මම යන්නේ අමාත්‍යාංශයෙන් කිව්වොත් විතරයි – ජාතික රෝහලේ නි. අධ්‍යක්‍ෂ රුක්ෂාන් බෙල්ලන

197

“රෝහලේ වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය කවුරුවත් කියලා නැහැ. මට ගෙදර යන්න කියලා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මට යන්න කිව්වොත් යනවා. ඒ නිසා මගේ රාජකාරිය රෝහල වෙනුවෙන් මම ඉටුකරනවා…” යැයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ‘දිවයින’ ට ඊයේ (18 දා) පැවැසීය.

පැය 7 ක් තමාව රෝහලේ කාර්යාල අඩස්සියේ රඳවාගෙන සිටි බව බොහෝදෙනා පැවසුවද එවැනි දෙයක් සිදුනොවූ බව හෙතෙම කියා සිටියේය.

තමා රෝහලේ රාජකාරි කටයුතු සඳහා පැමිණ සවස 5.30 ට පමණ රාජකාරි කටයුතු නිමවා පොලිස් ආරක්‍ෂාව මැද පිටව ගිය බව ද හෙතෙම කීය.

පසුගිය දිනවල ජාතික රෝහලේ සිදුකරන ලද සෞඛ්‍ය වැඩවර්ජනය අසාර්ථකවීම ගැන රවි කුමුදේශ් තුළ සිත්වේදනාවක් ඇතැයි ද වෛද්‍ය බෙල්ලන මහතා කියා සිටියේය.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා නැවතත් ජාතික රෝහලේ සේවයට පැමිණියහොත් එතැන් සිට අඛණ්ඩව වැඩ වර්ජනයේ යෙදෙන බවට පැවසීම සම්බන්ධයෙන් තොරතුරු විමසා සිටි අවස්ථාවේ ඔහු එසේ කීය.

කවුරු මොනවා කීවත් අද (19 දා) මා රෝහලේ රාජකාරියට යන බව ද කීය.

මෙහිදී තවදුරටත් කතාකළ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා මෙසේද කියා සිටියේය.

“රෝහලේ වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය, කවුරුවත් මට යන්න කියලා නැහැ. සම්මුඛ පරීක්‍ෂණයෙන් මාව තමයි ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ධුරයට තේරුණේ. තව අවුරුදු 5 ක් සේවය කරන්න මට වරම් තියෙනවා.

“මාව පැය 7 ක් හිරකරගෙන හිටියා කියලා මේ අය කියනවා. නමුත් එහෙම දෙයක් වුණේ නැහැ. ඔය 16 වැනිදා මම වැඩට ඇවිත් හවස 5.30 ට විතර ගෙදර ගියා. වෙනසකට තියෙන්නේ මට එදා ගෙදර යන්න පොලිසිය හොඳ ආරක්‍ෂාවක් සැපයුවා.

“මම රෝහලේ කඩු ජාවාරම් සම්බන්ධයෙන් හඬනැගුවා. ඒ අකටයුතුකම් එළිකිරීම පවා තවත් පිරිසකට දරාගන්න බැරි වුණා.

ජාතික රෝහලේ එක වෛද්‍යවරයෙක්වත්, එක හෙදියක්වත් මට විරුද්ධව හඬනැගුවේ නැහැ. ඔවුන්ට මගේ ප්‍රණාමය පුද කරනවා.”

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

බෙල්ලන අද වැඩට ආවොත් දිගටම සටනේ – ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවක සංගමය

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන නැවත වතාවක් අද (19 දා) රෝහලේ සේවය කළහොත් ඔහු රෝහලේ සේවයෙන් ඉවත්කරන තුරු අඛණ්ඩ වැඩවර්ජනයකට යොමුවන බව ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවක සංගමයේ නියෝජ්‍ය ලේකම් සුමිත් හේමන්ත මහතා ‘දිවයින’ ට පැවැසීය.

අද දිනයේ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ සාකච්ඡාවක් ලබාදෙන බවට ජාතික රෝහල් අධ්‍යක්‍ෂවරයා ලිඛිතව පොරොන්දු වූ බව ද හෙතෙම කීය.

පෙරේදා (17 දා) උදෑසන පැයකට අධික කාලයක් රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයන්, උපස්ථායකයන් 600 කට අධික පිරිසක් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂකවරයාට ජාතික රෝහලේ සේවය කිරීමට ඉඩ ලබානෙදෙන බව පවසමින් විරෝධය පාන්නට විය.

තවදුරටත් කතා කළ සුමිත් හේමන්ත මහතා මෙසේද කීය.

“මේ රුක්ෂාන් බෙල්ලන කියන රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා අපේ රැකියාව හෑල්ලුවට ලක්කරමින් මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ කරමින් තිබෙනවා. සුළු සේවකයන් කියන්නේ වැසිකිළි හෝදන අය. මේ අය රෝහල්වලට වැඩක් නැහැ. මේගොල්ලො කටු කන බල්ලො කියමින් රෝහල් සෞඛ්‍ය කාර්ය සහායකයන්ගේ තනතුර මාධ්‍ය ඉදිරියේ හෑල්ලුවට ලක්කළා. ආයෙ වතාවක් මේ රුක්ෂාන් බෙල්ලන ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා හැටියට කටයුතු කරන්න ආවොත් අපි සේවාවලින් ඉවත්වෙලා අඛණ්ඩව විරෝධය පානවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා


advertistmentadvertistment