මරණය ළඟටම ගොස් පැමිණි රුසියානු මහා ලේඛකයා

209

කොළඹ රුසියානු කේන්ද්‍රයට අනුබද්ධ ‘රුසියානු සාහිත්‍ය කවය’ සංවිධානය කරන ‘2020-2021 රුසියානු සාහිත්‍ය උළෙල’ 2021 ඔක්තෝබර් 27 වන දින කොළඹ රුසියානු කේන්ද්‍රයේ ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වීය. මෙම වසරට යෙදී ඇති ලෝ සුපතළ සාහිත්‍යධර ෆියෝදර් දොස්තයෙව්ස්කිගේ 200 වන ජන්ම සංවත්සරය නිමිත්තෙන් මෙවර සාහිත්‍ය උළෙල දොස්තයෙව්ස්කිගේ නිර්මාණ කලාව ඇගැයීම සඳහා වෙන්කර තිබේ. දොස්තයෙව්ස්කිගේ ජීවිතය සහ නිර්මාණ පිළිබඳව වන මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

‘අපරාධය හා දඬුවම’, ‘කරමසොව් සහෝදරයෝ’ වැනි ලෝක ප‍්‍රකට නවකතා සහ තවත් අග‍්‍රගණ්‍ය සාහිත්‍ය කෘති රැසක කතුවරයා වන රුසියානු ලේඛක ප්යෝදර් දොස්තයෙව්ස්කි 1821 නොවැම්බර් 11 වැනි දින මොස්කව් හි උපත ලැබී ය. ඔහු, 1881 පෙබරවාරි 09 වැනි දින ශාන්ත පීටර්ස්බර්ග් හි දී මියයන විට වයස අවුරුදු 60කට ආසන්නව සිටියේ ය. අනභිභවනීය නිර්මාණශීලීත්වය මගින් මිනිස් හදවතේ අඳුරු අහුමුළු මනෝවිද්‍යාත්මකව විනිවිද දකිමින් ප‍්‍රබන්ධ කලාවට ඉමහත් බලපෑමක් ඇති කළ රුසියානු නවකතාකරුවා සහ කෙටිකතා රචකයා ඔහු ය.

දොස්තයෙව්ස්කි වඩාත් ප‍්‍රසිද්ධියට පත්වූයේ, ඔහුගේ Notes from the Underground (භූගත සටහන්) නවකතාවෙන් මෙන් ම, Crime and the Punishment (අපරාධය හා දඬුවම), The Idiot (තක්කඩියා), The Possessed (සන්තකය) සහ The Brothers Karamazov (කරමසොව් සහෝදරයෝ) යන නවකතාවලිනි. මෙම සෑම කෘතියක් ම ඒවායේ ඇති මනෝවිද්‍යාත්මක ගැඹුර සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියක් උසුලයි.

ඒ අනුව, දොස්තයෙව්ස්කි සැබැවින් ම සැලකෙන්නේ, සාහිත්‍ය ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම මනෝ විද්‍යාඥයා ලෙසය. උමතුව, මිනීමැරීම සහ සියදිවි නසාගැනීමට තුඩු දෙන මානසික ව්‍යාධි තත්ත්වයන් විශ්ලේෂණය කිරීම මෙන් ම, නින්දාව, ස්වයං විනාශය, කුරිරු ආධිපත්‍ය සහ මාරාන්තික කෝපය වැනි හැඟීම් ගවේෂණය කිරීම සම්බන්ධයෙන් ද ඔහු විශේෂඥයෙකු වී ය. ඔහුගේ මෙම ප‍්‍රධාන කෘති සියල්ල දර්ශනවාදයේ හා දේශපාලනයේ කාලානුරූපී හා කාලෝචිත ගැටලූවලට ප‍්‍රතිකාර කරන විශිෂ්ට ‘චෛතසික නවකතා’ ලෙස ද ප‍්‍රකට ය.

දොස්තයෙව්ස්කිගේ ජීවිතයේ වැදගත් එමෙන් ම කටුක සිදුවීම් වන සමාජ සමච්චලයට ලක්වීම, සයිබීරියාවේ ගතකළ සිපිරි ජීවිතය සහ ඔහු මුහුණදුන් අපස්මාර රෝගය වැනි දෑ ඔහුගේ නිර්මාණ කාර්යයන්ට යොදාගැනීමෙන් ඔහු විශිෂ්ට කීර්තියක් අත්කර ගත්තේ ය. තම නිර්මාණ සඳහා හොඳම චරිත නිර්මාණය කරගැනීමේ දී තම ජීවිතයේ අතිශය නාටකාකාර සිදුවීම් සිතුවම් කිරීම පිණිස ඔහු නිතර ම උපයෝගී කරගත්තේ ඔහුගේ ජීවන පුරාවෘත්තය යි.

දහනව වන ශතවර්ෂයේ මුල් භාගයේ සිටි බොහෝ රුසියානු ලේඛකයන් මෙන් දොස්තයෙව්ස්කි ඉඩම් හිමි වංශවතෙකු නොවී ය. තමාගේ සමාජ පසුබිම සහ ලියෝ ටෝල්ස්ටෝයිගේ හෝ අයිවන් ටර්ගිනෙව්ගේ සමාජ පසුබිම සහ ඒවායේ වෙනස තම කෘතිවලට බලපාන ආකාරය ඔහු බොහෝ විට අවධාරණය කළේ ය.

මුල් කාලයේ දී දොස්තයෙව්ස්කි රොමැන්ටික හා ගොතික් ප‍්‍රබන්ධ කෘති වෙත ඇදී ගියේ ය. විශේෂයෙන් ම, ශ‍්‍රීමත් වෝල්ටර් ස්කොට්, ඈන් රැඞ්ක්ලිෆ්, නිකොලායි කරම්සින්, ෆ්රෙඞ්රික් ෂිලර් සහ ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ නිර්මාණ ඒ අතර වී ය. දොස්තයෙව්ස්කි විසින් ප‍්‍රකාශයට පත් කරන ලද පළමු කෘතිය පරිවර්තන කෘතියකි. ඒ, නිදහස් හා චිත්තවේගීය තීව‍්‍ර පරිවර්තනයක් වූ ප‍්‍රංශ ජාතික හොනොරේ ඩි. බල්සාක්ගේ ‘ඉයුජිනි ග‍්‍රැන්ඩෙට්‘ නවකතාව ය. ඉන් වැඩිකලක් යන්නට ප‍්‍රථම ඔහුගේ පළමු ස්වතන්ත‍්‍ර නවකතාව Poor Folk (දුප්පත් ජන) නමින් 1846 දී ප‍්‍රකාශයට පත්වී ය. එය ප‍්‍රකාශයට පත් විගස ම එවක සිටි බලගතුම සාහිත්‍ය විචාරකයා වූ විසරියන් බෙලින්ස්කි විසින් ‘රුසියානු සාහිත්‍යයේ විශිෂ්ට නව දක්ෂතාවක්’ ලෙස දොස්තයෙව්ස්කිගේ කුළුඳුල් නිර්මාණය වර්ණනා කරනු ලැබී ය. ඊළඟ වසර කිහිපය තුළ දොස්තයෙව්ස්කි සිහින දකින්නෙකුගේ මානසිකත්වය නිරූපණය කරන White Nights (සුදු රාත‍්‍රීන්) සහ භින්නෝන්මාදය පිළිබඳ අධ්‍යයනයක් වන
Double (ද්විත්ව) ඇතුළු කතා ගණනාවක් ප‍්‍රකාශයට පත් කළේ ය. මුල දී සාහිත්‍ය ක්ෂෙත‍්‍රයේ සිංහයෙකු ලෙස දොස්තයෙව්ස්කි ඔසොවා තැබූ බෙලින්ස්කිගේ කවයේ සාමාජිකයන් අතරින් ම පසුකලෙක ඔහුට එරෙහි විවිධ සතුරුකම් එල්ලවන්නට වී ය. නෙක්රාසොව් සහ ටර්ගිනෙව් ඔහු අළලා උපහාසාත්මක කාව්‍යයක් පවා මුද්‍රණය කර බෙදා හැරියේ ය. මෙසේ තමා සමාජ සමච්චලයට ලක්වීම නිසා පසුකලෙක ස්නායු ආබාධයකට ගොදුරු වන දොස්තයෙව්ස්කි බොහෝවිට මානසික අවපීඩනයෙන් ද පෙළෙන්නට වී ය.

1847 දී දොස්තයෙව්ස්කි මනෝරාජික සමාජවාදය ගැන සාකච්ඡුා කළ බුද්ධිමතුන්ගේ කණ්ඩායමක් වන ‘පෙට‍්‍රෂෙව්ස්කි’ කවයට සහභාගි වීමට පටන් ගත්තේ ය. අවසානයේ දී විප්ලවය සහ නීති විරෝධී ප‍්‍රචාර හා සම්බන්ධ රහසිගත කණ්ඩායමකට එකතු වූ ඔහු, 1849 අපේ‍්‍රල් 23 වන දින ‘පෙට‍්‍රෂෙව්ස්කි’ කවයේ සෙසු සාමාජිකයන් ද සමඟ අත්අඩංගුවට පත් වී ය.

මාස අටක සිර දඬුවම් විඳීමෙන් අනතුරුව, දෙසැම්බර් 22 වන දින කිසිදු අනතුරු හැඟවීමකින් තොරව ‘සෙමියොනොව්ස්කි’ චතුරශ‍්‍රයට දොස්තයෙව්ස්කි ඇතුළු සිරකරුවන් ගෙන යන ලද අතර, එහි දී සිරකරුවන්ට වෙඩි තබා මරා දමන්නට තීරණය කර තිබිණි. පළමුව සිරකරුවන් තිදෙනකුට වෙඩි තැබීමට නියම කරන ලද අතර, අවසන් මොහොතේ දී ලද සාර්ගේ නියෝගයක් හේතුවෙන් දොස්තයෙව්ස්කි ඇතුළු සිරකරුවෝ මරණ දඬුවමින් ගැලවුණ හ. මෙම අනපේක්ෂිත සිදුවීමෙන් පසුව එක් සිරකරුවෙක් එම ස්ථානයේ දී ස්ථිර වශයෙන්ම උමතු තත්ත්වයට පත් වූ අතර, එහි සිටි තවත් සිරකරුවෙක් ‘අපරාධය හා දඬුවම’ ලිවීම සඳහා මරණ දඬුවමින් නිදහස ලැබී ය. ඒ දොස්තයෙව්ස්කි ය. මරණ දඬුවම වෙනුවට දොස්තයෙව්ස්කි හට සයිබීරියානු බන්ධනාගාර කම්කරු කඳවුරක වසර 04 ක සිර දඬුවමක් නියම කෙරිණි.

වසර 10 කට පසු නැවත රුසියාවට පැමිණි ඔහු 1861-62 කාලය තුළ එම සයිබීරියානු සිර කඳවුරේ අත්දැකීම් පදනම් කරගත් නවකතාවක් ලිවී ය, ඒ, The House of the Dead (මළවුන්ගේ නිවස) නමැති නවකතාව යි. බන්ධනාගාර කඳවුරු සාහිත්‍යයේ රුසියානු සම්ප‍්‍රදාය ආරම්භ කළ එම නවකතාව තුළින් දොස්තයෙව්ස්කි සැබවින් ම තමා අත්දුටු භීෂණය විස්තර කරයි.

ස්වකීය අභිමතාර්ථයන් වෙනුවෙන් කුරිරුකම් පෑ මුරකරුවන්ගේ කෲරත්වය, ළමයින් ඝාතනය කිරීම ප‍්‍රිය කළ අපරාධකරුවන්ගේ නපුර සම්බන්ධ කතුවරයාගේ ම අත්දැකීම් ඇතුළත් මෙම නවකතාව පාඨක ප‍්‍රජාවට මෙන් ම, ඔහුගේ සමකාලීන ලේඛකයන්ට ද අතිමහත් බලපෑමක් සිදුකළේ ය. ටෝල්ස්ටෝයි පවා එය දොස්තයෙව්ස්කිගේ විශිෂ්ටතම කෘතිය ලෙස සැලකී ය. අන් සියල්ලටත් වඩා, ‘මළවුන්ගේ නිවස’ අපට පැහැදිලි කරන්නේ, පුද්ගල නිදහසේ අවශ්‍යතාව විසින් අප මනුෂ්‍යයන් බවට පත්කරනු ලබන බව ය.

සිරගෙදර සිටිය දී දොස්තයෙව්ස්කි අපස්මාර රෝගයට ගොදුරු වී ය. ඔහුගේ මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ වාර්තාවලට වඩා වැඩියෙන් අපස්මාර රෝගාබාධ පිළිබඳ විස්තර ඔහුගේ The Idiot (තක්කඩියා) කෘතියේ සඳහන් වේ. රුසියාවට ආපසු පැමිණි පසු දොස්තයෙව්ස්කි නොකඩවා සාහිත්‍ය කටයුතුවල නිරත වී ය. ඔහුගේ සහෝදර මිහායිල් සමඟ ඔහු ප‍්‍රකට සඟරා දෙකක් සංස්කරණය කළේ ය. පළමුව 1861-63 කාලයේ පළකළ Time (කාලය) සඟරාව එහි වූ විරෝධාකල්ප හේතුවෙන් රජය විසින් වසා දමන ලදි. පසුව 1864-65 වකවානුවේ පළකළ Epoch (යුගය) සඟරාව මිහායිල්ගේ මරණයෙන් පසු කඩා වැටිණි.

1860 ගණන්වල වැඩි කාලයක් දොස්තයෙව්ස්කි ගත කළේ බටහිර යුරෝපයේ ය. බොහෝ දෙනා බොහෝ සෙයින් අගය කළ එහි සංස්කෘතියත්, භෞතිකවාදය පිළිකුල් කළ එම සමාජයත් ඔහුට දැක ගැනීමට අවශ්‍ය වී ය. එසේ ම, ඔහුට වඩා කනිෂ්ඨ කතුවරියක වූ අපොලිනාරියා සුස්ලෝවා සමඟ නැවත සබඳතාවක් ආරම්භ කිරීමට ද ඔහු බලාපොරොත්තුවෙන් සිටියේ ය. තව ද, රුසියාවේ සිටිය දී සූදුවට දැඩි ලෙස ආකර්ෂණය වී සිටි ඔහු එහි සිටින ඔහුගේ ණය හිමියන්ගෙන් බේරී සිටීමට ද මෙය අවස්ථාවක් කර ගත්තේ ය.

වරක් එක්තරා ප‍්‍රකාශකයෙක් ඉදිරි නියමිත දිනක දී නවකතාවක් ලියාදෙන කොන්දේසිය මත ඔහුට අත්තිකාරම් මුදලක් ලබා දුන්නේ ය. නියමිත දිනට මාසයකටත් අඩු කාලයක් ඉතිරිව තිබිය දී, ලඝු ලේඛිකාවක කුලියට ගත් දොස්තයෙව්ස්කි ඔහුගේ The Gambler (සූදු අන්තුවා) නවකතාව නිම කළේ ය. ඒ, 1867 දී ය. එම නවකතාව පදනම් වූයේ, සුස්ලෝවා සමඟ ඇති සබඳතා සහ සූදු ක‍්‍රීඩාවට තදින් ඇබ්බැහි වීමේ ඇති මනෝ විද්‍යාත්මක තත්ත්වයන් පදනම් කරගෙන ය.

ඉන් මාස කිහිපයකට පසු ඔහු ඇනා ග‍්‍රිගෝරෙව්නා ස්නිට්කිනා ලඝු ලේඛිකාව සමඟ විවාහ වූවේ ය. අවසානයේ ඇය ඔහුගේ ජීවිතය හා මූල්‍ය කටයුතු පිළිවෙළට තබන්නට සමත් වූ අතර, ඔහුගේ නිර්මාණ කටයුතු සහ අලූත් කුටුම්භය ස්ථාවර තත්ත්වයකට පත් කරන්නට ද සමත් වූවා ය. ඔවුන්ට දරුවන් හතර දෙනෙකු ලැබුණු අතර, වැඩිහිටියන් බවට පත්වන්නට ඉතිරිවූයේ, ඔවුන්ගෙන් දෙදෙනකු පමණි.

The Gambler (සූදු අන්තුවා) රචනා කළ කාලයට වසරකට පමණ පෙර එනම්, 1866 දී ඔහු ලියා ඇති Crime and the Punishment (අපරාධය හා දඬුවම) නවකතාව තුළ තරුණ බුද්ධිමතෙකු වන රස්කොල්නිකොව්ගේ චරිතය දොස්තයෙව්ස්කි විස්තර කරන්නේ සූදුවට දැඩි කැමැත්තක් දැක්වූ පුද්ගලයෙකු ලෙස ය. රන්භාණ්ඩ උකස් ගන්නා ධනවත් වයසක කාන්තාවක් ඝාතනය කිරීමෙන් ඔහු තම සියලූ ගැටලූ එකවර විසඳා ගැනීමට තීරණය කරයි.

දොස්තයෙව්ස්කිගේ මීළඟ ප‍්‍රධාන නවකතාව වන්නේ 1868 -69 කාලයේ ප‍්‍රකාශයට පත් The Idiot (තක්කඩියා) නවකතාව යි. පරිපූර්ණ යහපත් මිනිසෙකු මනෝවිද්‍යාත්මකව විස්තර කිරීමට ඔහු දැරූ උත්සාහය එමගින් නිරූපණය වෙයි. දොස්තයෙව්ස්කිගේ ඊළඟ නවකතාව 1872 දී පළවන The Possessed (සන්තකය) නවකතාව යි. එම නවකතාව නිසා ඔහු රැුඩිකල්වාදීන්ගේ දෝෂදර්ශනයට ලක් වී ය. එසේ වුව ද, දොස්තයෙව්ස්කි ලියා ඇති වඩාත් ම දීප්තිමත් දේශපාලන නවකතාව ලෙස පිළිගැනෙන්නේ මෙම නවකතාව ය.

දොස්තයෙව්ස්කි 1875 දී The Raw Youth (නව යෞවනයා) නවකතාව ප‍්‍රකාශයට පත්කරයි. යෞවනයෙකු හා ඔහුගේ පියා අතර ඇති සබඳතා විස්තර කරන මෙම නවකතාව ඔහුගේ අනෙක් නවකතාවලට සාපේක්ෂව අසාර්ථක හා විසිරුණු නවකතාවක් ලෙස පිළිගැනේ.

ඔහුගේ හොඳම කෙටිකතා අතර An Honest Thief (අවංක සොරෙක්), A Novel in Nine Letters (ලිපි නවයක නවකතාවක්), The Meek One (නිහතමානී තැනැත්තා), The Dream of a Ridiculous Man (හාස්‍යජනක මිනිසෙකුගේ සිහිනය), The Heavenly Christmas Tree (ස්වර්ගයේ නත්තල් ගස), The Peasant Marey (ගොවි මාරී), An Unpleasant Predicament (අප‍්‍රසන්න අවාසනාවක්), Another Man’s Wife (තවත් මිනිසෙකුගේ බිරිඳ), The Crocodile (කිඹුලා) යන කෙටිකතා ප‍්‍රධාන වෙයි. දොස්තයෙව්ස්කිගේ අවසාන එමෙන්ම, බොහෝවිට ශ්‍රේෂ්ඨතම නවකතාව ලෙස ගැනෙන්නේ 1879-80 ගණන්වල ලියැවුණ ‘කරමසොව් සහෝදරයෝ’ නවකතාව යි. ඔහු එහි දී ඔහුගේ ප‍්‍රියතම දේවධර්මීය හා දාර්ශනික තේමාවන් වන නපුරේ ආරම්භය, නිදහසේ ස්වභාවය සහ ඇදහිල්ල සඳහා වූ තණ්හාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි. මෙම නවකතාව 20 වන සියවසේ චින්තනයට හා සාහිත්‍යයට ඉමහත් බලපෑමක් ඇති කළ කෘතියක් බව විචාරකයන්ගේ මතය යි. 1880 දී ඇලෙක්සැන්ඩර් පුෂ්කින් කවියා ගැන හරවත් කතාවක් කළ දොස්තයෙව්ස්කි, th The Citizen (පුරවැසියා) සඟරාවේ 1880 අගෝස්තු කලාපයේ ‘ලේඛකයෙකුගේ දිනපොත’ තීරු ලිපිය යටතේ පළ කළේ ය. ඔහු මාසිකව පළ කළ එම තීරුලිපිය ‘කරමසොව්’ අවසන් කිරීමෙන් පසු නැවත ආරම්භ කළ නමුත්, 1881 පෙබරවාරි 09 වැනි දින ශාන්ත පීටර්ස්බර්ග්හි දී රක්තපාත රෝගයෙන් මියයන්නට පෙර ඔහුට ප‍්‍රකාශයට පත්කරන්නට හැකිවූයේ, 1881 ජනවාරි කලාපය පමණි. නූතන සාහිත්‍ය ප‍්‍රභේද දෙකක් වන බන්ධනාගාර කඳවුරු නවකතාව සහ අනාගත දැක්මක් ඉදිරිපත් කරන ‘ඩිස්ටෝපියානු‘ නවකතාව ආරම්භ වන්නේ ඔහුගේ ලේඛනවලින් බව පැවසේ.

ඔහුගේ අදහස් හා විධිමත් නවෝත්පාදනයන් ෆ්රෙඞ්රික් නීට්ෂේ, ඇන්ඞ්රේ ගයිඞ්, ඇල්බෙයා කැමූස්, ජීන්-පෝල් සාත්රේ, ඇන්ඞ්රේ මැල්රාක්ස් සහ මිහායිල් බල්ගාකොව් වැනි ලේඛකයන් කෙරෙහි ප‍්‍රබල බලපෑමක් ඇති කර තිබේ. ඒ සියල්ලටත් වඩා වැදගත් වන්නේ, ඇදහිල්ල, දුක් වේදනා සහ ජීවිතයේ අරුත පිළිබඳ අවසාන ප‍්‍රශ්න සමඟ ඇති සැක සහිත බිම් පෙදෙස් ඒකාබද්ධ කරමින් ඔහුගේ කෘති පාඨකයන්ගේ සිත් ඇද බැඳ තබා ගැනීමට සමත්ව තිබීම යි.

අනුර බී. සෙනෙවිරත්න

මරණය ළඟටම ගොස් පැමිණි රුසියානු මහා ලේඛකයා
advertistmentadvertistment