මරදානෙන් සැඟවී සෝ ගී ගයන සිනමා කුමර කුමරියෝ!

990

‘ගාමිණී හෝල්’ කොළඹ මරදාන ප‍්‍රදේශයේ අද සුප‍්‍රසිද්ධ මංසන්ධියක් බවට පත්ව ඇත. එදා එහි තිබූ ගාමිණී හෝල්… ගාමිණී සිනමා ශාලාව අද එහි දක්නට නැත. 1983 ජූලි මස 24 වැනිදා මෙරට (අමන) පිරිසක් නීතිය තම අතට ගෙන කළ මහා නස්පැත්තියේ තවත් ගොදුරක් බවට එදා මෙදා සිංහල චිත‍්‍රපට රසිකයන්ට තෝතැන්නක්වූ ගාමිණී හෝල් එක රැයක් තුළ විනාශයට පත්වූයේය. 1983 ජූලි මස 24 වැනි දා එම පිරිසක් ගාමිණී හෝල් ගිනිතබා වනසා දැමුවෝය. ඊට හේතුව වන්නට ඇත්තේ එම සිනමා හල අයිතිව සිටි සිනමාස් සමාගමේ අධිපතිවරයා ද්‍රවිඩ ජාතිකයකු වීම වන්නට පුළුවන.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්‍ෂණය කළ සංදේශය ඇතුළු සිංහල චිත‍්‍රපට ගණනාවක්ම නිෂ්පාදනය කරමින් ශ‍්‍රී ලාංකීය සිනමාවේ පෝෂණය තකා අපරමිත දායකත්වයක් දුන් සිනමාස් අධිපතිවරයා වූයේ දේශමාමක කේ. ගුණරත්නම් මහතා ය.

එම විනාශය කළවුන් ඒ බව දැනසිටියා ද නොදැන සිටියා ද අපි නොදනිමු. ඒ කතාව වෙනම ම සටහන් කළ යුත්තකි. දැන් අප කියන්නේ කොළඹ මරදාන පුරවරයෙන් අද සැඟවී සිටින සිංහල සිනමා කුමරියගේ ශෝකාන්තයේ කතාවක පැතිකඩකි.

මරදානෙන් සැඟවී සෝ ගී ගයන සිනමා කුමර කුමරියෝ!

1922 වසරයි. ස්ථානය මරදාන හන්දියේ පිහිටා තිබූ පැලස් සිනමා ශාලාව යි.

නිශ්ශබ්දව චිත‍්‍රපට පෙන්වූ එම කාලයේ සිංහලයන් කිහිපදෙනකු යාන්තමින් හෝ සෙලොලයිඞ් පටයක පෙනී සිටින සිනමා පටයක් මෙරට කොහෝ හෝ තැනක ප‍්‍රදර්ශනය වී නම් එය නැරඹීමට සිනමාලෝලීහු පොර කෑහ.

පැලස් සිනමා හලේ වරෙක පෙන්වූ ශ‍්‍රීමත් අනගාරික ධර්මපාලතුමා කල්කටාවේ ධර්මාරාජික විහාරයන්ට තවත් ප‍්‍රභූන් පිරිසක් සමග පැමිණි පිංකමක යෙදී අලලා සැකසුණු සිනමා සිත්තමක් පෙන්වන්නට වූයේය. නරඹන්නන් දහස් ගණනක් එහි ඇදී එන්නට වී තිබේ. තවත් වරෙක එහි දඹදිව මහාබෝධි සංගමයේ උත්සවයකට පූජ්‍ය නිල්වත්තේ සෝමානන්ද හිමියන් වැඩම කළ අයුරු පෙන්වන ‘රීල්’ එකකින් යුත් වාර්තා චිත‍්‍රපටයක් පෙන්වනවිට ද එවැනි ජනගඟක් එහි ඇදී විත් තිබේ.

මරදාන පැලස් සිනමා හල එකල තිබුණේ ටකරන් මඩුවකය. මරදානේ ඩාර්ලි පාරේ පිහිටා තිබූ තවත් සිනමා හලක් වූයේ ඔලිම්පික් සිනමා ශාලාව යි. සී ඒ ගාඩිනර් හා ඒ. එල්. තම්බයියා පාලනය කළ එහි පෙන්වූ නිශ්ශබ්ද චිත‍්‍රපට නරඹන්නන් අමුතුම ලෝකයකට කැඳවාගෙන ගියහ. සී ඒ. ගාඩිනර් යනු සිලෝන් තියටර්ස් නිර්මාතෘ චිත්තම්පලම් ගාඩිනර්ය.

එකල සුප‍්‍රකට එල්ෆින්ස්ටන් (ඇල්ෆින්ස්ටන්) සිනමා ලෝලීන්ගේ තවත් රජ දහනක් විය. එහි ඔහු චිත‍්‍රපට රසවිඳි තරුණයකු තමා වඳි අත්දැකීම මෙලෙස වරෙක සටහන් කළේය.

මරදානෙන් සැඟවී සෝ ගී ගයන සිනමා කුමර කුමරියෝ!
එල්පින්ස්ටන් රඟහල 40 දසකයේදී

මාස්ටර් නිසාර් හා කජ්ජන්ගේ රැඟුම් සහිත ‘බිල්වා මංගල්’ නැරඹීමට ගිය මට චිත‍්‍රපට නැරඹීමට ලැබුණේ විශාල සෙනඟක් මැද තෙරපෙමිනි. එහි දී ඇද වැටුණු මට වරෙක සිහිය ද නැති විය. රසිකයෝ පොරකෑහ.

1936 ‘මයා බසාර්’ චිත‍්‍රපටයෙන් මරදාන ටවර් රඟහලේ කතානාද චිත‍්‍රපට ප‍්‍රදර්ශනය ඇරඹී තිබේ. එදිනම නිව් ඔලිම්පියා සිනමා හලේ ඇඞී කැන්ටර්ගේ කි ඕ මිලියන්ස් චිත‍්‍රපටයෙන් එම කාර්ය එහි ඇරඹී තිබේ.

1935 වර්ෂය වනවිට කොළඹ පාර්සන්ස් පාරේ රේල් පාර අද්දර තවත් පුංචි සිනමා හලක් තිබුණා. එහි දිනක් මා යනවිට චිත‍්‍රපට පෝලිම් නැහැ. සෙනඟ තදබදයක් ද තිබුණේ නැහැ. චිත‍්‍රපටය නැරඹීමට මම ශත 25ක් දී ගැලරි ටිකට්පතක් මිලදී ගත්තා.

මරදානෙන් සැඟවී සෝ ගී ගයන සිනමා කුමර කුමරියෝ!
එල්පින්ස්ටන් රඟහල 80 දසකයේදී

එහි තිරය පසෙක සිටි වාදක පිරිසක් අවස්ථානුකූලව සිනමා තිරයේ දිස්වුණු චාලි චැප්ලින්ගේ ගොළු රැඟුම්වලට පණදුන්නා මට මතකයි.

මෙම අතීත මතකයන් සටහන් කර එපමණක් ද නොව, ග‍්‍ර‍්‍රන්ථාරඬ කළ මිනිසා පසුකලක වියත් ලේඛකයකු හා පුවත්පත් කලාවේදියකු ද වූ ඞී. වී සෙනෙවිරත්න යන්ය. 1958 තරම් ඈත කාලයේ එම මතකයන් ද සමගින් ඔහු පොතක් ලියුවේය.

එදා කොළඹ නගරයේ වෙසෙසින්ම සුප‍්‍රකට මරදාන පුවරයේ එදා විරාජමානව තිබූ සිංහල සිනමාවේ යශෝරාවය අද වියැකී තිබෙන්නේය.

1950, 60, 70 දශකවල කොළඹ සිනමාව ජයකෙහෙළි නැංවුණේ අද මෙන් වායු සමීකරණය කරන ලද සිනමා ශාලා නොමැතිව අවම පහසුකම් මැද වුව සිනමා ලෝලීන්ට උපරිම ආස්වාදයක් අත්කර දෙමිනි. දැල්වලින් ආවරණය කර තිබූ පෝලිම්වල පෙළ ගැසී ගැලරියට පළමු හා දෙවන පන්තියට හා බැල්කනියට ප‍්‍රවේශපත‍්‍ර මිලදී ගත් හැටි අපට මතකය. සිනමාවේ ස්වර්ණමය යුගය තිරගත වූ වාණිජ චිත‍්‍රපට සමහර ඒවායේ දුෂ්ටයාට පහරදී පෙම්වතා වීරයා වනවිට ගැලරියෙන් විසිල් හඬවල් ද මට අද මෙන් මතකයි. ප‍්‍රදර්ශන ශාලාවල අනන්ත අඩුපාඩු තිබුණ ද පවුල් පිටින් සිනමා ශාලාවෙත ගොස් එකට හිඳ චිත‍්‍රපට නැරඹූ සංස්කෘතියක් තිබූ එම යුගයේ සිනමාහල් පාළු අම්බලම් නොවීය.

එහෙත් අතීතයේ අපේ පැරැන්නන් කොළඹ පුරවරයේ එදා විඳි සිනමාත්මක වින්දනය අද වඳින්නට නොහැක.

චිත‍්‍රපට කලාව මෙහි බිහිවීමට පෙර අපේ ජනතාවගේ ප‍්‍රධාන විනෝදාස්වාදය වූයේ නාට්‍ය නාඩගම් නැරඹීමය. චිත‍්‍රපට ප‍්‍රචලිත වීමත් සමග එදා නවමු මාධ්‍යයක් වූ සිනමාව එහෙමත් නැත්නම් ‘බයිස්කෝප්’ නරඹන්නට අපේ ජනයා පෙළඹුණාහ.

මෙම සටහන ලියද්දී කලකට පෙර මට හමුවූ පැරණි ජනකාන්ත රංගන ශිල්පියකු වූ පේ‍්‍රම් ජයන්ත් කළ සඳහනක් මගේ මතකයට නැඟෙයි.

70 දශකයේ මුල්භාගයේ දිනක අප මරදානේ දුම්රියෙන් බැස කොළඹ නගරයට ඇතුළු වෙත් දී මගේ මතකය අතීතයට ඇදීගිය දැවැන්ත සිත් ගන්නාසුලූ අතැමකුට විශ්මය දනවන ප‍්‍රචාරක පුවරුවක් ගැන ඔහුගෙන් විමසුවෙමි. ඔහු මනා හෙළිදරව්වක් කළේය. පේ‍්‍රම් ජයන්ත් නළුවකු පමණක් නොව, දක්‍ෂ චිත‍්‍ර ශිල්පියකු ද වූයේය. අපේ සිනමාවේ යුග ගණනක් චිත‍්‍රපටවලට ප‍්‍රචාරක පුවරු ඔහු සිත්තම් කළේ තවත් ප‍්‍රකට එඞ්වින් බටවල, සරත් යටවර ඇතුළු තවත් බොහෝ දක්‍ෂ සිත්තරුන්ට තම ආයතනයේ සේවා දායකත්වය ලබාදෙමිනි. ඔවුන්ව ද ජීවත් කරවමිනි.

මරදානෙන් සැඟවී සෝ ගී ගයන සිනමා කුමර කුමරියෝ!

පේ‍්‍රම් සොයා ගෙන පැමිණි ටයිටස් තොටවත්තයන් හා චිත‍්‍රපට නිෂ්පාදක සුගතදාස මරසිංහ ඔහුට අමුතුම යෝජනාවක් ගෙන ආවේය. ඒ වනවිට තොටවත්තයන් සිනමාවට නැඟූ සුප‍්‍රකට හාර ලක්‍ෂය ප‍්‍රදර්ශනය කිරීමට නියමිතව තිබිණි. ටයි මහත්තයාගේ අදහසට අනුව පේ‍්‍රම් ජයන්ත් අමුතුම වැඩකට අත ගැසුවේය.

1948 කොළඹ තුරඟ තරග පිටියේ සිදුවූ මුදල් මංකොල්ලය මුදල රැගෙන ගිය සැබෑ මෝටර් රථය සොයාගැනීමය. තිදෙනාම එකතු වී රථය සොයන්නට විය. මංකොල්ල සිදු වී වසර 29කට පෙර එම රථය සොයා ගත්තේ බදුල්ල ප‍්‍රදේශයේ තිබිය දීය.

එම මෝටර් රථයේ ඉදිරිපස කොටස ද යොදාගනිමින් පේ‍්‍රම් ජයන්ත් දැවැන්ත ‘කටවුට්’ එකක් හැදුවේය. ඔහු එය නිර්මාණය කර තිබුණේ දැවැන්ත පුවත් පතක් ඉරාගෙන ඒ තුළින් මතුවන මෝටර් රථය හා කොල්ලයේ පුවත් පත්තරය තුළින් ද කියවිය හැකි ලෙසය. මරදාන මංසන්ධියේ පොළොව මට්ටමේ සිට අඩි 15ක් පමණ උස දැවැන්ත අට්ටාලයක එම ප‍්‍රචාරක පුවරු නිර්මාණය කර තිබුණේය. පේ‍්‍රම් ජයන්ත් අපට පැවසුවේ තමන්ගේ දායකත්වයෙන් කළ විශිෂ්ටතම ප‍්‍රචාරක පුවරුවක් ලෙස එදා එය හඳුන්වා දෙමිනි. ආචාර්යය ලෙස්ටර් ජේමිස් පිරිස්ගේ සංදේශය චිත‍්‍රපටය තිරගවූ අවස්ථාවේ එවැනිම දැවැන්ත ප‍්‍රචාරක අනුරුවක් (චිත‍්‍රපටියේ එන ආරියවංශ විරක්කොඩි එදා නිර්මාණය කළ බලකොටුව සංකේතවත් කරමින්) මරදාන මංසන්ධියේ ඉදිකර තිබුණි.

මරදානේ දුම්රියපොළ හා එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට එදා සිනමාවට වෙන් වූ පුංචි බිම් පෙදෙසක චිත‍්‍රපට ප‍්‍රචාරක පුවරු පමණක් ප‍්‍රදර්ශනය කරන ස්ථානයක් වූයේය. එම පුවරු ප‍්‍රදර්ශනය වෙනුවෙන් චිත‍්‍රපට නිෂ්පාදකයන් කොළඹ නගර සභාවට බදු ගෙව්වෝය.

එහෙත් එම ස්ථානය සිනමාවට අහිමි කරවන බලවේග ගැන වටින් ගොඩින් ඇසෙත් දී එවක ජනාධිපතිවරයාවූ රණසිංහ පේ‍්‍රමදාස මහතා හමුවන්නට පේ‍්‍රම් ජයන්ත් (සිනමා චිත‍්‍ර ශිල්පී) ඇතුළු ප‍්‍රචාරක පුවරු නිර්මාණකරුවන් සිංහල චිත‍්‍රපට ප‍්‍රචාරක පුවරුවලට නිසි තැනක් ඉල්ලා සිටියහ. ඒ අනුව ඊට ඔහු කැමැත්ත පළකර සිටිය දීම ජනාධිපතිවරයා අභාවයට පත්වීමත් සමග එම අවස්ථාව ගිලිහිණි.

මේ අතර මරදාන දුම්රිය ස්ථානය හා එල්ෆින්ස්ටන් ඉදිරිපිට මාර්ග පද්ධතිය (වටරවුම) සංවර්ධනයෙන් පසු මුල්කී ස්ථානය සිනමාවට සඳහට ම අහිමි වී ගියේය. අද එහි ඇතැම්විට හෝ ඡුන්ද කාලවල ප‍්‍රදර්ශනය වන්නේ දේශපාලන කටවුට්ය.

එදා මරදාන ප‍්‍රදේශයේ සිංහල චිත‍්‍රපට පෙන්වූ සිනමා ශාලා 7 ක් පමණ තිබිණි. ආත්ම පූජා චිත‍්‍රපටය ඇතුළු සිංහල චිත‍්‍රපට එදා අප නැරඹූ පසු කාලයේ දී ඉංග‍්‍රීසි, හින්දි, දමිළ චිත‍්‍රපට පෙන්වූ සෙන්ට‍්‍රල් සිනමා හල අද පොළොවට සමතලා වී තිබේ. මරදානේ ක‍්‍රවුන් සිනමා හලේ අද බිල්ඩිමවත් දක්නට නැත.

අලූතින් තිරගතවන සිංහල චිත‍්‍රපටවල මාධ්‍ය දර්ශන ද පැවැත්වූ ඉංග‍්‍රීසි චිත‍්‍රපටවලට වැඩි ප‍්‍රදර්ශන කාලයක් මරදානේ නිව් ඔලිම්පියා සිනමා හල ද අද දක්නට නැත.

මරදානෙන් සැඟවී සෝ ගී ගයන සිනමා කුමර කුමරියෝ!

මරදාන එල්ෆින්ස්ටන් රඟහල ද එදා සිංහල චිත‍්‍රපට පෙන්වූ වග මෙම ලිපිය ඇරඹෙත් දීම සටහන් කළෙමි. එදා ‘එල්ෆින්ස්ටන්’ හී සිවාජි ගනේෂන් (1959) රඟ පෑ ‘‘වීර පාණ්ඩියන් කට්ට බොම්බෙන්’’ තිරගත වෙත්දී එම රඟහල ඉදිරිපිට සහමුලින්ම අනුරූවලින් වෙනස් කෙරිණි. චිත‍්‍රපටයේ ඇතුළත් ඉංග‍්‍රීසින් ඉන්දියාව ආක‍්‍රමණය කරත්දී තැනුණු ෆේස් බලකොටුව අනුරුවක් තනා චිත‍්‍රපටය පේ‍්‍රක්‍ෂකයන් කැන්දන්ට උපයෝගි කර ගතේය. වරෙක සඳහන් කළ පරිදි නිශ්ශබ්ද චිත‍්‍රපටවල එන අශ්වයන් ගමන් කරන දර්ශන තාත්වික කරන්නට තිරය පිටුපස සිට පොල්කටු ශබ්ද යොදූවග ද අශ්ව කරත්ත ගමන්කරන ශබ්දය නැඟීමට යකඩ පීප්පයක් ඒ මේ අත තල්ලූ කළ අවස්ථා ද සඳහන්වේ.

1925 දී එල්ෆින්ස්ටන් සිනමා ශාලාව ගොඩනැඟීමට පෙර එම ස්ථානයෙහි පැවිලියන් නමින් නෘත්‍ය ශාලාවක් ඉදිකොට තිබිණි. එනමින් එය හඳුන්වනු ලැබුවේ එවකට ලන්ඩන්හි පැවැති පැවිලියන් නම් සංගීතායතනයේ නම අනුව යැයි කියනු ලැබේ. මරදානේ සුප‍්‍රකට වෙළෙඳ ව්‍යාපාරිකයකු වූ බී. ජේ. පෙරේරා නම් මහතකු විසින් කොළඹ නගර සභාවෙන් අනුමත අවුරුදු බද්දක් පිට ලබාගත් භූමිභාගයක පිහිටුවන ලද මෙම පැවිලියන් නෘත්‍ය ශාලාවේ එවකට සිංහල නාට්‍ය සිය ගණනක් ප‍්‍රදර්ශනය කරනු ලැබීය. එහි නාට්‍ය රඟදැක්වීම සඳහා ආධාර ලබාගැනීමේ පරමාර්ථයෙන් අභිනව නෘත්‍ය සමාගම නමින් සංවිධානයක් ද පිහිටුවා තිබුණේය.

පැවිලියන් රඟහල පිහිටුවා තිබුණේ 1911 ටවර් නෘත්‍ය ශාලාව ඉදිකිරීමටත් වසර හයකට පෙර 1905 දී ය. එහි බිත්ති හා පියස්ස ද සාදා තිබුණේ බෙලෙක් තහඩු වලිනි. එය පොදු ජනයා අතර බෙලෙක් හෝල් යනුවෙන් ද හැඳින්විණි. ඒ කාලයේ කොළඹ නගරයේ වුවද විදුලි බලය රිසි පරිදි ලබාගත නොහැකි වූයෙන් එහි වේදිකාවත්, අභ්‍යන්තරයත් ආලෝකවත් කිරීමට සිදුවූයේ ගෑස් බුබුළුවලිනි.

1905 න් ඇරඹි ඉදිරි වසර කීපය තුළ නාට්‍ය බොහෝ ගණනක් නිර්මාණය කරන ලද්දේ ආර්. ජෝන් පෙරේරා හා ලියනගේ ජෝන් පෙරේරා යන මහතුන් විසිනි. ඔවුන් ලියූ නාටක පනස් ගණනක් පැවිලියන් රඟහලේ වරින්වර ප‍්‍රදර්ශනය කරනු ලැබීය. එහි නාට්‍ය රඟදැක්වීම ක‍්‍රමයෙන් අඩු වූයේ 1911 දී ටවර් රඟහල පිහිටුවීමෙන් පසුවය.

බොම්බායේ මදාන් චිත‍්‍රපට සමාගම පැවිලියන් රඟහල සහිත බිම් පෙදෙස කොළඹ නගර සභාවෙන් අනූනව අවුරුදු බද්දට ගෙන 1925 දී එහි නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට පියවර ගත්තේය. එම වර්ෂයේ ඔක්තෝබර් 19 දා එවකට කොළඹ නගරාධිපති වූ එච්. ඊ. නිවුන්හැම් මහතා ඒ සඳහා මුල්ගල තැබූ අතර අත්‍යලංකාර නෘත්‍ය ශාලාවක් ඉදිකිරීමේ සැලැස්ම නිර්මාණය කළේ සුප‍්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියකු වූ එච්. එෆ්. බිලිමෝරියා මහතාය. මුලින් එය පැලස් තියටර් යනුවෙන් නම් කෙරුණු නමුත් පසුව එල්ෆින්ස්ටන් තියටර් හෝ ‘එල්ෆින්ස්ටන්’ යනුවෙන් හඳුන්වන ලදී.

මදාන් චිත‍්‍රපට සමාගමේ ප‍්‍රධානියා නව සිනමාහල එල්ෆින්ස්ටන් යැයි නම් කළේ ඔහු බොම්බායේ සිනමාහල් පිහිටුවූ කාලයේ එහි සිටි එල්ෆින්ස්ටන් නම් ඉංග‍්‍රීසි ජාතික ආණ්ඩුකාරයාගේ සේවය ඇගයීමටය. එල්ෆින්ස්ටන් මුලින්ම කල්කටාවට පැමිණියේ 1796 දීය. ඉංග‍්‍රීසි රාජ්‍යතන්ත‍්‍රඥයකු වූ ඔහු ඉන්දියාව පිළිබඳ ඉතිහාස ග‍්‍රන්ථ කීපයක් ද ලියා ඇත. ඔහු ඉන්දියාවේ රාජ්‍ය අධ්‍යාපන ක‍්‍රමයේ ආදිකර්තෘ ලෙස ද සලකනු ලැබේ. ඉන්දියාවේ එල්ෆින්ස්ටන් නමින් සිනමාහලක් හා විද්‍යාලයක් ද පිහිටුවා ඇත.

මරදානේ මෙන්ම ඊට නුදුරුව තිබූ ක‍්‍රවුන්, අසෝකා, සෙයින්සතාන්, ඉම්පාලා වැනි චිත‍්‍රපට ශාලා ද අද දක්නට නැත. එසේ වුව ද මරදානේ ‘සිනෙසිටි’ (දමළ චිත‍්‍රපට වැඩිපුරම පෙන්වන) හා තවත් එවැනි දමිළ චිත‍්‍රපට පෙන්වන සිනමා හල් හැරෙන්නට මරදානට එදා අප හෙළ සිනමා කුමරිය බලන්නට ගිය සිනමා හල් අද ඇයට අහිමිකර ඇත්තේය. කොළඹ කොටුවේ රීගල්, රිකී, බොරැල්ලේ රිට්ස්, ලීඩෝ වැනි සිනමා හල් දුෂ්කරතා මැද ප‍්‍රශස්ත ලෙස සිංහල චිත‍්‍රපට පෙන්වීම අගය කළයුතු වන්නේය. සිංහල චිත‍්‍රපට ද අප එදා නැරඹූ එල්ෆින්ස්ටන් ටවර්… අද දියුණු තත්ත්වයට පත්කර ඇතත් සිංහල චිත‍්‍රපට තිරගත වනුයේ විශේෂ චිත‍්‍රපට උළෙලවල දී පමණි.

නාරද නිශ්ශංක

advertistmentadvertistment
advertistmentadvertistment