මම ගමේ ගොවිතැන් කරපු කොල්ලෙක්…

157

ඒ කාලේ කොළඹ දැකලවත් නෑ

කෝලං කුට්ටමේ හෝකන්දර චමින්ද බටුකොටුව ගැන කියන දුක්බර කතාව

මේ දිනවල විකාශනය වන ජයප්‍රකාශ් ශිවගුරුනාදන්ගේ කෝලම් කුට්ටම ටෙලි නාට්‍ය හරහා ඔබ අප අතරට එන හෝකන්දර චරිතය හොඳට මතක ඇති. දොළේ බොස්ගේ හෝටලයට නිතර එන යන මේ හෝකන්දර ඇත්තටම කවුද? නමින් චමින්ද බටුකොටුව. මේ ඔහුගේ කතාවයි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බටුකොටුව තමයි මගේ ගම. ඒක හින්දමයි මගේ නමත් චමින්ද බටුකොටුව කියලා යොදලා තියෙන්නේ. මම ඇත්තටම කොළඹ එන්නේ 2003 වසරේ.

මම ගමේ ගොවිතැන් කරපු කොල්ලෙක්…

ඇයි කොළඹට එන්නේ?

ඒ කාලේ මම ගමේ ගොඩේ පොඩි පොඩි නාට්‍යවල රඟපාලා උසස් පෙළ කරන්න එනවා අලව්වට. එහෙදී මම සරත් ප්‍රේමචන්ද්‍ර කියන නාට්‍යකරුවාත් එක්ක නාට්‍යයක් කරනවා. 1993 අලව්වේදී අපි කරනවා ‘යදම්. කියලා නාට්‍යයක්. එතකොට අපි කොළඹ දැකලවත් නැහැ. හොයාගෙන හොයාගෙන තමයි මේ නාට්‍ය කරන්න කොළඹට එන්නේ.

1994 වසරේදී මම කසාද බැඳලා ආපසු ගමට ගිහිල්ලා විවිධාකාර රස්සාවල් කළා. ඒ කාලේ නාට්‍යවලින් පවා අයින් වෙනවා.

මොනවද කරපු රස්සාවල්?

මම ගමේ ඉන්න කාලේ හෝටල්වල වැඩ කළා. සෙකුයිරිටි රස්සාවල් කළා. අන්තිමේ සමුපකාරේ මැනේජර්වරයෙක් විදිහටත් වැඩ කළා. 1998 වසරේදී මට මහවැලි අධිකාරියේ ආරක්‍ෂක නිලධාරි රැකියාවක් ලැබෙනවා. දෙහිඅත්තකණ්ඩිය තමයි මුල්ම පත්වීම. ඒ කාලේ මහවැලි අධිකාරියයි ටවර්හෝල් පදනමයි එකතු වෙලා නාට්‍ය වැඩමුළුවක් කළා. මම අන්තිමේ ඒකට සම්බන්ධ වුණා. එතැනට ආපු දැවැන්තයෝ කිව්වා දෙහිඅත්තකණ්ඩියේ නෙමෙයි වැඩ තියෙන්නේ කොළඹයි වැඩ තියෙන්නේ කොළඹට එන්න කියලා.

මම ගමේ ගොවිතැන් කරපු කොල්ලෙක්…

ඊට පස්සේ මොකද කළේ?

2003 වසරේදී මම ස්ථාන මාරුවක් හදාගෙන කොළඹට ආවා. ඒ ආපු ගමන් ටවර් හෝල් නාට්‍ය පාසලට සම්බන්ධ වුණා. කොටින්ම ඒ කාලේ කොටුවේ ඉඳලා තුන්මුල්ලට යන්නවත් දන්නේ නෑ.

කොළඹ ඇවිල්ලා මොනවද කළේ?

එක එක දේවල් කළා. නොකරපු දෙයක් නැහැ. රස්සාව කරන ගමන් ටවර් හෝල් එකේ 2003/2004 බැජ් එකේ ශිෂ්‍යයෙක් විදිහටත් හිටියා. එතැනින් කට්ටිය අඳුරගෙන වේදිකා නාට්‍ය” වීථි නාට්‍ය කළා. තව ප්‍රමෝෂන් කළා. පාරේ නැටුවා.

මිකී මවුස්ට ඇඳලා පාරේ නැටුවා?

ඔව්. ඔව්. මම ජෝකර් නැටුවා මිකී මවුස්ට ඇඳලා. දැනුත් මම මගේ කොල්ලො ටික දාලා ඒවා කරගෙන යනවා. ආයතනවල වෙළෙඳ ප්‍රචාරණ වැඩ අදටත් කරනවා.

වේදිකාවට තමයි වැඩිපුර කැමැත්ත තිබුණේ?

ඔව්. ඔව්. මම මහාචාර්ය මංගල සේනානායකගේ නාට්‍යවල රඟපෑවා. මිහිර සිරිතිලකගේ වැඩවල හිටියා. වේදිකා නාට්‍ය” කෙටි නාට්‍ය” දිගු නාට්‍ය රැසක මම රඟපෑවා. මම කොළඹට ඇවිල්ල සම්මාන හතක් ගත්තා. රාජ්‍ය නාට්‍ය උළෙලේ අන්තර් රාජ්‍ය සේවක නාට්‍ය උළෙලවලට ඉදිරිපත් වෙලයි ඒ සම්මාන ගත්තේ.

වෙළෙඳ දැන්වීම් වලටත් සම්බන්ධ වෙලා තිබෙනවා නේද?

මගේ මුල්ම වෙළෙඳ දැන්වීම කළේ ශිවා අයියත් එක්ක එස්ලෝන් ඇඩ් එකේ. කෝලම් කුට්ටමට කලින් මම ටෙලිනාට්‍ය විස්සකට විතර සම්බන්ධ වෙලා තිබෙනවා. සුදත්ත තිලකසිරි” ලක්‍ෂ්මන් පුෂ්පකුමාර” රංජන් ප්‍රසන්නගේ” සන්තුෂ ලියනගේ” විමලරත්න අධිකාරි යන අයගේ ටෙලිනාට්‍ය රැසකට සම්බන්ධ වෙලා තිබෙනවා.

එතකොට ඔබ ජනප්‍රිය වුණේ?

මාව ගොඩක් ජනප්‍රිය වුණේ කොමර්ෂල් ක්‍රෙඩිට් එකේ තැඹිලි කරත්තයක දැන්වීමෙන්. බොමුද තැඹිලි ගෙඩියක් කියන කතාවෙන්. මට අදටත් සමහරු කතා කරන්නේ අර තැඹිලි ඇඩ් එකේ හිටපු කෙනා නේද කියලා.

හෝකන්දරගේ චරිතය ලැබුණේ කොහොමද?

තිර පිටපත් රචක සද්ධා අයිය මාව හොයල තියෙනවා. එයාගේ ඉන්ෆාස් කියන ක්ලාස් එකේ ගෲප් එකට මගේ ෆොටෝ එකක් දාලා තිබුණා. එතැන හිටපු නංගිලා මල්ලිලා තමයි මට කිව්වේ සද්ධා අයියා මාව හොනවා කියලා. ඒ අනුවයි මට මේ චරිතය හම්බවුණේ.

කට්ටිය හෝකන්දර ගැන මොනවද කියන්නේ?

හරිම හොඳයි. හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ. පාරෙදි කට්ටිය මට හෝකන්දර කියලත් කතා කරනවා. මම රත්මලානේ වාරිමාර්ග නිල නිවාසවල තමයි පදිංචි වෙලා ඉන්නේ. එතැන දැන් මම රොටී කඩයක් කරනවා. කඩේට එන කට්ටියත් මගෙන් අහනවා ඔයා නේද කෝලම් කුට්ටමේ හෝකන්දර කියලා.

දැන් රස්සාවෙන් ඉවත්වෙලාද?

නැහැ. මම රස්සාවෙන් අයිවෙලා නැහැ. තව අවුරුදු දහයක් විතර තියෙනවා මට පැන්ෂන් යන්න.

දැන් පදිංචිය එහෙමත් කොළඹද?

2006 අවුරුද්දේ තමයි මට වාරිමාර්ග නිල නිවාසය හම්බවෙන්නෙ. එදා ඉඳලා මේ වෙනකම් ජීවත් වෙන්නේ එතන.

චමින්ද බටුකොටුව – මේ ආපු ගමන ගැන මොකද හිතෙන්නේ?

රෝසමල් පාරවල්වල නෙමෙයි” විශාල බාධක දුක් කම්කටොළු මැද්දේ තමයි මේ ගමන ආවේ. රස්සාවක් කරන ගමන් ඒ ආයතන වලින් බැණුම් අහගෙන තමයි මේ ගමන ආවේ. මගේ අම්මෝ මම ආයතන වලින් බැණුම් අහලා තියෙන තරම්. මට තවමත් තියෙන්නේ මෝටර් බයිසිකලයක් විතරයි. ඉස්සර එහෙම එකක්වත් නෑ. පයින් තමයි ගමන. ඉස්සර බස් එකකවත් යන්න සල්ලි නෑ. මම කොළඹට එනකොට මගේ පඩිය 14”815 යි. ආපස්සට හැරිලා බලනකොට හරි සන්තෝසයි.

නිල නිවාසයේ ජීවිතයත් හරි සුන්දරයි. එහෙමද?

මගේ නිල නිවස කියන්නේ මහා විශාල පිරිසක් බිහිවෙච්ච තැනක්. දොර වහන්නේ නැහැ. පැය 24 ම දොර ඇරලා. අද කාලේ ඉන්න දැවැන්ත කලාකරුවෝ ඒ කාලේ කොළඹ ඇවිල්ලා අනාථ වුණහම නතර වෙන්නේ අපේ නිල නිවාසයේ. යන්න එන්න තැනක් නැතිවුණාම මගේ නිල නිවාසයට තමයි එන්නේ. ඒ කාලේ දුරකථනත් වැඩිය නෑනේ. හරි විනෝද තැනක් එතැන. මමත් ඉතිං ගමේ ගොවිතැන් කර කර හිටපු කොල්ලනේ.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment