මම ස්වභාවික ඡායාරූපකරණය Wedding Photography වලටත් හඳුන්වා දුන්නා… – ප්‍රවීණ වනජීවී හා ක්‍රීඩා ඡායාරූප ශිල්පී, රංගන ශිල්පී හා මෝටර් රථ ධාවක රොහාන් ෆොන්සේකා

68

ලොකු කුඩා හැම වන සතාම මට නම් කලාත්මකයි

මෙවර Wildlife – Eye විශේෂාංගය තුළින් අප හා එක්වන්නේ ක්ෂේත්‍ර කිහිපයකම එකවර දක්ෂතා පෙන්වූ ශ්‍රී ලංකාවේ ප්‍රකට, ප්‍රවීණ වනජීවී ඡායාරූප ශිල්පියෙකි. නම කියූ පමණින් හඳුනාගන්නට තරම් ක්ෂේත්‍රයේ නම රැන්දු ඔහු සැබැවින්ම වනජීවී ඡායාරූපකරණය පිළිබඳව හසල අත්දැකීමක් ඇත්තෙකි. එමෙන්ම ඉන් එහා ගොස් වනජීවී ඡායාරූපකරණය පිළිබඳව නවකයින්ට දැනුම ලබාදෙන ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වූ පුහුණු උපදේශකයෙක් ලෙසද හඳුන්වා දෙන්නට හැකිය. එනම්, මංගල, වනජීවී හා ක්‍රීඩා (මලල ක්‍රීඩා සහ මෝටර් රථ ධාවන තරඟ) යන අංශ හා වීඩියෝ මාධ්‍යයේ යන අංශ හතරක කැමරාකරණය පිළිබඳව කුසලතා පූර්ණය කරන ඔහු රොහාන් හියු ෆොන්සේකා ය. නමුත් රොහාන් ගැන කතා කරන්නට එම පූර්විකාව ද මදි යැයි මට සිතේ. මන්ද, රොහාන් එතෙකින් එහා ගොස් රංගන ශිල්පියෙක් ලෙස හා වේදිකා නාට්‍ය නිෂ්පාදකවරයෙක් ලෙසද පෙන්වා ඇති දක්ෂතා නිසාය. ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙක් ලෙස ඔහු ජාතික රූපවාහිනිය මගින් නිෂ්පාදනය කර ඉදිරිපත් කරන ලද ඇඟිලි සලකුණ වාර්තාමය නාට්‍යයේ ප්‍රධාන භූමිකාව රඟ දක්වන ලදී. එසේම, අන්තරා භව, පා ගමන, තැලුණු සිත් යනාදී වේදිකා නාට්‍ය ඔහුගේ නිෂ්පාදනයෙන් බිහිවූ ඒවා වේ.

රොහාන් ෆොන්සේකා වත්තල හැඳල ප්‍රදේශයේ උපන්නෙකි. ශ්‍රීලංගම යාන්ත්‍රික ඉංජිනේරුවරයකු වූ ස්ටීවන් ෆොන්සේකා සහ නොයෙලින් ෆොන්සේකාට දාව උපන් රොහාන් මූලික පාසල් අධ්‍යාපනය ලබන්නේ වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයෙනි. අනතුරුව සිය පියා සමග අනුරාධපුරයට යන රොහාන් ඇතුළු පවුල කලක් එහි දිවි ගෙවන බැවින් අපොස සාමාන්‍ය පෙළ හදාරන්නේ අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලයෙනි. අනතුරුව නැවත වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයට ඇතුළත්ව උසස් පෙළ දක්වා එහි ඉගෙන ගන්නේ විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක පදවිය ද දරමිනි. මේ කාලයේ ක්‍රීඩාව ප්‍රගුණ කරන රොහාන්, මලල ක්‍රීඩකයකු ලෙස දක්ෂතා පෙන්වූ අතර, ඉඳ හිට අනුරාධපුරයේ කැලේ, වැවේ පනින්නට ද ඇලුම් කළ අයෙකි.

මම ස්වභාවික ඡායාරූපකරණය Wedding Photography වලටත් හඳුන්වා දුන්නා… - ප්‍රවීණ වනජීවී හා ක්‍රීඩා ඡායාරූප ශිල්පී, රංගන ශිල්පී හා මෝටර් රථ ධාවක රොහාන් ෆොන්සේකා

අනතුරුව යළිත් කොළඹ පැමිණෙන ඔහු වසර දෙකක් පමණ පුද්ගලික අංශයේ රස්සාවක් කරන අතර, Browns Sports Club නියෝජනය කරමින් දිගටම ක්‍රීඩාව කරගෙන ගියේය.

මේ කාලයේ විනෝදාංශයක් ලෙස කැමරාකරණයේ ද නියැලෙමින් ඡායාරූපකරණයට ඔහු පෙළඹෙන්නේ තාත්තා ජර්මනියේ සංචාරයකට ගොස් එනවිට රැගෙන ආ EDIXA වර්ගයේ කැමරාව තමන්ගේ ද ප්‍රයෝජනයට ගනිමිනි. මේ නිසා ආරම්භයේදී ක්‍රීඩා ක්ෂේත්‍රයේ කැමරාකරුවකු සේ කැමරාවට අත තබන රොහාන්, ක්‍රීඩා ඉසව් හා ක්‍රීඩා සමාජයේ පින්තුර ගනිමින් නමක් දිනාගත්තේය.

මම ස්වභාවික ඡායාරූපකරණය Wedding Photography වලටත් හඳුන්වා දුන්නා… - ප්‍රවීණ වනජීවී හා ක්‍රීඩා ඡායාරූප ශිල්පී, රංගන ශිල්පී හා මෝටර් රථ ධාවක රොහාන් ෆොන්සේකා

“පස්සෙ මම තීන්දු කළා රස්සාවෙන් අස්වෙන්න. ඉන්පස්සෙ මම මෙතනම පොඩි ස්ටුඩියෝ එකක් පටන් ගත්තා. වෙන නමකින් පටන් ගත්තා, පස්සෙ මේකට Cat-Eye කියන නම දැම්මා. ඒ මගේම සිතිවිල්ලක් අනුව” රොහාන් මා සමග ඒ අතීතය කියන්නේ කෙරවළපිටිය හන්දියේ ඇති ඔහුගේ ස්ටුඩියෝවේ ප්‍රධාන අසුනේ හරි බරි ගැසී මා සමග පිළිසඳරට එක්වෙමිනි. එහි පසෙකින් ඇත්තේ ඔහුගේ ජීවිතය වැනි මෙතෙක් ඔහු විසින් භාවිත කර ඇති කැමරා ආම්පන්න සහිත කෞතුකාගාරය සහ තැන තැන ඇති සම්මාන, ඇගයීම් රාශියයි.

මම ස්වභාවික ඡායාරූපකරණය Wedding Photography වලටත් හඳුන්වා දුන්නා… - ප්‍රවීණ වනජීවී හා ක්‍රීඩා ඡායාරූප ශිල්පී, රංගන ශිල්පී හා මෝටර් රථ ධාවක රොහාන් ෆොන්සේකා

“1985 සිට මා වෘත්තීය ඡායාරූපකරණයට යොමු වුණා. මංගල ඡායාරූපකරණය තමයි කළේ. ළඟටම වැඩ ආවා. ගිහිල්ල කරන්නත් වැඩ ආවා. හිටපු ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ නෑදෑයින් හිටිය, ප්‍රභූන්ගේ වෙඩින් පවා කළා. තාමත් කරනවා. මේ වැඩෙන් තමයි ඇත්තටම මම නැගිට්ටෙ. අතට යමක් කමක් එනකොට ආයතනය පුළුල් කළා. සේවකයො වැඩි වුණා. ඔන්න ඔය කාලෙ තමයි වනජීවී ඡායාරූපකරණයට අත තිබ්බෙ. මොකද අපි අවුරුද්දක් තිස්සෙ වැඩ කරල, මහන්සි වෙලා, අවුරුද්ද අන්තිමට යාල, විල්පත්තුව, උඩවලව ඔය හැමතැනම වාර්ෂික චාරිකාවක් යනවා. 88-89 කාලේ පටන් ගත්ත චාරිකාවට ස්ටුඩියෝ එකේ කට්ටියම යනවා. මට එතකොට Valkswagen වර්ගයේ වෑන් එකක් තිබ්බා. ඉන්පසු අපි අරමුදලක් පටන්ගත්තා ටි්‍රප් යන්නම. ඒ යනකොට ඉතිං තියන කැමරා උපකරණවලින් හැමෝම පින්තූර ගත්තා. ඇවිත් අපි ඒවා දෙතුන් පාර බැලුවා. ඔහොම තමයි ක්‍රමයෙන් වැඩේට බැස්සේ. හැබැයි, එදත් අපි අලි, කොටි, වලස්සු, මුවෝ, ගෝන්නු කියල සත්තු වෙනකළේ නෑ. කටුස්සා, හූනා වුණත් අහුවුණු සතාව පින්තූර ගන්න ඕන කියල මම කට්ටියට කියලයි තිබුණේ. අදත් ඒ දේ මම කියනවා. සත්තු තෝරන්නේ නෑ. අනික සතෙක් දැක්ක ගමන් තමන් ළඟ තියන කැමරාවෙන්, දාල තියන ලෙන්ස් එකෙන් පළවෙනි පින්තුරෙ ගන්න ඕන. සෙටින්ග්ස් හදාගත්තට කමක් නැහැ. ලෙන්ස් මාරු කර කර ඉන්න බැහැ. සතා දිගටම ඉන්නව නම් තමයි අනිත් ලෙන්ස්, උපකරණ භාවිතයට පස්සෙ යන්න ඕන. හොඳම හා ස්වාභාවිකම පින්තූරය තියෙන්නෙ පළමුව දකින විදිහටයි. ඒක දෙපාරක් දකින්න නැහැ.” ඔහු ඡායාරූපකරණය පිළිබඳ කතාවක් මට කියයි.

මම ස්වභාවික ඡායාරූපකරණය Wedding Photography වලටත් හඳුන්වා දුන්නා… - ප්‍රවීණ වනජීවී හා ක්‍රීඩා ඡායාරූප ශිල්පී, රංගන ශිල්පී හා මෝටර් රථ ධාවක රොහාන් ෆොන්සේකා

“රාමු (Frame) හදන්න පුළුවන් පස්සෙ. ස්වභාවිකත්වය තමයි එක. මං මෙන්න මේ දේ මංගල ඡායාරූපකරණයටත් ඊට පස්සෙ යොදාගත්තා. මොකද මංගල්ලයක් කියන්නෙ අපේ දෙයක් නෙමේ. මඟුල අයිති මඟුල කරන අයට. අපිට කියන්න බෑ ඔයා ඔහොම ඉන්න, මෙහෙම ඉන්න, ඔහොම කරන්න කියල කියන්න. දෙමාපියන් ඉන්න හැටි, එන හැටි මම කියන්නෙ නෑ. මම ඒවා හදන්න යන්නෙත් නෑ. අර වනජීවී ඡායාරූපකරණය කරන ස්වභාවික ක්‍රමයටම වෙඩින් කරන්නත් මම පටන්ගත්තා. සමහර විට Natural Wadding Photography පටන්ගත්ත පළමු කෙනත් මම වෙන්න පුළුවන්. මේ සඳහා මගේ බිරිඳ කන්දඋඩ ආරච්චිගේ අරුන්දනී, දුව ඈන් හිමාෂි, පුතා ජූඩ් දර්ෂිත ඇතුළු කාර්ය මණ්ඩලය ඉතා හොඳ සහයක් ලබාදෙනවා. ගෙදර තුන්දෙනාම ඉතා හොඳ ඡායාරූප ශිල්පීන්. එයාල ඒවා ඉගෙන ගත්තා. මම නැති වෙලාවට ස්ටුඩියෝ එක රන් කරන්නෙ අම්මයි, පුතයි තමයි.” ඔහු සිනාසෙමින් කියයි.

මම ස්වභාවික ඡායාරූපකරණය Wedding Photography වලටත් හඳුන්වා දුන්නා… - ප්‍රවීණ වනජීවී හා ක්‍රීඩා ඡායාරූප ශිල්පී, රංගන ශිල්පී හා මෝටර් රථ ධාවක රොහාන් ෆොන්සේකා

“පත්තරවල යන සියලු පරිසර, වනජීවී, සොබා සෞන්දර්යය ආටිකල් එකතු කරන පුරුද්දක් කලක සිට මට තිබුණා. දිවයින පත්තරේ මම හැමදාම බලනවා. ඔබ ලියන ආර්ටිකල් ඒවත් මම එකතු කළා. කොටින්ම මගේ ස්ටුඩියෝ එක ළඟ මම පත්තර ගන්න පත්තර කඩයක් තියනවා. පත්තරේක මොකක් හරි සතෙක්ගෙ පින්තූරයක් තියනවා දැක්කොත් කඩේ මුදලාලි මට පණිවිඩයක් එවනවා ඔන්න මහත්තයා ආස කරන ලිපියක් අද පත්තරේ තියනවා කියල. ඒ තරමට ඔහුත් දන්නවා මම පරිසරයට, වන සතුන්ට කැමතියි කියල. ඒ ආටිකල් මම කපල ෆයිල් කළා. කියෙව්වා. ඉගෙන ගත්තා. අලුත් දැනුම ගත්තා. අදටත් ඒක කරනවා. ඒ දැනුම මම වනජීවී ඡායාරූපකරණයේදී, ආධුනිකයින්ට උගැන්වීමේදීත් භාවිත කරනවා. එහෙම තමයි මේ ගමන ආවෙ. අදටත් හැම මාසෙකම මම කණ්ඩායම් එක්ක ක්ෂේත්‍ර චාරිකාවක් යනවා.”

මම ස්වභාවික ඡායාරූපකරණය Wedding Photography වලටත් හඳුන්වා දුන්නා… - ප්‍රවීණ වනජීවී හා ක්‍රීඩා ඡායාරූප ශිල්පී, රංගන ශිල්පී හා මෝටර් රථ ධාවක රොහාන් ෆොන්සේකා

රොහාන් කියයි.
පිළිසඳර –
ජගත් කණහැරආරච්චි
ඡායාරූප –
ජූඩ් දර්ෂිත ෆොන්සේකා

advertistmentadvertistment
advertistmentadvertistment