මම ලෝක අපවාදයට බය නැහැ – මාව දරාගන්න පුළුවන් කෙනෙක්වයි මට ඕනෑ

546

UMALI THILAKARATNE

ලාංකීය කලා ක්ෂේත්‍රයේ සිටින අතිදක්ෂ, ප්‍රතිභාපූර්ණ, සම්මානනීය, චරිතාංග රංගන ශිල්පිනියක ලෙසින් ද මනෝ උපදේශිකාවක ලෙසින් ද කටයුතු කරන, මේ දිනවල ජාතික රූපවාහිනි නාළිකාව ඔස්සේ විකාශය වන “අපි” ටෙලි නාට්‍යයෙන් ඔබ හමුවට එන ප්‍රේක්ෂක ආදරය දිනාගත් රංගන ශිල්පීනි උමාලි තිලකරත්නව මෙවර “මීවිත” සුහද කතාබහකට එක්කර ගත්තා.

උමාලි කොහොමද මේ දවස්වල?

හොඳයි, බොහොම හොඳින් ඉන්නවා.

මේ දිනවල ඔබව දකින්නට ලැබෙන්නෙ “අපි” ටෙලි නාට්‍ය තුළින්. මුලින්ම ඒ ගැන කතා කරමු?

ඔව්. “අපි” ටෙලි නාට්‍ය දැනට අවුරුදු දෙකහමාරකට පමණ කලින් රූගතකිරීම් ආරම්භ කළ නිර්මාණයක්. අන්ධ ගැහැනු ළමයකුගේ චරිතයක් තමයි මම කරන්නේ. මම මීට පෙර කළ අන්ධ චරිතයෙන් වෙනස් වූ යමක් කරන්නේ කොහොමද කියන දේ ගැනත් හිතලා බොහොම කල්පනාකාරීව චරිතේ කරන්න උත්සාහ ගත්තා. මේ කතා සංකල්පයත් ඉතාමත් ලස්සනයි. මෙහි අධ්‍යක්ෂ සහ තිර රචක සමීර බණ්ඩාර කපුකොටුවටත් මම මේ වෙලාවේ ස්තූතිවන්ත වෙනවා මාව මේ සඳහා තෝරා ගත්තට. “අපි” කියන්නේ මම බොහෝම සතුටින් සම්බන්ධ වුණ නිෂ්පාදනයක් කියන්න පුළුවන්.

පසුගියදා “ශේෂ” සිනමාපටය සම්මානයට පාත්‍ර වුණා. ඔබටත් ඒ සඳහා රංගනයෙන් දායක වෙන්න පුළුවන්වීම ගැන මොකද හිතෙන්නේ?

ඔව්, ඇත්තටම නිර්මාණයකට දායක වෙන්න කලින් නිර්මාණය මොකක්ද කියලා බලලනේ අපි දායක වෙන්නෙ. “ශේෂ” කොහොමත් විශේෂයි. විශේෂ හේතු කීපයක්ම තියෙනවා. උඩරට නර්තන සම්ප්‍රදාය වෙනුවෙන්, ඒ ආශ්‍රයෙන් ලියැවුණු කතාවක්. එය සාම්ප්‍රදායික වටිනාකම්වලට තැනක් දෙන්න ඕනෑ කියලා ඉස්මතු කරපු කතාවක් විදිහට කියන්න පුළුවන්. ඉතින් ඒ වගේ නිර්මාණයකට මට සම්බන්ධ වෙන්න ලැබීම විශේෂයි. මොකද මම කලාවට සම්බන්ධ වෙන්නෙත් උඩරට නර්තන සම්ප්‍රදාය නිසා. මේ නිර්මාණයේ “සරලා’ කියන චරිතය තමයි මම නිරූපණය කරන්නේ. ඒ වගේම කියන්න ඕනෑ, තරුණ අධ්‍යක්ෂවරයෙක් වන ඉසුරු ගුණතිලක, ඔහුගේ තිබුණු උනන්දුව දැකපු ගමන් මට හිතුණා මේ නිර්මාණයට සම්බන්ධ වෙන්න ඕනෑ කියලා. ඒ වගේම මම බොහෝම ආදරය කරන අපේ කලාව පෝෂණය කරන්නට දැනට ජීවතුන් අතර ඉන්න මහා ජාතික වස්තුවක් තමයි රවී බන්දු විද්‍යාපති ගුරුතුමන්. දර්ශන තලවලදී එතුමන්ගේ නර්තන වින්‍යාසයන් දැකබලා ගැනීමත් මට සතුටක්. මම “ශේෂ” සිනමා පටයේ රඟපෑවට කමක් නැද්ද? මේකෙන් සම්ප්‍රදායට කිසිම හානියක් වෙන්නේ නැද්ද? කියලා මම කතා කළෙත් සර් එක්ක. චන්දන වික්‍රමසිංහ සර්ත් හරිම නිහතමානීව අපිත් එක්ක රංගනය ගැන බොහෝ දේ කතා කරමින්, මේ නිර්මාණය සාර්ථක කරගන්න දායක වුණා. ඒ වගේම රවී බන්දු සර් කියනවා, මේ නිර්මාණය හරහා තමයිලු අපේ චිත්‍රපට ඉතිහාසයේම සාම්ප්‍රදායික නර්තනය මෙච්චර ප්‍රමාණයක් රූපගත වුණ පළමුවැනි අවස්ථාව කියලත්. ඉතින් ඒ අනන්‍යතාව තිබුණ නිසා තමයි අපිට හොඳම නර්තන චිත්‍රපටයට හිමි සම්මානය ලබා ගන්නට පුළුවන් වුණේ.

මම ලෝක අපවාදයට බය නැහැ - මාව දරාගන්න පුළුවන් කෙනෙක්වයි මට ඕනෑ

ඉදිරියේදී උමාලිව දැකබලා ගන්න පුළුවන් අලුත් නිර්මාණ මොනවද?

වේදිකා නාට්‍යවලින් තමයි. මම රාජිත දිසානායක මහතාගේ “නැතිව බැරි මිනිසෙක්” සහ “ජූලි මාසයේ දවසක්” කියන වේදිකා නාට්‍ය දෙකේම රංගනයෙන් දායක වනවා. සාකච්ඡා මට්ටමේ තියෙන තව වැඩ කිහිපයකුත් තියෙනවා. ඒවගේම මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහත්මයා එක්කත් වැඩ කරන්න කැමැත්තෙන් බලාගෙන ඉන්නවා.

සිනමාවටත් ඇරයුම් ලැබුණාද?

ඔව්. සමීර නාඔටුන්න අධ්‍යක්ෂණය කළ “සිහින නෙළුම් මල්” සිනමාපටය තිරගත වෙන්න නියමිතයි. ඊට අමතරව මහාචාර්ය පැටි්‍රක් රත්නායක මහත්මයා අධ්‍යක්ෂණය කරන අලුත්ම සිනමාපටයේ රූගත කිරීම්වලට ජපානයට යන්න නියමිතයි. ඒ නිර්මාණයේ වැඩි විස්තර පසුව කියන්නම්.

ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරය සහ ප්‍රතිචාර ගැනත් කතා කරමු?

ප්‍රේක්ෂකයෝ කියන අයව මම හඳුනා ගන්නේ එක් ආකාරයකට. හැම ප්‍රේක්ෂකයන්ම අපට ආදරේ නැහැනේ. ඒක පොදු කාරණයක්. නමුත් මට ආදරේ සහ නැති ඒ හැමෝගෙම අදහස් මට වටිනවා. මගේ රසික ප්‍රජාවගේ ආදරේ මට හොඳට දැනෙනවා. ඒ අය මට ලබාදෙන ළෙන්ගතුකම, ආශීර්වාදය මගේ ජීවිතේට හරිම භාග්‍යවන්තයි.

ජීවිතයේ පසුතැවීම්, කලකිරීම් ඇතිවුණ අවස්ථාවලට කොහොමද ඔබ මුහුණ දුන්නේ?

ඇත්තටම පසුතැවීම්, කලකිරීම් ඇති වෙන්නේ නැහැ. යමක් සිද්ධ වුණොත් අපි මුහුණ දෙන්නේ යම් සිද්ධියකටයි. ඒ මුහුණ දෙන විදිහ අනුව තමයි අපි තීරණය කරන්නේ, මේක පසුතැවීමක් ද කලකිරීමක් ද කියලා. අපිට ඇතිවන හැඟීම් ගැන අපි අවබෝධයෙන් හිටියම අපට ඇතිවන ඕනෑම අපහසුතාවයක් මඟහරවා ගන්න පුළුවන් බුද්ධිමත්ව ඒ ගැන හිතලා. හැමදේම ධනාත්මකව හිතලා, පසුතැවීම් නැතිව, මැරෙන මොහොතේත් ඉතාමත් සැහැල්ලුවෙන්, හිත සතුටින් මැරෙන්න ඕනෑ කියලා තමයි මම නිතරම හිතන්නේ.

කට කතාවලට බයයිද?

නැහැ. මම ලෝකඅපවාදයට බය කෙනෙක් නෙවෙයි. මම බය මගේ හෘද සාක්ෂියටයි, ධර්මයටයි විතරයි.

ආදරය සහ ප්‍රේමය කියන දේ ජීවිතයට දැනෙන්නේ කොහොමද?

ආදරය, ප්‍රේමය කියන දේ විවිධ කාලවල විවිධාකාරයෙන් දියුණු වුණ සංකල්පයක්. හැබැයි සම්බන්ධතාවල තියෙන විවිධ තීව්‍රතාවයන් අඳුනගන්න තියෙන වචනයක්නේ ඒක. ඒවා පුද්ගලයා අනුව වෙනස් වෙනවා. පුද්ගලාන්තර සම්බන්ධතාවයක් තමයි ආදරය සහ ප්‍රේමය කියන්නේ. හැබැයි තමන් තමාගේ ජීවිතයට දක්වන ආදරය, කරුණාව, සාර්ථකත්වය කොතරම් දුරට සාර්ථකද කියන ප්‍රමාණයට තමයි අපිට අනෙක් අය එක්ක ගනුදෙනු කරන්න පුළුවන් වෙන්නේ.

මොනවගේ සහකරුවෙක්ව ද ඔබ සොයන්නේ?

පරිණත, මිත්‍රශීලි, සෞන්දර්යාත්මක, දෙයක් රසවිඳින්න පුළුවන්, විශේෂයෙන්ම මාව දරා ගන්න පුළුවන් කෙනෙක්ව තමයි මට ඕනේ.

“මිණිනේත්‍රනී” ගීතයත් මේ වන විට බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙනවා. ඒ ගැනත් කතා නොකරම බැහැ?

ඔව්.“මිණිනේත්‍රනී” රචනා කරන්නේ, ෂෙහාන් ගලහිටියාව අයියා. ගායනා කරන්නේ ගෙවීන් අභිෂේක්. ගෙවීන්ව මට මුණගැහෙන්නේ, “පීතෘ” ටෙලි නාට්‍ය හරහා. ඇත්තටම අපේ වයස් පරතරයක් තිබුණට රඟපාන්න ගියහම එහෙම දෙයක් පෙන්නන්න බැහැනේ. ඒ නිසා අපි ගොඩක් දේවල් කතාබහ කරලා, දැන හඳුනාගෙන මිත්‍රශීලි වුණා. ඒ ගොඩනැඟුණු මිත්‍රශීලිත්වය මට වෙන කොහෙදිවත් ලැබිලා නැහැ. මගේ ගෙදර අයත් එක්ක පවා මිත්‍රශීලීව, ළෙන්ගතුව ඔහු කටයුතු කරනවා. ඉතින් ගෙවීන් ගායනය පැත්තට ගොඩක් කැමැතියි. මේක අපි ගොඩක් කල් ඉඳලා කතා කර කර හිටපු වැඩක්. මාවත් උනන්දු කරවලා කොහොමහරි “මිණිනේත්‍රනී” අපි කළා. ගෙවීන්ට ඕනෑ වුණේ, විවාහ වෙන දෙන්නකුගේ බැඳීම, මිත්‍රශීලිත්වයේ ශක්තිමත් බව මත ගොඩනැඟුණු බැඳීම් මත විය යුතුයි කියන පණිවිඩය සමාජයට දෙන්නයි. ඉතින් අපි හිතපු විදිහටම “මිණිනේත්‍රනී” සාර්ථක කරගන්න අපිට පුළුවන් වුණා.

පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment