මරදානේදී සුවඳ හමන ”ලස්සනට පිපුණු වනමල”

86

කලබල වෙලා තේරුමක් නෑ – මම තරංග නෙල්සන්

ශ්‍රී ලාංකේය ගායන අඹරට පෑයූ ලස්සනට පිපුණු වනමල පරවී ගොසින් පසුගිය 13 වැනිදාට වසරක් සපිරිණි. වසරකුත් මාසයක් පිරෙන එළැඹෙන 14 වැනිදාට යළිත් වරක් ඒ ලස්සනට පිපුණු වනමලේ සුවඳ විදහා හරින්නට සැරසෙයි. ඒ වෙන කවුරුත් නොවේ ඔහුගේ පුතු විසිනි. ආදරණීය නිහාල් නෙල්සන් අප හැර ගොස් වසරක් පිරීම නිමිත්තෙන් ඔහුගේ පුත් තරංග නෙල්සන් ‘ලස්සනට පිපුණු වනමල්’ නමින් එළැඹෙන 14 වැනිදා සවස 6.00 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී ප්‍රසංගයක් පවත්වන්න සූදානම් වෙනවා. මේ සඳහා ශෂිකා නිසංසලා සමග ඉෂාක් බෙග් සහාය ගායනයෙන් සම්බන්ධ වන අතර සංගීතය BULLDOGS වාදක මණ්ඩලය විසිනි. කථනයෙන් තිසංක ගමගේ සම්බන්ධ වේ. Tribute to නිහාල් නෙල්සන් ‘ලස්නට පිපුණු වනමල්’ ප්‍රසංගය ගැන ඔහුගේ පුත් තරංග ‘මීවිත’ පාඨයකන්ට මෙලෙස පැවසුවා.

මරදානේදී සුවඳ හමන ''ලස්සනට පිපුණු වනමල''

● තරංග මුලින්ම ප්‍රසංගය ගැන කලා කළොත්

‘ලස්සනට පිපුණු වනමල්” Tribute to නිහාල් නෙල්සන් කියලා තමයි ප්‍රසංගය නම් කරලා තිබෙන්නේ. තාත්තා වෙනුවෙන් තමයි මේ ප්‍රසංගය පවත්වන්නේ. තාත්තා නැතිවෙලා වසරක් සපිරුණා පසුගිය වසරේ දෙසැම්බර් 13 වැනිදාට. මේ අවුරුද්දෙ ජනවාරි 09 වැනිදා තමයි තාත්තගේ උපන් දිනය තියෙන්නේ. ඒවාට සමගාමීව තමයි මේ ප්‍රසංගය පවත්වන්නේ.

● ප්‍රසංගය පවත්වන්නේ කොහේද?

‘ලස්සනට පිපුණු වනමල්’ ප්‍රසංගය පවත්වන්නේ එළැඹෙන 14 වැනිදා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී. සංගීතය සපයන්නේ BULLDOGS වාදක මණ්ඩලය. ආරාධිත ශිල්පීන් ලෙස ශසිකා නිසංසලා වගේම ඉෂාක් බෙග් සම්බන්ධ වෙනවා. මේ ප්‍රසංගය සංවිධානය කරන්නේ. පැතුම් රණතුංග. සම්බන්ධීකාරකවරයා විදිහට උපුල් නිශාන්ත කටයුතු කරනවා.

● ප්‍රසංගයේ ගායනා කරන ගීත මොනවාද?

මම බලාපොරොත්තු වෙනවා තාත්තගේ ගීත දහයත් දොළහත් අතර ප්‍රමාණයක් ගායනා කරන්න. තාත්තා ඒ කාලෙ ගායනා කළ, දැන් ගොඩක් ඇහෙන්නේ නැති ගීත තියෙනවා. ඉතින් ඒ ගීතත් එදාට ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා.

මරදානේදී සුවඳ හමන ''ලස්සනට පිපුණු වනමල''

● මේ ප්‍රසංගය රටවටා ගෙනියන්න එහෙම අදහසක් තිබෙනවාද?

ඔව් අදහසක් තිබෙනවා.

● තාත්තා නැති අඩුව කොහොමද දැනෙන්නේ.

තාත්තයි අම්මයි දෙන්නම ගැන කතා කරන්න ඕනෑ. අම්මා 2020 නැතිවුණේ තාත්තා 2023 නැතිවුණේ. ඒ දෙන්නා නැති අඩුව පියවන්න බැහැ.

ගොඩක්දෙනෙක් කිව්වෙ තාත්තා නැති වුණාට පස්සෙ ඒ ගීත නැති වෙන්න දෙන්න එපා කියලයි. මම හිතනවා ඒකට හොඳම කාලය තමයි මේ කියලා.

● ප්‍රසංග වේදිකාවෙදී ඔබට ලැබෙන ප්‍රතිචාර?

ප්‍රතිචාර නම් හොඳයි. ප්‍රසංගවලට වගේම විදෙස් සංචාර කිහිපයකටත් ආරාධනා ලැබිල තිබෙනවා.

● තාත්තා ගැන මොනවද හිතෙන්නේ?

හැමෝම හම්බවුණහම තාත්තා තමයි මතක් කරන්නේ. තාත්තා කියන්නේ අමතක වන චරිතයක් නෙමෙයි. ඒ වගේ වීරයෙක් මට කවදාවත්ම හමුවෙලා නෑ. අනික ඔහු නැති අඩුව මකන්න බෑ.

● තාත්තාගේ ගීත රීමේක්, කවර් සෝන්ග් කරන්න ආරාධනා ආවේ නැතිද?

අපොයි ආරාධනා ලැබුණා. මම කවදාවත් ඒ වැඩේට කැමැති නෑ. ගීත රීමේක් කරන එකයි, කවර්ස් කරන එකයි දෙකක්නේ. රීමේක් එකක් නම් අලුත් මෙලඩියකට ඒ ගීතයම ගායනා කරන එකනේ කරන්නේ. නමුත් කවර්ස් කරන කොට ගොඩක් අය කරන්නේ සම්පූර්ණයෙන්ම මෙලඩි එක වෙනස් කරලානේ කරන්නේ. ඉතිං ඒ වගේ දේවල් කතා කරන්නේ නෑ.

● තරංගට හිතෙනවද නිහාල් නෙල්සන්ගේ අඩුව පුරවන්න පුළුවන් කියලා?

ඒක කරන්න බෑ. ඒක පුරවන්න පුළුවන් අඩුවක් නොවෙයි. නිහාල් නෙල්සන්ලා එක්කෙනයි. නිහාල් නෙල්සන්ගෙන් මට තරංග නෙල්සන් කෙනෙක් වෙන්න පුළුවන්. මම ට්‍රයි කරන්නේ ඒකට. තාත්තත් කිව්වා කවදා හරි දවසක එහෙම වෙන්න කියලා. එයාගේ ගීතත් ආරක්ෂා කරගෙන මගේ අනන්‍යතාවක් හදාගන්න කියලා තමයි කිව්වේ.

● ඒ අරමුණට යන්න මොන වගේ සැලසුම්ද තියෙන්නේ?

මට තරංග නෙල්සන් වෙන්න තව ටිකක් කල් තියෙනවා.

● තරංග කියන්නේ නිහඬ චරිතයක් කියලත් සමහරු කියනවා.

කලබල වෙලා තේරුමක් නැහැනේ. එතකොට සෝඩ බෝතලය කැඩුවා වගේ වෙනවනේ. ආවා රැස්ටික ගියා එතැනින් ඉවරයි කියලනේ කියන්නේ. ඇත්තටම මට එහෙම වෙන්න වුවමනා නෑ. අනික කලබල වෙන්නත් වුවමනාවක් නෑ. කවදා හරි දවසක තාත්තා ආපු තැනට එන්න ඕනෑ කියන අරමුණ මටත් තියෙනවා.

● පසුගිය කාලයේ එළිදැක්වූ ගීතවලට ලැබුණු ප්‍රතිචාර?

හොඳ ප්‍රතිචාර ලැබුණා. ගොඩක් අය කතා කරලම සුබ පැතුවා.

● ඔබේම ගීත කිහිපයක් එළිදක්වනවාද?

ඔව්. මම මගේම ගීත කිහිපයක් එළිදක්වන්න තමයි සූදානම.

● තරංගත් දැන් වෘත්තීය ගායකයෙක්?

ඔව් මම දැන් වෘත්තීය ගායකයෙක්.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment