මරණ දඬුවම නියමව හිඳිද්දී කොවිඩ් වැන්න්ළදී මියඟිය කවුද මේ පොට්ට නවුෆර්

400

විනිසුරු අඹේපිටිය ඝාතනයට මරණ දඬුවම හිමි වූයේ 2004 නොවැම්බර් 19

ප‍්‍රසිද්ධ නම පොට්ට නවුෆර් කුප‍්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරැවෙක්

කොළඹ අලූත්කඬේ අධිකරණ සංකීර්ණ භූමියෙන් පිට වූ අති සුඛෝපභෝගී මෝටර් රථය බෞද්ධාලෝක මාවත දෙසට වේගයෙන් ධාවනය වෙමින් තිබුණේය. මේ සුඛෝපභෝගී රථයේ සිටියේ මෙරට අධිකරණ ක්‍ෂේත‍්‍රයේ අති දක්‍ෂ විනිසුරුවරයකු ලෙස කීර්තියක් දිනාගෙන සිටි මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතාය. අපරාධකාරයන් භීතියට පත් කරවන තීන්දු තීරණ ලබාදෙන නීතිගරුක විනිසුරුවරයකු ලෙස හේ ප‍්‍රකට විය.

2004 වර්ෂයේ නොවැම්බර් මස 19 වැනිදා සිය දෛනික රාජකාරි කටයුතු නිම කළ අඹේපිටිය මහතා කොළඹ බෞද්ධාලෝක මාවතේ බුලර්ස් පාරේ පිහිටි නිල නිවස වෙත යමින් සිටියේය. ඒ වන විට සවස 3.00ට ආසන්න වෙමින් තිබුණේය.

රියැදුරු හැරෙන්නට මෝටර් රථයේ ඉදිරිපස අසුනේ සිටියේ අඹේපිටිය මහතාගේ ප‍්‍රධාන ආරක්‍ෂක නිලධාරියා ලෙස කලක් තිස්සේ කටයුතු කරමින් සිටි උපාලි බණ්ඩාර ය. මෙරට ප‍්‍රකට විනිසුරුවරයකු ලෙස නම්දරා සිටි අඹේපිටිය මහතාට ඒ වන තුරුත් කිසිවකුගෙන් හෝ තර්ජනයක් තිබුණේ නැත. එහෙත් මාරයා එදින සරත් අඹේපිටිය මහතා ලූහුබඳිමින් සිටියේය. අඹේපිටිය මහතා අධිකරණ සංකීර්ණයෙන් පිටත් වෙද්දී එතැන් සිටම පාතාල අළුගෝසුවන් දෙදෙනෙකු ඔහු ලූහුබඳිමින් සිටියහ. සන්නද්ධ පාතාල මැරයන් දෙදෙනා අඹේපිටිය මහතා රැගත් මෝටර් රථය පසුපස යමින් සිටියේ නිවැරදිම අවස්ථාවේදී ඒ මහතාට ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරගෙනය.

අඹේපිටිය මහතා රැගත් මෝටර් රථය බුලර්ස් පාරේ පිහිටි නිල නිවසට ඇතුළු කළේය. මෝටර් රථය නිල නිවස ඉදිරිපිට ගරාජය අසල නතර කෙරුනි. ගත වුණේ නිමේෂයකි. බුලර්ස් පාර ඔස්සේ වේගයෙන් ආ යතුරුපැදියක් අඹේපිටිය මහතාගේ නිල නිවස ඉදිරිපිට ගේට්ටුව අසල නතර කෙරිනි. ඉන් බැසගත් කේඩෑරි සිරුරු ඇති තරුණයන් දෙදෙනෙකු අඹේපිටිය මහතා සිටි රථය දෙසට දිව ආවෝය.

ඒ වන විට අඹේපිටිය මහතා සිය රථයෙන් බැස නිවසට ඇතුළු වන්නට සූදානම් වෙමින් සිටියේය. උපාලි බණ්ඩාර ද මෝටර් රථයේ අනෙක් පසින් බැස ආගන්තුක තරුණයන් දෙදෙනා දෙසට ගමන් කරමින් සිටියේය.

සඟවාගෙන සිටි පිස්තෝල ඉවතට ඇදගත් පාතාල අළුගෝසුවන් දෙදෙනා අඹේපිටිය මහතා වෙත නොනවත්වා වෙඩි ප‍්‍රහාර එල්ල කළෝය. හෙණ හ`ඩ පුපුරන්ණාක් මෙන් පිට වූ වෙඩි උණ්ඩ මේ නීතිගරුක විනිසුරුවරයාගේ සිරුර පසාරු කරගෙන ගියේය.

ප‍්‍රහාරයට ගොදුරු වූ අඹේපිටිය මහතා බිම ඇද වැටුණේය. අළුගෝසුවන් දෙදෙනා උපාලි බණ්ඩාරට ද වෙඩි තැබුවෝය. අනපේක්‍ෂිත මොහොතකදි එල්ල වූ ප‍්‍රහාරයෙන් උපාලි බණ්ඩාර ද සිමෙන්ති පොළොව සිප ගත්තේය.

විනාඩි කීපයකදී සිය ඉලක්කය සපුරාගත් පාතාල මැරයන් දෙදෙනා යතුරුපැදියේ නැඟී නොපෙනී ගියහ. මුළු රටම ගිනිගන්නට පටන් ගත්තේ ඉන් පසුවය. පාතාල මැරයන් පිරිසකගේ ප‍්‍රහාරයට ලක්වූ සරත් අඹේපිටිය මහතා බරපතළ තුවාල සහිතව රෝහල්ගත කළේය. මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතාට වෙඩි තැබීමේ සිද්ධියෙන් අධිකරණ ක්‍ෂේත‍්‍රය පමණක් නොව මුළු රටම මොහොතකට ගල් ගැසී සිටියහ.

මරණ දඬුවම නියමව හිඳිද්දී කොවිඩ් වැන්න්ළදී මියඟිය කවුද මේ පොට්ට නවුෆර්

අඹේපිටිය මහතාගේ ජීවිතය බේරා ගැනීමට වෛiවරුන් දැඩි උත්සාහයක නිරත වූහ. එහෙත් ඒ සියලූ උත්සාහයන් ව්‍යර්ථ කරමින් කීර්තිමත් විනිසුරු සරත් අඹේපිටිය මහතා ඊට පසුදින එනම් 2004 වර්ෂයේ නොවැම්බර් 20 වැනිදා ජීවිතක්‍ෂයට පත් වුණේය. ඒ වන විට රටේ ජනාධිපතිනිය ලෙස කටයුතු කරමින් සිටියේ චන්‍ද්‍රිකා කුමාරතුංග මහත්මියයි. පාතාල මැර කණ්ඩායම්වල හිස එසවීම පිළිබඳව රට පුරාම විශාල කතිකාවක් ගොඩනැෙඟමින් තිබුණේය.

එවකට පොලිස්පතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේ චන්‍ද්‍රා ප‍්‍රනාන්දු මහතාය. විනිසුරුවරුන් ඝාතනය කරන තත්ත්වයට පත්ව සිටින පාතාලය මර්දනය කිරීමේ දැවැන්ත මෙහෙයුම් පොලිස්පති චන්‍ද්‍රා ප‍්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් ඇරඹෙන්නේ ඉන් පසුවය. සරත් අඹේපිටිය මහතා ඉතාම සාහසික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ විමර්ශන විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් විසින් ක‍්‍රියාත්මක කළහ. ඝාතනය සිදු වී දින 5ක් ගත වන්නට පෙර ඊට සම්බන්ධ වූ පාතාල මැරයන් සියලූදෙනා අත්අඩංගුවට ගෙන ඝාතනයේ සුලමුල සොයා ගන්නට පොලිසියට හැකිවිය. පොට්ටු නවුෆර් නමැති චරිතය රටේම කුප‍්‍රකට වන්නේ මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතන සිද්ධියෙන් අනතුරුවය. අඹේපිටිය මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ මහමොළකරු වූයේ මේ පොට්ට නවුෆර් ය. මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතාට සිය නිවස ඉදිරිපිටදීම මහ දවල් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ මහමොළකරු වූ පොට්ට නවුෆර් කොළඹ පාතාලය ආක‍්‍රමණය කරන්නේ 1990 දශකය මුල් භාගයේදී ය.

මොහොමඞ් නියාස් නවුෆර් උපන්නේ හැදී වැඩුණේ පිටකොටුව අලූත්කඬේ ප‍්‍රදේශය කේන්‍ද්‍ර කරගෙනය. නවුෆර්ගේ කුඩා කාලය අමිහිරි කටුක අත්දැකීම්වලින් පිරුණු එකකි. හරිහමන් අධ්‍යාපනයක් නොලැබූ නිසා නවුෆර්ට ස්ථිර රැකියාවක් ලැබුණේ නැත. ජීවන අරගලය ජය ගන්නට නවුෆර් අච්චාරු විකුණන්නට පටන් ගත්තේය. තමන් විසින්ම නිර්මාණය කළ අච්චාරු කරත්තයක් තල්ලූ කරගෙන කොළඹ ගෙන්දගම් පොළොව පුරා කරක් ගැසූ නවුෆර් ජීවිතය ජය ගන්නට උත්සාහ කළේය. පරෙවියන් ඇති කිරීම, උන් මුදලට විකිණීම ද නවුෆර්ගේ තවත් පුංචි ආදායම් මාර්ගයක් විය. පරෙවියන් ඇති කිරීමට දැඩි ලෙස ප‍්‍රිය කළ නවුෆර් සිය කුඩා නිවස ඉදිරිපිට පරෙයි කූඩු කීපයක් ම තබාගෙන සිටියේය. පරෙවියන් අලෙවියෙන්වත් අච්චාරු විකිණීමෙන්වත් නවුෆර්ට ඒ හැටි ආදායමක් ලැබුණේ නැත.

‘‘උඹට මේවා කරලා දියුණු වෙන්න බැහැ. අලූත් බිස්නස් තියෙනවා. බොහොම කෙටි ක‍්‍රමවලට සල්ලි හොයන්න. ඒ බිස්නස් එකකට අත ගහපන්.’’

නවුෆර්ගේ මිතුරන්ගෙන් ලැබුණු උපදෙස් මත ඔහු අලූත් ව්‍යාපාරයකට අත ගැහුවේය. අච්චාරු අලෙවි කරන අතරතුර ගංජා සහ හෙරොයින් පැකට් අලෙවි කිරීම නවුෆර්ගේ අලූත්ම ව්‍යාපාරය විය. වසර කීපයක් තිස්සේ අච්චාරු අලෙවියෙන් උපයාගත් මුදලට වඩා හතරපස් ගුණයක ලාභයක් අලූත් ව්‍යාපාරය හරහා එක මාසයක් තුළ ලබා ගන්නට නවුෆර්ට හැකි වුණේය. අවසානයේ අච්චාරු විකිණීම පසෙක තබා හෙරොයින් අලෙවි කිරීමට නවුෆර් පටන් ගත්තේය.

ඒ වන විට කොළඹ පාතාලය කොටස් දෙකකට බෙදී තිබුණේය. කොළඹ මත්ද්‍රව්‍ය ජාවාරම ක‍්‍රියාත්මක වුණේ මේ පාතාල කණ්ඩායම් දෙකේ අභිමතය පරිදිය. පිටකොටුව, අලූත්කඬේ කොටහේන ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශ කේන්ද්‍ර කරගෙන දෙමළ පාතාල කල්ලියක් ක‍්‍රියාත්මක වුණේය. මේ දෙමළ පාතාල කල්ලියට නායකත්වය දුන්නේ ඉසගමුත්තු සුදාකරන් ය. සුදාකරන්ගේ නායකත්වය යටතේ තිබූ දෙමළ පාතාලයට වැඩිපුරම සම්බන්ධ වී සිටියේ දෙමළ තරුණයන් ය. ඔවුන්ගෙන් බොහෝදෙනකු එවකට එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ ද සබඳතා ගොඩනගාගෙන සිටියහ.

අම්බිගාර්, රමේෂ්, තඩිබාලා, සින්නප්පන් ක‍්‍රිස්ටෝපර්, නඩරාජා විජේපාලන්, දෙමළ පාතාලයේ කෙරුම්කාරයන් වූහ. මේ දෙමළ පාතාලයට සම්බන්ධ වී සිටි එකම මුස්ලිම් ජාතිකයා වූයේ මොහොමඞ් නියාස් නවුෆර් පමණි. මේ අතර මාලිගාවත්ත කේන්ද්‍ර කරගෙන ඒ වන විට මුස්ලිම් පාතාලය ගොඩනැගී තිබිණි. එවකට නාගරික මන්ත‍්‍රීවරයකු වූ බාබර් ඉමිටියාස්ගේ ප‍්‍රධානත්වයෙන් බිහි වී තිබූ මුස්ලිම් පාතාලය මාලිගාවත්ත ප‍්‍රදේශය කේන්ද්‍ර කරගත් මුස්ලිම් තරුණයන්ගෙන් සමන්විත විය. මේ මුස්ලිම් පාතාල කල්ලිය අයුබ්ඛාන්, කුඩුනූර්, ෆාජි, මංජල් අක‍්‍රම්, ටෝජි, ආනමාළු ඉමිටියාස්, දිගා ෆයිසර්, මාමස්මි, වැන්නවුන්ගෙන් සමන්විතව සිටියහ. මේ දෙමළ මුස්ලිම් පාතාල කල්ලි දෙක අතර නිරන්තර ගැටුම් හටගත්තේය. මත්ද්‍රව්‍ය ජාවාරම කප්පම් ගැනීම, පාතාල බලය ව්‍යාප්තකර ගැනීම මුල් කරගෙන ඇති වූ මෙම ගැටුම්වලින් දෙපාර්ශ්වයේම පාතාල සාමාජිකයන් විශාල පිරිසක් ජීවිතක්‍ෂයට පත්වූහ. එකම කල්ලියේ සාමාජිකයන් වුවද නඩරාජා, විජේපාලන් සහ මොහොමඞ් නියාස් නවුෆර් අතර පැවතියේ දැඩි වෛරයකි. විජේපාලන්ට නවුෆර් රිස්සුවේ නැත. එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ද මොවුන් දෙදෙනා අතර පැවතියේ තරගයකි.

නවුෆරයා දඟලනවා වැඩියි. ඕකව දැන්ම අයින් කරලා දැම්මේ නැත්නම් පස්සට කරදර වෙන්න වෙනවා. විජේපාලන් නවුෆර් විනාශකර දැමීමට සැලසුම් කරන්න වුණේ ඉතාම රහසිගත ආකාරයටය. නවුෆර් ඒ වන විට තරුණියක සමඟ පේ‍්‍රම සබඳතාවක් පවත්වාගෙන යමින් සිටියේය. මේ තරුණිය පදිංචිව සිටියේ කොටහේන හින්නිඅප්පුහාමි මාවතේය. නවුෆර් නිතර නිතර හින්නිඅප්පුහාමි මාවතේ කරක් ගසන බව විජේපාලන් දැන සිටියේය. නවුෆර්ට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කර ඔහු මරා දැමීම විජේපාලන්ගේ සැලසුම විය. දිනක් සවස් කාලයේ නවුෆර් සිය පෙම්වතිය දැක ගැනීමේ අරමුණෙන් හින්නිඅප්පුහාමි මාවතට පැමිණ වෙළෙඳසලක් අසල රැඳී සිටියේය. කොහේදෝ සිට ඉගිලී ආ යතුරුපැදියක් නවුෆර් ඉදිරියේ නතර වුණේය. එහි පිටුපස සිටියේ විජේපාලන් ය. නවුෆර් වෙත එල්ල වූ අත්බෝම්බය පුපුරා ගියේ මුළු කොටහේන ප‍්‍රදේශයම දෙදරුම් කමිනි.

බෝම්බ ප‍්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ නවුෆර්ට වම් ඇස අහිමි වුණේය. මොහොමඞ් නියාස් නවුෆර් ‘පොට්ට නවුෆර්’ නමින් පාතාල ලෝකය පුරා ප‍්‍රසිද්ධියට පත් වුණේ මෙම සිදුවීමෙන් පසුවය.

මත්ද්‍රව්‍ය ජාවාරම හරහා උපයා ගත් මහා ධනස්කන්ධය නවුෆර් විවිධ ව්‍යාපාර සඳහා ආයෝජනය කළේය. කොළඹ අලූත්කඬේ ප‍්‍රදේශයේ පිහිටි බරකතමැන්ෂන් නමැති මහල් නිවාස සංකීර්ණය සහ උත්සව ශාලාව තමන් සතු කර ගත් නවුෆර් ඒ හරහා විශාල ආදායමක් ලබා ගත්තේය. මේ අතර පිටකොටුවේ ද තවත් මහල් නිවාස සංකීර්ණයක් බලහත්කාරයෙන් අත්පත් කර ගන්නට නවුෆර් සමත් විය. මෙම නිවාස සංකීර්ණයේ හිමිකරු සමග තිබූ මුදල් ආරවුලක් මත අවසානයේ එහි හිමිකාරිත්වය තමන් සතු කර ගන්නට නවුෆර් සමත් විය. අතදිගහැර මුදල් වියදම් කිරීම නිසා එවකට පොලිසියේ උසස් නිලධාරීන් සෑහෙන පිරිසක් නවුෆර්ගේ සාක්කුවට වැටී සිටියේය. දේශපාලකයන් කීප දෙනකු සමගම සමීප සබඳතා පැවැත්වූ නිසා නවුෆර්ට විශාල දේශපාලන හයියක් ද තිබුණේය.

පොලිස් බලය දේශපාලන හයිය සමග පවත්වාගෙන ගිය පාතාල ආධිපත්‍යය නිසා නවුෆර් කොළඹ පතාලයේ ප‍්‍රධානම පෙළේ කෙරුම්කාරයකු බවට පත්ව සිටියේය.

ඒ වනවිට දෙමළ පාතාලයට නායකත්වය දුන් ඉසගමුත්තු සුදාකරන් ජීවතුන් අතර සිටියේ නැත. නවුෆර්ගේ ප‍්‍රධානම ප‍්‍රතිවාදියා වූ නඩරාජා විජේපාලන් ද පොලිස් වෙඩි ප‍්‍රහාරයකින් අවසන් ගමන් ගොස් සිටියේය.

නවුෆර් නානා එහෙමත් නැත්නම් පොට්ට නවුෆර් කොළඹ පාතාල රජකම් කරන්න පටන් ගන්නේ එතැන් සිටය. අලූත්කඬේ ප‍්‍රදේශයේ මුස්ලිම් ප‍්‍රජාවගේ නායකයකු ලෙස කටයුතු කළ මොහිදින් හාජ්ජියාර් සමග නවුෆර් පැටලූණේය. අවසානයේදී මොහිදින් හාජියාර් වෙඩි තබා ඝාතනය කිරීමට පොට්ට නවුෆර් කටයුතු කළේ තමන්ට එරෙහි වන ඕනෑම අයකුට අත්වන්නේ මේ ඉරණම බව පෙන්වමින්ය. දේශපාලන හයිය පොලිස් බලය මුදල් ශක්තිය නිසා පොට්ට නවුෆර්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක නොවීය. මුල්වරට පොට්ට නවුෆර් අත්අඩංගුවට ගන්නේ පෑලියගොඩ විශේෂ අපරාධ ඒකකය මගින්ය.

එවකට එම ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළේ පි‍්‍රයන්ත ජයකොඩි මහතාය. (මේ වනවිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස විශ‍්‍රාම ගොස් සිටියි.)

පි‍්‍රයන්ත ජයකොඩි මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායම අලූත්කඬේ පිහිටි නවුෆර්ගේ සුවිසල් නිවස වටලද්දී ඔහු එහි අධි සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් සිටියේය. නවුෆර්ගේ නිවසේ සඟවා තිබූ අති නවීන රිවෝල්වර් තුනක් ද පොලිසිය සොයා ගත්තේය. නවුෆර්ගේ නිවසේ විසිත්ත කාමරයේ එවකට පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකුගේ විශාල ප‍්‍රමාණයේ ඡායාරූප එල්ලා තිබුණේය. ඉන් එක් නිලධාරියකු අද ජීවතුන් අතර නැත. අනෙක් නිලධාරියා මේ වනවිට විශ‍්‍රාම ගොසින්ය.

මරණ දඬුවම නියමව හිඳිද්දී කොවිඩ් වැන්න්ළදී මියඟිය කවුද මේ පොට්ට නවුෆර්

මේ උසස් නිලධාරීන් දෙදෙනා එකල නවුෆර්ගේ සමීපතම මිතුරන් වූහ. ඉන් එක් නිලධාරියකු 88/89 කාලයේ බටලන්ද වධකාගාරය පවත්වා ගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයට ලක්වූ පොලිස් අධිකාරිවරයකු විය.

මේ පොලිස් අධිකාරිවරයාට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක වෙද්දී ඔහු හොර රහසේම මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලා ගියේය. පොලිස් අධිකාරිවරයාට රටින් පලා යෑමට අවශ්‍ය සියලූ කටයුතු සම්පාදනය කර දුන්නේ පොට්ට නවුෆර් විසින්ය. ඔහුට ඉන්දියාවට පලා යෑමට බෝට්ටුවක් සොයා දී එහි ගොස් රහසිගත ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය සියලූ කටයුතු සූදානම් කර දීමට නවුෆර් කි‍්‍රයා කළේ කාලයක් තිස්සේ පැවති දැඩි මිත‍්‍රත්වය නිසාය. පොලිස් අධිකාරිවරයා රටින් පලා යද්දී ඔහුට අයත්ව තිබූ රාජකාරි ගිනිඅවිය පොට්ට නවුෆර්ට තිළිණයක් ලෙස ලබාදී තිබුණේය. පසු කලෙක පොලිස් වැටලීමකදී මෙම පිස්තෝලය නවුෆර් සතුව තිබී අත්අඩංගුවට ගැනීමට හැකි විය. නවුෆර් සිය නිවසේ ගතකළ සුඛෝපභෝගි ජීවිතය එකල මහ කුවේරයන් සිහිගන් නු ලැබීය. නවුෆර් සිය නිදියහනට පාවිච්චි කළේ වතුර පිරවූ මේට්ටයක් (වෝටර් බෙඞ්) සහිත ඇඳකි. ලොව මිල අධික විස්කි බ‍්‍රැන්ඩිවලින් ඔහුගේ නිවසේ ‘මිනිබාර්’ එක පිරී ගොස් තිබිණි. ජීවත් වීමට මගක් නොමැතිව අච්චාරු කරත්තයක් තල්ලූ කරගෙන කොළඹ නගරය පුරා සැරිසැරූ නවුෆර් ඉතාම කෙටි කාලයක් තුළදී කොළඹ නගරයේ සිටින මහා ධනවතකු බවට පත්ව සිටියේය.

මත්ද්‍රව්‍ය ජාවාරම කප්පම් ගැනීම වැනි කි‍්‍රයාවන්ට අමතරව නීති විරෝධී සිගරැට් කන්ටේනර් පිටින් මෙරටට ගෙන්වා අලෙවි කිරීමේ ජාවාරම ද නවුෆර් මහා පරිමාණයෙන් කරගෙන ගියේය. මේ ව්‍යාපාරවලට පිටස්තරයන් කිසිවකුටත් ඇතුළු වීමට ඉඩක් තිබුණේ නැත. නවුෆර් සම්බන්ධ වූ ව්‍යාපාරයකට පිටස්තරයකු අතගැසුවොත් නිසැක වශයෙන්ම ඔහුට සිදුවුණේ ඊට සිය ජීවිතයෙන් වන්දි
ගෙවීමටය. මේ අතර කොන්ත‍්‍රාත් මිනිමැරුම් ද නවුෆර්ගේ පාතාල කල්ලිය විසින් භාර ගත්තේය. විවිධ මිත‍්‍රකම් හිතවත්කම් උඩ සිදුකළ මිනිමැරුම් රැසක් ද නවුෆර්ගේ අපරාධ ගිණුමට දිනෙන් දින එකතු වෙමින් තිබුණේය. එවකට බස්නාහිර පළාත්සභා මන්තී‍්‍රවරයකු වූ නාමල් ගුණවර්ධන මහතා ඝාතනය කිරීම සිදුවන්නේ ද එවැනිම කොන්ත‍්‍රාත්තුවක් මතය. පොට්ට නවුෆර් විසින් ලබාගත් කොන්ත‍්‍රාත්තුවකට අනුව ඔහුගේ ගෝලබාලයන් දෙදෙනකු විසින් නාමල් ගුණවර්ධන කොල්ලූපිටිය ප‍්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කළහ. පොලිසිය මේ මිනිස් ඝාතනය පිළිබඳව විමර්ශන කරමින් සිටියදී මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතනයට ලක් වුණේය.

පොට්ට නවුෆර්ට එරෙහිව මහාධිකරණය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට අදාළ නඩුවක් විභාග වෙමින් තිබුණේය. මේ නඩුව විභාග කරමින් සිටියේ එවකට අධිකරණ ක්‍ෂේත‍්‍රයේ කීර්තිමත්ම විනිසුරුවරයකු ලෙස ප‍්‍රසිද්ධියට පත්ව සිටි සරත් අඹේපිටිය මහතාය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට එරෙහිව දැඩි තීන්දු තීරණ ලබා දෙන විනිසුරුවරයකු ලෙස අඹේපිටිය මහතා ප‍්‍රසිද්ධව සිටියේය. තමන්ට එරෙහිව විභාග වන කුඩු නඩුවේදී තමන්ට දැඩි දඬුවමක් පැනවීමට අඹේපිටිය මහතා නිසැකවම කටයුතු කරන බව නවුෆර් හොඳාකාරවම දැන සිටියේය. ඒ වනවිට නවුෆර් බන්ධනාගාරගතව සිටියේය. නවුෆර්ට ඇප ලබාදීම අඹේපිටිය මහතා විසින් දිගින් දිගටම ප‍්‍රතික්ෂේප කළේය. මේ කුඩු නඩුවට නවුෆර් සමඟ තවත් පුද්ගලයකු බන්ධනාගාරගත කර සිටියේය. නවුෆර් තම මුදල් බලය පාවිච්චි කර විශිෂ්ට නීතිඥ සහායක් ලබාගෙන අභියාචනාධිකරණය හරහා ඇප ලබා ගැනීමට කටයුතු කළේය. ඒ ඇප නියෝගය මහාධිකරණයේදී ප‍්‍රකාශයට පත් කළේ සරත් අඹේපිටිය මහතා විසින්ය.

නවුෆර් මහා ධනයක් වැය කර නීතිඥ සහාය ලබාගෙන ඇප ලබා ගැනීමට කටයුතු කර තිබුණේය. මේ නඩුවේ අනෙක් සැකකරු වෙනුවෙන් එවැනි නීති සහායක් ලැබී තිබුණේ නැත. අඹේපිටිය මහතා අනෙක් සැකකරු ද ඉතාම සුළු ඇප මුදල් මත මුදා හැරීමට නියෝග ලබා දුන්නේය. අඹේපිටිය මහතා මේ කුඩු නඩුවේදී තමන්ට ඒකාන්තයෙන්ම මරණීය දණ්ඩනය ලබා දෙන බව නවුෆර් දැන සිටියේය. අඹේපිටිය මහතා ඒ තීන්දුව ලබාදීමට පෙර ඒ මහතාගේ ජීවිතය තමන් විසින් තීන්දු කළ යුතු බව නවුෆර් සිතුවේය. සිය පාතාල කල්ලියේ ගෝලබාලයන් යොදවා සරත් අඹේපිටිය මහතා ඝාතනය කිරීමට නවුෆර් කටයුතු කරන්නේ ඉන්් පසුවය.

පොට්ට නවුෆර් සිතුවේ අඹේපිටිය මහතා ඝාතනය කළ පසු සියල්ල තමන්ගේ පැත්තට යහපත් ලෙස හැරෙනු ඇතැයි කියාය. එහෙත් ඒ සියල්ල උඩි යටිකුරු වුණේය. අඹේපිටිය මහතා ඝාතනය කර දින කීපයක් ගත වන්නට පෙර නවුෆර්ගේ දෑතට විලංගු වැටුණේය. අඹේපිටිය මහතා ඝාතනයට සම්බන්ධ නවුෆර් ඇතුළු 5 දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

මාස 07කට ආසන්න කාලයක් තිස්සේ පැවති නඩු විභාගයෙන් අනතුරුව මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතන සිද්ධියේ ප‍්‍රධාන සැකකරු ඇතුළු 5 දෙනාට මරණීය දණ්ඩනය නියම කෙරිණි. 2005 වර්ෂයේ ජූලි මස 04 වැනිදා මෙම ඓතිහාසික නඩු තීන්දුව ලබා දෙනු ලැබීය. එතැන් සිට පුරා වසර 16කට අධික කාලයක් තිස්සේ පොට්ට නවුෆර් සිටියේ බන්ධනාගාරයේය. බන්ධනාගාරය ඔහුට නිවහනක් විය. ඇතැම් බන්ධනාගාර නිලධාරීන් සමග පැවැත්වූ සමීප සබඳතා නිසා නවුෆර් නිදහසේ බන්ධනාගාරය තුළ ගත කළේය. බන්ධනාගාරයේ සිටිය ද ඔහු එහි සිටම සිය පාතාල කල්ලිය මෙහෙයුවේය. මත්ද්‍රව්‍ය ජාවාරම ද වෙනදාටත් වඩා සංවිධානාත්මකව කරගෙන ගියේය. පිටකොටුව ඇතුළු කොළඹ නගරය පුරා ව්‍යාපාරිකයන්ගෙන් මාසිකව කප්පම් මුදල් ලබා ගත්තේය. හොර සිගරැට් ජාවාරම ද ඒ ආකාරයෙන්ම කරගෙන යෑමට ඔහුට හැකි විය. තමන් එරෙහිව මතු වූ මේ බාධක කම්කටලූ පරාජය කළ ද නවුෆර්ට මරුවා පරාජය කිරීමට හැකි වුණේ නැත. පොට්ට නවුෆර් දීර්ඝ කාලයක් තිස්සේ වකුගඩු රෝගයෙන් පෙළෙමින් සිටියේය. දීර්ඝ කාලයක සිට ඊට ප‍්‍රතිකාර ගත්ත ද ඉන් යහපත් ප‍්‍රතිඵල අත්වුණේ නැත. බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටියදී නවුෆර්ගේ වකුගඩු අමාරුව උත්සන්න වුණේය. නවුෆර් ගාල්ල කරාපිටිය රෝහලට රැගෙන එන්නේ ඊට ප‍්‍රතිකාර කිරීම සඳහාය. එහෙත් කරාපිටිය රෝහලේදී නවුෆර් තවත් අකරතැබ්බයකට මුහුණ දුන්නේය. ඒ නවුෆර්ට කොවිඞ් වෛරසය ආසාදනය වීමය. අවසානයේදී නවුෆර් වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කරනු ලැබුවේ කොවිඞ් රෝගයට ප‍්‍රතිකාර කිරීම සඳහාය.

අහිංසක මිනිස් ජීවිත විසි තිස් ගණනකට වගකිවූ ඔවුන් වෙනුවෙන් මරණ සහතික නිකුත් කළ පොට්ට නවුෆර්ට අවසානයේදී සිදුවුණේ මරණ සහතිකය තමන්ටම ලියා ගැනීමටය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment