රත්මලාන අන්ධ විද්‍යාලයෙන් ඒ 9 ගත්ත බ‍්‍රයන්ගේ කතාව…

449

අතොරක් නැතිව අමිහිරි කතා ඇසෙන දෙසවනට සුමිහිරි කතාවක් ඇසිණි. ඒ රත්මලාන අන්ධ විද්‍යාලයේ ඉගෙනුම ලබන බ‍්‍රයන් කිංග්ස්ටන් මෙවර අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් ‘ඒ’ සාමාර්ථ නවයක් ලබාගෙන අතිවිශිෂ්ට ලෙස සමත්වීමය. එම විභාගයේදී විෂයයන් නවයටම ‘ඒ’ සාමාර්ථ ලබාගෙන විශිෂ්ට ලෙස සමත් වූ තවත් බොහෝ සිසු දරු දැරියන් රට පුරා සිටින බව සැබෑය. ඒ අතර උපතින්ම අත්, පා වරු නැති දික්වැල්ල, කටුකුරුඳුගහහේන දෙව්මි දියණිය ද වේ. ඒ දිරිය දියණිය මෙන්ම රත්මලාන අන්ධ විද්‍යාලයේ දිරිය පුතාගේ විභාග ජයග‍්‍රහණය සුවිශේෂී යැයි මට හැඟිණි. එහෙත් මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ හපන්කම් දැක්වූ සියලූම සිසු, දරු දැරියන්ට මම සුබ පතමි. ඔවුන් කිසිවකුවත් අඩුවෙන් තැකීමට ද මම නොරිසි වෙමි. එහෙත් ඒ හැම දෙනාටම වඩා බ‍්‍රයන් වෙනස් වූ හෙයින් ඔහු සොයාගෙන අපි මට්ටක්කුලිය, කදිරානවත්තට ගියෙමු.

විදුලි මෙන් දිවෙන යතුරුපැදි, ත‍්‍රිරෝද රථ අතරේ බර වාහනවලින් ද අපේ පුංචි මෝටර් රථයට ඉඩක් නොලැබිණි. නිරෝධායන ඇඳිරිනීති මහ මඟට වලංගු නැති ගානය. හීන් වැහි පොද නොවැටෙන්න ඒ මඟ දූවිලි වළාවක් වනවා නො අනුමානය. එතරම් මහ මඟ වාහනවලින් පිරී තිබිණි. මුව ආවරණය තුළින් රිංගන කුණු කාණුවල දුගඳ නාස් පුඬු දවන විට අප රැගත් මෝටර් රථ බ‍්‍රයන්ගේ නිවස ඉදිරිපිට නතර විණි.

මොනවද අම්මේ අකුරු ජාතියක්
මල්පෙතිවල කවුදෝ ලියලා
කවුරුද අම්මේ මේව ලියන්නේ
පාට පාට ඉරි හැඩ ගහලා

කොළඹ යුගයේ කවියකු වූ කේයස්ගේ ‘සුදෝසුදු’ කාව්‍ය සංග‍්‍රහයේ අන්ධ දරුවා අම්මාගෙන් අසන දුක්බර පැනය බ‍්‍රයන්ගේ මවට නම් නොඇසුණු බව අපගේ විශ්වාසයයි. බ‍්‍රයන් ජීවත්වනුයේ කුරුළු ගී ඇසෙන, මල් පිපුණු ගහ කොළවලින් පිරුණු සුන්දර පරිසරයක නොවේ. එක ගොඬේ පිහිටි පැල්පත්වලින් වට වූ කර්කශ කොන්ක‍්‍රීට් වනාන්තරයකය.

බ‍්‍රයන් ජීවත්වන පුංචි නිවසට අපව පිළිගත්තේ ඔහුගේ මවය. පුංචි දරුවෝ දෙදෙනෙක් සමඟ දසදෙනෙක් ජීවත්වන ඒ පුංචි නිවස තුළ විභාගයකට සූදානම්වීම විනා හිත සැනසීමෙන් ජීවත්වීමටවත් පහසුකම් නැති තරම්ය. පිළිවෙළක් නැති ඒ නිවස පුරා දෑස් දුවන විට මගේ සිතේ ඇඳුනේ මෙපණකි.

බ‍්‍රයන් මොනතරම් දක්‍ෂ ළමයෙක් ද?

‘පුතා ඉගෙනීමට හරි හපනෙක්. එයාට අඩුවකට තියෙන්නේ ඇස් පේන්නේ නැතිකම විතරයි…’ අපි කතාවට ප‍්‍රවේශයක් ගැනීමට පෙර බ‍්‍රයන්ගේ මව කතාව පටන් ගත්තාය. ඇය අමල් ප‍්‍රියාය. වයස අවුරුදු හතළිස් පහකි. දෙදරු මවක් වන ඇයගේ වැඩිමහල් පුතා වෙස්ලි විදුහලේ උසස් පෙළ හදාරමින් සිටී.

‘‘පොඩි පුතා ඉපදුනේ 2004 අවුරුද්දේ පෙබරවාරි 28 වැනිදා. කොළඹ කාසල් රෝහලේ. දරුවා ලැබුණේ අඩු මාසෙන්. පුතා ගොඩක් පුංචි නිසා බේබිරූම් එකට දාලා ඔක්සිජන් දුන්නා. කාසල් රෝහලේ වෛද්‍යවරුන්ට පුතාගේ ඇස් පෙනීම සම්බන්ධයෙන් අමුත්තක් දැනිලා ඇස් වාට්ටුවට යොමු කළා. ඇස් වාට්ටුවේදී වෛද්‍යවරු කිහිපදෙනෙක්ම පරීක්‍ෂා කර බලලා පුතාගේ මූණට ලයිට් එළිය තදට වැටිලා තියෙන නිසා ස්නායු පිච්චිලා කියලා කිව්වා. ඒත් දරුවගේ ඇස්වල පෙනීම ගන්න ඒ වෛද්‍යවරු උත්සාහ කළා. මගේ පුතාට පෙනීම ලැබුණේ නෑ. ඊට පස්සෙ අපි පුතාව ඉන්දියාවේ රෝහලකට අරගෙන ගියා. එතකොට පුතාට මාස දෙකයි. ඒ රෝහලේදී වෛද්‍යවරු කිහිපදෙනෙක්ම පරීක්‍ෂා කරලා පුතාගේ ඇස්වල ප‍්‍රධාන ස්නායු පිච්චිලා තියෙන නිසා සනීප කරන්න අමාරුයි කිව්වා. ඒත් පුතාගේ ඇස් දෙක ඔපරේෂන් කරලා පෙනීම ගන්න උත්සාහ කළා. සාර්ථක වුණේ නෑ. අන්තිමේ ඒ වෛද්‍යවරු මට කිව්වා ‘ඇස් පෙනීම නැති බව දැනගත් අවස්ථාවේම අපි ළඟට ගෙනවා නම් ඇස් දෙකම සනීප කරන්න තිබුණා. දැන් ලෝකයේ කොහේ රෝහලකට අරගෙන ගියත් පුතාට පෙනීම ලබා දෙන්න බෑ. දැන් තියෙන එකම දේ පුතාට හොඳට උගන්වන එක විතරයි…’ කියලා. එදා වෛද්‍යවරු ඒ කිව්ව කතාව අදටත් මගේ හිතේ රැව් පිළිරැව් දෙනවා…’’ අතුරු ප‍්‍රශ්න ඇවැසි නැත. බ‍්‍රයන්ගේ ජීවිතය මුල සිට ප‍්‍රියා පෙළගසන්නීය.

‘‘වෛද්‍යවරු එහෙම කිව්වා කියලා අපි උත්සාහය අතහැරියේ නෑ. පානදුරේ සිංහල වෙද මහත්තයෙක්ට පුතාව පෙන්නලා අවුරුදු දෙකක් විතර වෙදකම් කළා. මුල් මාස කිහිපයේදී දවස ගානේ පුතාව අරගෙන පානදුරයට ආවා. ඒ ප‍්‍රතිකාරවලින් ප‍්‍රතිඵලයක් නොලැබෙනකොට අනුරාධපුරේ වෙදගෙදරකට පුතාව එක්කරගෙන ගියා. ඒ ස්ථානයෙනුත් අවුරුද්දක් විතර බෙහෙත් කළා. වැඩක් වුණේ නෑ. ඒ අතර කාලයේදී මැරුණු කෙනෙක්ගේ නිරෝගීමත් ඇස් දෙකක් පුතාට දෙන්න පුළුවන් කියලා කෙනෙක් මට කිව්වා. ඊට පහුවදාම මම ඇස්වාට්ටුවට ගිහින් ඒ බව වෛද්‍යවරුන්ට දැනුම් දුන්නා. ඒ වෛද්‍යවරුත් පුතාගේ පරණ රිපෝට් බලලා, නැවත ඇස් පරීක්‍ෂා කරලා ‘දරුවගේ ගැටලූව තියෙන්නේ ඇස්වල නෙමෙයි, ස්නායුවල. ඇස් බද්ධ කළා කියලා දරුවට පෙනීම ගන්න බෑ. දරුවට හොඳට උගන්වන්න’ කියලා මට කිව්වා. එදා මම හිතාගත්තා නැවත පුතාගේ ඇස්වල පෙනීම ගන්න බෙහෙත් කරන්නේ නෑ. පුතාට හොඳට උගන්වනවා කියලා…’’

‘‘ඒ වෙනකොට පුතාට අවුරුදු පහයි. මම පුතාව පෙර පාසලකට ඇතුළත් කළා. පුතා ටීචර් කියන දේ හොඳට අහගෙන හිටියා. ඒ එක්කම බ්‍රේල් ක‍්‍රමය උගන්වන පන්තියකටත් පුතාව ඇතුළත් කළා. අවුරුද්දක් විතර යනකොට පුතාව අන්ධ පාසලකට ඇතුළත් කරන්න මම හිතුවා. ඒත් අපි දෙමළ නිසා මව් භාෂාවෙන් උගන්වන්න නම් යාපනයට අරගෙන යන්න වුණා. දෙමළ මාධ්‍යයෙන් උගන්වන අන්ධ විද්‍යාලයක් තියෙන්නෙ යාපනයේ විතරයි. පුතාව එච්චර දුර යවන්න බෑ. හොස්ටල්වල නතර කරලා උගන්වන්න අපිට වත්කම් නෑ. ඒ වගේම මට ඕන වුණේ ළඟ තියාගෙන පුතාට උගන්වන්න. පස්සේ මම කල්පනා කරලා සිංහල මාධ්‍යයෙන් ඉගෙනගන්න රත්මලානේ අන්ධ විද්‍යාලයට ඇතුළත් කළා. එතකොට පුතාට වයස අවුරුදු හයයි. අපි හිතුවේ එක වසරට ඇතුළත් කරන්න. ඒත් අවුරුද්දක් පෙර පාසලේ උගන්වලා තමයි එක වසරට ඇතුළත් කර ගත්තේ. වයසෙ ගැටලූවක් ඇති වෙන නිසා නියම වයසේදී විභාගවලට පෙනී ඉන්න බැරි වෙයි කියලා හිතලා පුතාව ඉහළ පන්තියකට යොමු කරන්න කියලා ලිඛිතව පාසලෙන් ඉල්ලීමක් කළා. ඒ ගැන සැලකිලිමත් වෙලා එක වසර පන්තියේ පළමු වාර විභාගයේදී පුතාට තුන වසර ප‍්‍රශ්න පත්තර ලියන්න දීලා ඒ විභාගයෙන් සමත් වුණොත් දෙක වසර පන්තියට ඇතුළත් කරන්න පුළුවන් කියලා ගුරුවරු මට දැනුම් දුන්නා…’’

‘‘එදාම මම තුන වසර පොත් සොයාගෙන පාඩම් කියා දීලා, තුන වසර ප‍්‍රශ්න පත්තර කරලා පුතාව විභාගයට සූදානම් කළා. ඒ විභාගයෙන් පුතා ඉහළින්ම සමත් වුණා. ඒ නිවාඩුවෙන් පස්සේ පුතාව දෙක වසර පන්තියට ඇතුළත් කළා. ඒ එක්ක පුතාගේ වයසෙ ගැටලූවත් විසඳුණා. පහ වසර ශිෂ්‍යත්ව විභාගයට මම සූදානම් කළේ සිංහල මාධ්‍යයෙන්. ඒත් පුතා කිව්වා මව් භාෂාවෙන් ශිෂ්‍යත්ව විභාගයට පෙනී ඉන්න ඕන කියලා. පස්සේ පුතා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අවුරුද්දේ බ්‍රේල් ක‍්‍රමයට දෙමළ මාධ්‍යයෙන් උගන්වන අමතර පන්තියකට ඇතුළත් කරලා, ඊට අමතරව සාමාන්‍ය දෙමළ ළමයින්ට උගන්වන ශිෂ්‍යත්ව පන්තියකට ඇතුළත් කරලා මම ළඟ ඉඳගෙනම වැඩ ටික කරගෙන ගියා. අන්තිමේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී ඉඳලා ලකුණු 164 ක් ලබාගෙන විශිෂ්ට ලෙස සමත් වුණා. රත්මලාන අන්ධ විද්‍යාලයේ ඒ විදිහට ශිෂ්‍යත්ව විභාගය සමත් වෙච්ච එකම ළමයා මගේ පුතා විතරයි…’’

‘‘පුතාට දෙයක් හිතුණොත් අනිවාර්යෙන්ම ඒක කරනවා. මමත් සෙවනැල්ල වගේ පිටිපස්සෙන් හිටිය එකත් පුතාට ලොකු ශක්තියක් වුණා. ඉස්කෝලේ යවන්න පටන් ගත්ත දවසේ ඉඳලා මම තමයි පුතාව එක්කරගෙන ගියේ. උදේට ගෙදරින් පිටත් වෙන්නෙ හයටත් කළින්. රත්මලානට බස් දෙකක යන්න ඕනෑ. ඉස්කෝලේ ඇරෙනකම් මමත් ඉන්නවා. දෙකට ඉස්කෝලෙ අවසාන වුණාට පස්සෙ කෑම කාලා, පිටත් වෙනකොට තුන විතර වෙනවා. ගෙදරට යනකොට හවස 5.30, 6.00 විතර වෙනවා. හවස පන්ති තිබුණොත් ගෙදර එනකොට රෑ 8 විතර වෙනවා. කීයට ආවත් මහන්සි ඇරලා රෙදි මහන්න පටන් අරගෙන ? 12.00 විතර වෙනකම් ඒ වැඩ කරනවා. ඇඳුම් මහලා උපයාගන්න කීයෙන් හරි තමයි පුතාලා දෙන්නට උගන්වලා, කාලා බීලා අපි ජීවත් වුණේ. ඒ ආදායම හැර වෙන කීයක් හරි ලැබුණා නම් ඒ පුතාට මාසිකව රජයෙන් ලැබුණ රුපියල් පන්දහස විතරයි. දරුවන්ගේ තාත්තත් අපිත් එක්ක ලොකු සම්බන්ධයක් නෑ. අපිට ඉන්න හිටින්නවත් තැනක් නෑ. අදටත් අපි ජීවත් වෙන්නෙ මල්ලිගේ ගෙදර. මගේ එකම සිහිනය පුතාලා දෙන්නට හොඳට උගන්වන එක විතරයි.

ඒ යුතුකමෙන් බාගයකටත් වැඩි කොටසක් දැනටමත් කරලා අවසානයි. ඒත් තව ගමන දුරයි. ඒ ටිකත් මේ විදිහටම යනවා. ඒත් දැන් පුතා කියනවා ඉස්කෝලෙ යනකොට ස්කූල් වෑන් එකක යන්න ඕන කියලා. පුතාව ස්කූල් වෑන්වල යවන්න තරම් මට ආර්ථික ශක්තියක් නෑ. ඇඳුම් මහල හොයන මුදලෙන් ලොකු දේවල් කරන්නත් බෑ. ඒත් පුතාගේ කැමැත්තට අකමැති වෙලත් බෑ. දැන් එයා ලොකු දරුවෙක්…’’ හද රිදවන කතා පෙට්ටියට ඇගුළු වැටිණි. එහෙත් ඇයගේ දෑස් රතු නොවිණි. ඒ ඇය යුතුකම් ඉටු කළ මවක් විදිහට අසීමිත සතුටක් විඳින හෙයිනි. ආදරණීය මවගේ සෙනහස, උණුසුම නොමඳව ලැබුණත් විඳීමට ඒ ලොව දැකීමේ වරම් නැති බ‍්‍රයන් සවන්පත් මවගේ තුරුලේ හිඳුවා නොපෙනෙන දෑස් පහළට බර කොට අප අසල අසුනකට බර දී සිටී.

‘බ‍්‍රයන්… ඔයා ලොකු ජයග‍්‍රහණයක් ලබාගෙන තියෙනවා…’ පුංචි විසිත්ත කාමරය තුළ පැතිරුණු කෙටි නිහැඬියාව බිඳිමින් අපි බ‍්‍රයන්ට කතා කළෙමු.

‘‘ඔව්… ඒත් අම්මා මගේ පස්සෙන් නොහිටින්න ඒ ජයග‍්‍රහණය නොලැබෙන්න තිබුණා. මාව මේ තැනට ගෙනාවේ අම්මා…’’ බ‍්‍රයන්ගේ මුවින් ගිලිහෙන ඒ වචනවලට නම් ප‍්‍රියාගේ මුහුණ රතු වී, දෑස් දිළිසෙන හැටි අපට පෙණිනි.

‘‘මම පුංචි කාලේ දුවන්න බයයි. අම්මා මගේ අතින් අල්ලගෙන ඉස්කෝල පිට්ටනිය වටේ දිව්වා. මගේ බය නැති වෙලා ගියා. ඊට පස්සෙ මම මීටර් 75, යගුලිය, තුන් පිම්ම, දුර පැනීම ක‍්‍රීඩාවලට ඉදිරිපත් වෙලා ජයග‍්‍රහණ රාශියක් ලබාගෙන තියෙනවා. 2019 අවුරුද්දේ අපේ පාසලේ ජ්‍යෙෂ්ඨ ශූරතාවය දිනා ගත්තා. යගුලිය විසිකිරීමේ තරගයෙන් සමස්ත ලංකා ප‍්‍රථම ස්ථානය දිනාගෙන තියෙනවා. 2020 අවුරුද්දේ යගුලිය විසිකිරීමේ තරගයෙන්ම ලංකාව තුළ පැරා ඔලිම්පික් තුන්වැනි ස්ථානයත් දිනාගෙන තියෙනවා. ඕනෑම කඩඉමක් පහසුවෙන් ජය ගන්න මට පුරුදු කළේ අම්මා. ඒ වගේම ඉස්කෝලේ ගුරුවරුත් මට හරිම ආදරෙයි. කරුණාවෙන් උගන්වනවා. අම්මා, ගුරුවරු නිසා තමයි අද මම සතුටින් ඉන්නෙ. ඒත් දවසක් මම නොසෑහෙන්න දුක් වුණා. ඒ ඉස්කෝලේ ඇරිලා හවස සොයිසපුර පන්තියකට ගිහින් එනකොට බඩු ගන්න අම්මා කඬේකට ගිහින් මම එළියේ ඉන්නකොට ගෑනු කෙනෙක් ඇවිත් මගේ අතට සල්ලි කොලයක් ගුලි කරලා ගිය මොහොතේ. ඒ ගෑනු කෙනා යහපත් චේතනාවෙන් මට උපකාරයක් කරන්න බලාපොරොත්තුවෙන් ඒ දේ කරන්න ඇති. ඒත් තව කෙනෙකුට අතපාලා ජීවත්වෙන්න මම කැමති නෑ. අපේ අම්මා ඒ තරමට අපිව අසරණ කරලා නෑ. ආබාධ තත්ත්වයන් කියන්නෙ හිඟමනට වැටෙන්න ඕන දෙයක් නෙමෙයි. දක්‍ෂතා හඳුනාගෙන, ඒ තුළින් ජීවිතය ජයග‍්‍රහණය කරන්න ඕනෑ. ඒ වගේම බස්වල යනකොට බොහෝ දවස්වලට ‘ඔයාගේ පුතාට ඇස් පෙන්නෙ නැද්ද’ කියලා සමහර කාන්තාවන් අම්මාගෙන් අහනවා. එහෙම වෙලාවට මට වඩා දුක් වෙන්නේ අම්මා. මගේ අත තදින් අල්ලනකොට මට ඒක දැනෙනවා. මට නම් ඒක වේදනාවට කාරණයක් නෙමෙයි. මම ජීවිතයේ ජය මාවතට හැරිල අවසානයි…’’

‘‘අපේ රටේ අධ්‍යාපන ක‍්‍රමය තුළ අපි වගේ අයට උසස් පෙළට කරන්න තියෙන්නෙ කලා විෂයයන් විතරයි. එතැන ලොකු ගැටලූවක් තියෙනවා. ඒත් ඉතිං කරන්න දෙයක් නෑ. ලංකාවේ ඉගෙන ගන්න සිද්ධ වුණොත් කලා අංශයෙන් උසස් පෙළ කරලා නීතිඥයකු වෙන්න තමයි මගේ බලාපොරොත්තුව…’’ බ‍්‍රයන්ගේ අනාගත සිහිනය එයයි. එහෙත් අපගේ කැමත්ත නම් එම සිහිනයෙන් ඔබ්බට ගොස් අන්ධ දරුවන්ගේ ජීවිත ආලෝකවත් කරන ‘දෘශ්‍යාබාධිත පුද්ගලයන්ගේ ප‍්‍රයෝජනය සඳහා කියවීමේ හා ලිවීමේ ක‍්‍රමය ලොවට හඳුන්වාදුන් පැරිසියේ ලූවී බ්රේල් කෙනෙක් මෙරටින් බිහිවනවා දැකීමය. එම නිෂ්පාදනයට සමාන

සොයාගැනීමක් හෝ හඳුන්වාදීමට ජගතෙක් අදටත් පහළ නොවූ ලෝකයේ ලූවී බ්රේල්ගේ හඳුන්වාදීම අබිබවා යන නිෂ්පාදනයක් බ‍්‍රයන් විසින් ලොවට හඳුන්වා දෙනවා දැකීමය. බ‍්‍රයන් ඒ ජයග‍්‍රහණය අපේ රටට ලබා දෙන තෙක් අපි බලා සිටිමු…

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment