සිංහල සාහිත්‍යයට, ඉතිහාසයට සහ විචාර කලාවට ඉමහත් සේවයක් සිදු කළ මහාචාර්ය ඒ. වී. සුරවීරයන් අප අතරින් වියෝ වී ලබන දාහතර වන දිනට පුරා වසර දහයක් සපිරේ.
මෙම ලිපිය ඒ නිමිත්තෙනි.
ලොව බොහෝ වෘත්තීන් නිශ්චිත වයසකින් පසු විශ්‍රාම ගතහැකි වෘත්තීන් ය. එහෙත්, ලේඛන කාර්යය එසේ නොවේ. තම ජීවිත කාලය පුරා ම අත්දැකීම් එකතු කරගන්නා ලේඛකයෝ ඔවුනගේ ජීවිතය අවසන් වන තෙක් ම අනවරතව ලේඛන කාර්යයේ නිරත වෙති. ඉංග්‍රීසි ජාතික නවකතාකරුවකු වන සී. එස්. ෆෝස්ටර් ඔහුගේ මරණය සිදුවන විට ලියමින් සිටි Hornblower During the Crisis නම් නවකතාවේ ඔහුට අවසන් කරන්නට හැකියාව ලැබී තිබෙන්නේ පිටු එකසිය පනස් අටක ප්‍රමාණයක් පමණි. එසේ ම, අඩු ම වයසින් අභිරහස් ලෙස මියගිය ඇමරිකානු ලේඛක එඩ්ගා ඇලන් පෝ ට ඔහු අවසන් වරට ලියමින් සිටි Politician නම් නාට්‍යය ඔහුගේ හදිසි මරණය නිසා අවසන් කරගන්නට නොහැකි වී තිබේ.
එවන් විදෙස් ලේඛකයන් බොහෝදෙනෙකු මෙන් ම, අප රටේ විසූ කෘතහස්ත ලේඛකයකු, සාහිත්‍ය විචාරකයකු වූ මහාචාර්ය ඒ. වී. සුරවීරයන් ද තම ජීවිතයේ අවසන් මොහොත දක්වා ම නිර්මාණකරණයේ නිරතව සිටි විද්වතෙකි. ඔහු මියයන්නට පෙර දින එනම්, 2014 ජනවාරි 13 වන දින රාත්‍රී 9.30 පමණ වන තෙක් ම, ඔහු විසින් කලින් ලියන ලද ලිපියක් ඉංග්‍රීසියට පරිවර්තනය කරමින් සිටි බව පැවසේ. මේ බව ඔහුගේ බෑණනුවන් වන වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි තමා සමඟ පැවසූ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සාලිය කුලරත්නයන් මෑතක පළ කළ පුවත්පත් ලිපියක සඳහන් කර තිබේ. තමා ලියමින් සිටි ‘බෝල් පොයින්ට්’ පෑන ලේඛනය මත තබා නින්දට ගිය මහාචාර්ය ඒ. වී. සුරවීරයන් නැවත අවදි නොවූ බවත්, දාහතර වන දින අලුයම ඇති වූ හෘදයාබාධයකින් ඔහු අභාවයට පත්වූ බවත් එම ලිපියේ සඳහන් වේ.
ගුරු වෘත්තියෙන් තම වෘත්තීය ජීවිතය ආරම්භ කරන ඔහු 1954 සිට 1960 පමණ දක්වා කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයේත්, පසුව කොළඹ ආනන්ද විද්‍යාලයේත් ඉගැන්වීම් කටයුතුවල නිරත වූවේ ය. 1960 දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ (වර්තමාන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) සිංහල භාෂාව පිළිබඳ සහකාර කථිකාචාර්යවරයකු බවට පත්වන ඔහු 1968 දී ශිෂ්‍යත්වයක් ලැබ ඇමරිකාවේ ‘ලෝවා‘ විශ්වවිද්‍යාලයට ඇතුළත් වී ය. 1977-78 කාලයේ දී එක්සත් රාජධානියේ ‘කෙන්ට්’ විශ්වවිද්‍යාලයට අනුයුක්තව පර්යේෂණ කටයුතුවල නිරතව සිටි ඔහුට 1992 දී ලන්ඩනයේ ‘සොආස්’ විශ්වවිද්‍යාලයට අනුබද්ධ පෙරදිග හා අප්‍රිකානු අධ්‍යයන පාසලේ බාහිර මහාචාර්යවරයෙකු ලෙස සේවයට එක්වන්නට අවස්ථාව ලැබුණු අතර, එහි දී ඔහුට ලංකාවේ පුස්කොළපත් සහ ආදි කාලීන ලේඛන හදාරන්නට අවස්ථාව ලැබිණි. 1994 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඔහුට සම්මානිත මහාචාර්ය පදවිය ද, 1997 දී සාහිත්‍ය පිළිබඳ ආචාර්ය පදවිය ද ප්‍රදානය කළේ ය.
විශ්වවිද්‍යාල ජීවිතයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු 1994 මහ මැතිවරණයට ඉදිරිපත් වූ මහාචාර්ය ඒ. වී. සුරවීරයන් පාර්ලිමේන්තුවට තේරීපත්ව සංස්කෘතික හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ද, 2000 දී මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද, 2003 දී ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළ අතර, 2014 ජනවාරි 14 දින මියයන මොහොත වනවිට ද ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාව සිටියේ ය.
රාජ්‍ය සාහිත්‍ය සම්මාන හයකට වඩා දිනාගෙන ඇති මහාචාර්ය ඒ. වී. සුරවීරයන්ට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ උන්නතියට සිදුකළ දායකත්වයට ගෞරවයක් ලෙස 1998 දී රජය විසින් ‘කලාකීර්ති’ යන ගෞරව නාමයත්, 2008 දී ‘සාහිත්‍ය රත්න’ ගෞරව නාමයත් පිරිනමනු ලැබී ය.
‘හෙයියන්මාරුව’ (1971), ‘නොයන් පුතුනි ගම හැර දා’ (1975), ‘අත්ත බිඳෙයි පය බුරුලෙන්’ (1977) ‘සදා මෙලෙස පුර දෙරණේ’ (1980), ‘අඳුරු දුරලන රැස්’ (1983) ඔහුගේ නවකතා අස්වැන්න ය. කෙටිකතාව යනු ‘අර්ථවත් ලෙස චරිතාංගයක් හෝ චරිතයක් මතු කරන ප්‍රබල අවස්ථාවක්’ බව නිර්වචනය කළ ඔහුගේ කෙටිකතා සංග්‍රහ අතර ‘කාටත් මා එපා වෙලා’ (1969) ‘පෑදි දියට බොරදිය’ (1970) ‘ගොදුරු ලොබ’ (1973) සහ ‘බව තිමිර’ (1984) යන කෙටිකතා සංග්‍රහ වෙසෙස් පාඨක විචාරක අවධානය දිනාගන්නට සමත් වී ය.
වැඩිහිටියන් වෙනුවෙන් පමණක් නොව, ළමුන් වෙනුවෙන් ද සාහිත්‍යකරණයේ නිරතව සිටි ඔහු ‘වේලාව බලමු’ (1982) ‘උජාරු කුමාරි’ (1985) ‘කලා මැදිරි එලි’ (1985) සහ ‘සුරතල් සිනා සීලා’ (1993) යනුවෙන් ළමා සාහිත්‍ය කෘති පෙළක් ද රචනා කර ඇත.
සාහිත්‍යධරයකු ලෙස සිංහල සාහිත්‍යයට ඔහු කළ මහාර්ඝ සේවයට අමතරව කෘතහස්ත සාහිත්‍ය විචාරකයකු ලෙස මෙරට විචාර කලාව වෙනුවෙන් ඔහු කළ සේවය ද සුළුපටු නොවේ. මහාචාර්ය ඒ. වී. සුරවීරයන් විසින් සම්පාදනය කරනු ලැබ ඇති එවන් සාහිත්‍ය අධ්‍යයන සංග්‍රහ අතර ‘විචාර විලාසය’ (1957) ‘සිංහල සාහිත්‍ය සම්ප්‍රදාය’ (1966) ‘නවකතා නිර්මාණ හා අවබෝධය’ (1973) ‘සමාජ සාහිත්‍යය අධ්‍යයනය’ (1982) ‘සාහිත්‍ය විචාර ප්‍රදීපිකා’ (1991) ‘ඇරිස්ටෝටල් කාව්‍ය ශාස්ත්‍රය’ (1984) ‘ඇරිස්ටෝටල් සහ භරත’ ‘නවකතා නිර්මාණය සහ අවබෝධය’ සහ ‘සාහිත්‍ය විචාර සංහිතා’ (1995) වැනි ග්‍රන්ථ කැපී පෙනේ.
සංස්කෘතික අධ්‍යයන සම්බන්ධයෙන් ඔහු පළකර ඇති ‘අනුරාධපුර සංස්කෘතිය’ (1959) ‘අනුරාධපුර සමාජය’ (1964) ‘සිංහල කතිකාවත් හා භික්ෂු සමාජය’ (1971) ‘කතිකාවත් විමර්ශන’ සහ ‘ලේඛන සමීක්ෂා’ (2011) වැනි පර්යේෂණ ග්‍රන්ථ අපේ ප්‍රෞඪ ඉතිහාසයේ ගමන් මග හෙළිකරයි.
එමෙන් ම, සිය අධ්‍යයන කටයුතු සඳහා මහෝපකාරී වූ සිංහල සම්භාව්‍ය ග්‍රන්ථ පාඨවලට ඔහු විසින් සිදුකරන ලද විචාර සංස්කරණ වන ‘අලකේශ්වර යුද්ධය’ (1965) ‘පූජාවලිය’ (1961, 1998) ‘රාජාවලිය’ (1976) සහ ‘තිසර සංදේශය’ (1991) වැනි කෘති පසුකාලීන විද්‍යාර්ථීන්ගේ විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු සඳහා ද බෙහෙවින් මහෝපකාරී වූ බව වෙසෙසින් සඳහන් කළ යුතු ය.
The Inescapable Swamp (Selected Stories)-1998, Sri Mah Bodhi (The Sacred Bodhi Tree At Anurdhapura)-2003, Tread softly-1990, The man in the king වැනි ස්වතන්ත්‍ර ඉංග්‍රීසි කෘති මෙන් ම, ඉංග්‍රීසි පරිවර්තන කෘති රැසක් ද ඔහු අපට දායාද කර තිබේ. ‘බාලේ පටන් කාලේ ගෙවුණා මෙලෙසේ’ (1998) යනු ඔහුගේ ස්වයං චරිතාපදානය යි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් අදටත් පවත්වාගෙන යන අප රටට බොහෝ ලේඛකයන්, සාහිත්‍යධරයන් ඇතුළු කලාකරුවන් රැසක් බිහිකළ ලේඛකත්ව හා සන්නිවේදන පාඨමාලාවේ නිර්මාතෘවරයා මහාචාර්ය ඒ. වී. සුරවීරයන් ය. සිංහල අධ්‍යයනාංශවලින් වෙනස්ව යමින් සිංහල අංශයට ජනසන්නිවේදන විෂය සම්බන්ධ කර සිංහල අධ්‍යයනාංශයට ‘සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශය’ යනුවෙන් නව මුහුණුවරක් ගෙනදීම සිදුකරන ලද්දේ ද ඔහු විසිනි.
‘කලාව වූකලි මානව ප්‍රගතිකාරක දෙකෙන් එකකි. වචන මගින් මිනිසා අදහස් හුවමාරු කරගනී. කලා මාධ්‍යයන්ගෙන් ඔහු වේදිතයන් හුවමාරු කරගනී. වර්තමානයේ පමණක් නොව, අතීතයේ සහ අනාගතයේ ද මිනිසා සම්බන්ධයෙන් මේ කාරණය සත්‍යයකි’ (ඒ. වී. සුරවීර, කලාව යනු කුමක්ද?-177 පිටුව)
ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛක ලියෝ තෝල්ස්තෝයි විසින් ‘කලාව’ යන්න සවිස්තරව හා ගැඹුරින් පහදා දෙනු පිණිස රචනා කරන ලද What Is the Art? නම් කෘතිය මහාචාර්ය ඒ. වී. සුරවීරයන් විසින් ‘කලාව යනු කුමක් ද?’ යනුවෙන් සිංහලයට නගනු ලැබී ය. එහි එන ඉහත සඳහන් ඡේදයෙන් මෙම සටහන අවසන් කරන්නේ ඒ ශ්‍රේෂ්ඨ සාහිත්‍යධරයන් දෙදෙනාට ම ගෞරවයක් වනු පිණිස ය.
● අනුර බී. සෙනෙවිරත්න
සංස්කරණය – රුවන් ජයවර්ධන