළේ නෑ. විහාරයට පැමිණි හැටියේ මැතිව් අරමුදල් සම්පාදකයෙක්ටත් කතා කරලා තුන්දෙනා එක්ක පුස්තකාලයට ගිහින් ඉඩම ගන්න හැටි සහ භාවනා මධ්‍යස්ථානය ගොඩනැඟීමට මුදල් එකතු කරන ආකාරය ගැන සාකච්ඡා කළා. මුලින්ම මැතිව් කඩදාසියක් අරගෙන පිරමීඩයක් ඇන්දා. ඩොලර් පහක් දෙන මිනිස්සු පිරමීඩයේ යටටම දැම්මා. ඩොලර් දහයක් දෙන මිනිස්සු, ඩොලර් විස්සක් දෙන මිනිස්සු ඔය විදිහට ඩොලර් ලක්‍ෂය දෙන මිනිස්සු දක්වා තට්ටු, තට්ටු පිරමීඩය ඉස්සුවා. අන්තිමේ එකතු කරලා බලනකොට ඩොලර් මිලියනයක් විතර එම කඩදාසියේ තිබුණා. අපේ සාකච්ඡාව අවසාන වෙලා අරමුදල් සම්පාදකයා විහාරයෙන් ගියාට පස්සෙ ‘මැට් ඔයාගේ සැලැස්ම හරිම අගෙයි. මේ සල්ලි තියෙන්නෙ කොහේද? කවුද ඔය සල්ලි අපිට දෙන්නේ… මේ මුදල් එකතු කරන මනුස්සයා අපිට නිකං වැඩ කරන්නෙ නෑ. පඩියක් ගෙවන්න ඕනෑ. සල්ලි එකතු වෙනකම් ඒ මනුස්සයට පඩි ගෙවන්නවත් අපිට මුදල් තියෙනවද? මම මේකට කැමති නෑ. මගේ ප‍්‍රතිපත්තිය අතේ තියෙන මුදලට වැඩ කිරීමයි. ණය වෙන්නෙ නෑ. පුංචි කාලේ ඉඳලා අපි පුරුදු වෙලා තියෙන්නෙ ඒ විදිහට…’ කියලා මැතිව්ට තේරුම් කර දීලා මුදල් එකතු කරන වැඬේ නතර කළා. ඒත් මැතිව් පසුබැස්සෙ නෑ…

 ‘එහෙම නම් භන්තෙ වෙන ක‍්‍රමයකින් අපි සල්ලි හොයමු…’ මැතිව් අලූත් යෝජනාවක් ගෙනාවා.

 ‘මේ විහාරයේ ඉන්න දායකයන්ට අවශ්‍යතාවය පැහැදිළි කරලා කැමති අයගෙන් ආධාර එකතු කරගමු…’

 මැතිව්ගේ ඒ අදහස ගැන නම් මගේ හිතෙත් පැහැදීමක් ඇති වුණා. ඒ වෙනකොට වොෂින්ටන් විහාරයේ දායකයො දෙදහසක් පමණ හිටියා. මම ඇමෙරිකාවට යනකොට අපිට හිටියේ දායකයො අටදෙනයි. මේ වෙනකොට ඇමෙරිකාව පුරාම අපේ දායකයො හිටියා. ඒ සියලූම දායකයන්ට අපි කරන්න යන වැඬේ ගැන දැනුම් දුන්නා. ඒ අතර කාලයේදී මැතිව් ගොඩනැඟිලි සැලසුම් ශිල්පියකු ලවා භාවනා මධ්‍යස්ථානයක් ගොඩනැඟීමට ප්ලෑන් එකත් ඇඳලා තිබුණා…

 මතුසම්බන්ධයි
 තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment