මරව මරවා වැඩ ගන්න පාසල් සනීපාරක්‍ෂාව

111

මම උසස් පෙළ ඉහළින්ම සමත් ඒත් රැකියාව පාසල්වල වැසිකිළි පිරිසිදු කිරීම…

සමහර තරුණියන් විවාහ සහතිකයට රැකියාව දාන්න බෑ කියලා කසාද නොබැඳ ඉන්නවා…

දෙසවනේ රැඳෙන විට දෑස් අගට කඳුළු උණන කතා අහුරක් ඇසිණි. ඒ කතාවල ගැබ්ව තිබුණේ රැකියා ස්ථානයේදී විඳින්නට සිදුව ඇති සිත් රිදවීම් ය. හදවත කම්පනයට පත් කරවන ඒ කතා අපට කීවේ රජයේ පාසල්වල සේවය කරන සනීපාරක්‍ෂක කම්කරුවන් පිරිසකි. අධ්‍යාපන අමාත්‍යාංශයේ පී.එල්.1 කාර්යාල සහායක තනතුරට අයත් සනීපාරක්‍ෂක කම්කරුවන් පිරිසකි. අපට කතා කළ බහුතරය තරුණියන්ය. සෙසු කිහිපදෙනා මවුවරුය. බාහිර උපාධි සහිත, උසස් පෙළ ඉහළින් සමත් වැසිකිළි පිරිසිදු කරන තරුණියන්ගේ නම්, ගම්, රැකියා ස්ථාන සමාජ ගත කිරීම ඒ තරුණ ජීවිතවලට කරන අසාධාරණයකි. එහෙයින් නම්, රැකියා ස්ථාන සඳහන් නොකර ඔවුන් කියන සංවේදී කතාව පමණක් අපි මෙසේ සටහන් කර තබන්නේමු.

‘‘අපිට පත්වීම් ලබා දුන්නේ 2018 අවුරුද්දේ. සේවයේ ස්ථිර වෙලා දැන් අවුරුදු තුනක් වෙනවා. මේ වෙනකොට මම සේවය කරන්නේ බස්නාහිර පළාතේ ජනප‍්‍රිය පාසලක. ඒ පාසලේ අධ්‍යාපනය හදාරන ළමයි දාහකට වැඩියි. මේ වෙනකොට පාසලේ කාර්යාල කාර්ය සහායක කෙනෙක් නෑ. කාර්යාල සහායක කෙනෙකුත් නෑ. ප‍්‍රධාන කාර්යාලයේ පියන් වැඬේ කරන්නෙත් මමයි. ගුරුවරුන්ට තේ හදන්නෙත් මමයි…’’

‘තේ හැදුව මිස්…’ කිව්වම තේ බොන මිස්ලා ඇවිත් වීදුරුවලට තේ දාගෙන බොනවා. ඒත් පාසලට එන සංවර්ධන මිස්ලා තුන්දෙනාට තේ වීදුරු ළඟට ගිහින් දෙන්න ඕනෑ. බීලා ඉවරවෙලා කෝප්පත් හෝදන්න මට දෙනවා. ඒවා කළේ නැති වුණොත් ඒ මිස්ලා නොක්කාඩු කියනවා. ඒ වගේම තමයි පහුගිය දිනවල බහුකාර්ය සංවර්ධන නිලධාරියෙක්ව අපේ පාසලට අනුයුක්ත කරලා තිබුණා. එයා කිසිම දෙයක් කරන්නේ නැතිව පාසලට එන අමුත්තන්ට වාඩි ගන්න තියෙන සෝෆාවේ ඉඳගෙන ෆෝන් එක ඔබ, ඔබ මාස තුනක් හිටියා. එයාට යම් වැඩක් පැවරුවොත් ‘අපිට ඕවා කරන්න කියලා නෑ…’ කියනවා. හරියට 1.30 ට රාජකාරිය අවසාන කරලා යනවා…’’

‘එයාලට රාජකාරි පවරලා නැති නිසා 1.30 ට යන්න පුළුවන්…’ කියලා විදුහල්පතිවරයාත් කිව්වා. ටික දවසක් පාසලේ සෝෆාව රත්කරලා ඒ මනුස්සයා මාරුවක් හදාගෙන ගියා. තනියෙන් වැඩ කරගෙන යන්න බෑ කියලා කිහිප විටක්ම මම තව කෙනෙක් ඉල්ලූවා. ‘මේ දවස්වල පත්වීම් දෙන්නේ නෑ…’ කියලා ඒ සෑම අවස්ථාවකදීම විදුහල්පතිවරයා මගහරිනවා. මට කිසිම විවේකයක් නෑ. උදේ 6.45 ට රාජකාරිය පටන් ගත්තට පස්සේ සමහර දවස්වලට වැඩ ඉවර වෙන්නේ සවස 5.30 ට විතර. තේ වේලාවෙන් පස්සේ දවසට දෙපාරක් සින්ක් පිරිසිදු කරන්න ඕනෑ. දිනපතා වැසිකිළි විසිහතරක් පිරිසිදු කරන්න ඕනෑ. දරුවො දෙන්න ඉගෙන

ගන්නෙත් මම වැඩ කරන පාසලේමයි. මම වැසිකිළි හෝදනවා දැකලා සමහර ළමයි ‘උඹලගේ අම්මා ටොයිලට් හෝදනවා නේද…’ කියලා සමච්චල් කරලා තිබුණා. මගේ දරුවො දෙන්නව අපහසුතාවට පත් කරන්න බැරි නිසා පාසල අවසාන වෙලා ළමයි සේරම පිටව ගියාට පස්සේ තමයි වැසිකිළි හෝදන්න ගන්නේ. ළමයි පිට්ටනියේ ක‍්‍රීඩා කරන දවස්වලට ඒ ළමයි පිටවෙනකම් ඉඳලා ටොයිලට් හෝදන්න ගන්නකොට හවස පහ විතර වෙනවා. සේරම ටොයිලට් ටික හෝදලා ඉවර වෙනකොට කළුවර වැටෙනවා. අපේ ගමට යන්න බස් නෑ. කිලෝමීටර් ගාණක් පයින් ගාටලා ගෙදරට යනකොට රෑ 7.30 විතර වෙනවා. පාසල් නිවාඩු කියලා අපිට නිවාඩු නෑ. සතියේ දිනවලට උදේ 6.45 ට පාසලට ඇවිත් මිදුල් අතුගාලා පැළ හිටවන වැඩ කරලා හවස 3 ට විතර තමයි ගෙදර ගියේ. අවස්ථා කිහිපයකදී ජොබ් එකෙන් ඉවත් වෙන්න කල්පනා කළා. ඒත් මගේ මහත්තයා නැති වෙලා. දරුවො දෙන්නා තවම පොඩි නිසා දුක්විඳ ගෙන රැකියාව කරගෙන යන්න තීරණය කළා…’’

‘‘සනීපාරක්‍ෂක කම්කරු රැකියාවක් කළාට මම පානදුර ප‍්‍රදේශයේ ජනප‍්‍රිය බාලිකාවකින් උසස් පෙළ ඉහළින්ම සමත් වෙලා ඉන්නේ. එහෙම අධ්‍යාපන සුදුසුකම් තියාගෙන මගේ රැකියාව ‘සනීපාරක්‍ෂක කම්කරු’ කියලා කටක් ඇරලා කාටවත් කියන්න බෑ. මේ රස්සාව කරන සමහර තරුණ ගැහැනු ළමයි විවාහ සහතිකයට රැකියාව දාන්න බෑ කියලා කසාද නොබැඳ ඉන්නවා…’’ ඇයට තවම වයස අවුරුදු හතළිස් පහක් නැත. ස්වාමිපුරුෂයාගේ ද රැකවරණය අහිමි ඒ දරු පවුල නඩත්තු කරනුයේ ඇයට ලැබෙන මාසික වැටුපෙනි. එහෙත් ඇය බලාපොරොත්තු වන්නේ වැඩි වැටුපක් නොවේ. දරුවන් දෙදෙනාට අවනම්බුවක් නොවන ආකාරයට රැකියාව කරගෙන යෑමට පුංචි අවස්ථාවකි. ඇයගේ කතාවට එකතු වූ අඩු, වැඩි එමටය. මේ එවැනිම අසරණියක් කියන තවත් කතාවකි.

මරව මරවා වැඩ ගන්න පාසල් සනීපාරක්‍ෂාව

‘‘මම වාණිජ අංශයෙන් උසස් පෙළ හොඳටම සමත්. පෙර පාසල් ඩිප්ලෝමා පාඨමාලාවක් කරලා තියෙනවා. බැංකු පාඨමාලාවක් කරලා තියෙනවා. ඩබල් ඒ. ටී. පාඨමාලාවේ දෙවැනි කොටස වෙනකම් කරලා තියෙනවා. මගේ මහත්තයා ප‍්‍රසිද්ධ බැංකුවක කළමනාකරුවෙක් විදිහට සේවය කරනවා. අපිට රජයේ පත්වීමක් ලබාදෙන කොට මේ විදිහට වැඩ කරන්න වෙයි කියලා හිතුවේ නෑ. අපි සේවයෙන් පහත් නිසා කාර්යාල සහායක සේවකයොත් අපිට වැඩ පවරනවා. ඒ වැඩ කළේ නැති නම් ඉහළට දැනුම් දෙනවා. එතකොට අපිට ප‍්‍රශ්න. අලූතින් අනුයුක්ත කරලා තියෙන බහු කාර්ය සංවර්ධන සහායක සමහර සේවකයන්ට අත්සන් කරගන්නත් බෑ. ඒත් ඒ සේවකයො අපිට වඩා උසස් තැනක ඉන්නවා…’’

‘‘දැන් මම මේ පාසලට ඇවිත් අවුරුදු තුනක් වෙනවා. විශාල පාසලක්. ළමයි තුන්දහස් ගාණක් ඉගෙන ගන්නවා. ටොයිලට් 57 ක් තියෙනවා. දවසකට තුන් වරක් සියලූම ටොයිලට් හෝදන්න ඕනෑ. අපි දෙන්නෙක් ඉන්නවා. ඒත් දැන් ඉන්නේ මම විතරයි. දිනපතා ඒ වැඩ ටිකත් කරලා තවත් වැඩ ගොන්නක් මට කරන්න වෙලා තියෙනවා. කාර්යාලයේ අතුපතු ගාන වැඩ. පොත් ගබඩාවේ වැඩ. පාසල් වත්තේ වල් නෙළන වැඩ. පිරිමි සේවකයෙක් නැති දවසට ඔවුන් කරන වැඩ විදිහට වතුර බට කැඩුණම හදන්න ඕනෑ. මෝටර් වැඩ කරන්නේ නැති වුණාම බලන්න ඕනෑ. ගස්වල අතු කපන්න ඕනෑ. පොත් ලොරියක් ඇවිත් බාන්න කොච්චර පිරිමි හිටියත් එයාලගේ රාජකාරි කාලය අවසාන වෙච්ච හැටියේ වැඩ නතර කරනවා. අපි සේවයෙන් පහළ නිසා ඒ පොත් ටික සේරම බාල තමයි රාජකාරිය අවසාන කරන්න ඕනෑ. ගෑනු… ගෙවල්වලට යන්න රෑ වෙනවා කියලා සමාවක් නෑ. ඒ වගේම දවසකට අපට තියෙන වැඩ ටික කරනකොට ඇඬෙනවා. ඒත් මහන්සිය නිවා ගන්නවත් අපිට කියලා වෙනම තැනක් නෑ. ඒ වගේම කොච්චර වැඩ කළත් අපේ සේවයට කිසිම ගෞරවයකුත් නෑ…’’

‘ටොයිලට් හෝදන නැන්දට එන්න කියන්න…’ සමහර ගුරුවරු පාසලේ දරුවන්ට අපිව හඳුන්වා දෙන්නේ ඒ විදිහට. දැන් අපිට ළමයි කතා කරන්නේ ටොයිලට් හෝදන නැන්දා කියලා. එහෙම වුණාම කලකිරෙනවා. ඒත් ඉතිං කරන්න දෙයක් නෑ. කාලය අවසාන වෙනකම් බැඳගත්ත බෙරය ගහන්න ඕනෑ. අදාළ බලධාරීන් අපේ අධ්‍යාපන සුදුසුකම් ගැන අවධානය යොමු කරලා යම් ඇගයීමක් ලබාදෙනවා නම් ඒක ලොකු පිනක්…’’ පාසල් සනීපාරක්‍ෂක කම්කරුවන් කතාකර ඉවර නැත. මෙතැන් සිට පෙළගැසෙන්නේ ඒ අසරණයන්ගේ පොදු හඬය.

‘‘අනධ්‍යන සානීපාරක්‍ෂක සේවකයන්ගේ ගැටලූ විසඳගන්න මේ වෙනකොට සංගමයක් පිහිටුවාගෙන තියෙනවා. ඒ සංගමයට මාසිකව අපෙන් රුපියල් 50 ක් කපා ගන්නවා. ඒත් තවම අපේ ගැටලූ විසඳුනේ නෑ. අපේ ප‍්‍රශ්න කියලා ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන්නා. අපේ ළමයි බාහිර උපාධි කරන විශ්වවිද්‍යාලවල තොරතුරු ඇතුළත් කළා. බාහිර උපාධි තියෙන ළමයිගේ තොරතුරු ඇතුළත් කළා. ඒත් එම ලියුම්වලට ජනාධිපතිවරයාගෙන් පිළිතුරක් ලැබුණේ නෑ. පසුව අපි ජනාධිපතිවරයා හමුවෙලා ප‍්‍රශ්න කියන්න උත්සාහ කළා. ඒත් තවම ජනාධිපතිවරයා හමුවෙන්න අවස්ථාව ලැබුණේ නෑ. ගෝඨාභය ජනාධිපතිවරයා පත්කර ගැනීමට අපි සියලූදෙනා එකා වගේ ඡුන්දය ලබා දුන්නේ උගත්, බුද්ධිමත් නායකයෙක් විදිහට සුදුස්සාට සුදුසු තැන ලබාදෙමින්, වල් වැදුණු අපේ රට යහපත් දිසාවකට ඔසවා තබයි කියන විශ්වාසය මතයි. ඒත් රටේ ජනතාවට සිද්ධ වුණේ කබලෙන් ලිපට වැටෙන්න…’’

‘‘මේ රජය බලයට ඇවිත් ටික කාලයකින් අට සමත් ලක්‍ෂයකට බහුකාර්ය සංවර්ධන සහායක නිලධාරීන් කියලා පත්වීම් ලබා දුන්නා. රට පුරා පාසල්වලට එම පත්වීම් ලාභීන් අනුයුක්ත කළා. ජනාධිපතිවරයාගේ විශේෂ නියෝගයකින් ඒ පත්වීම් ලාභීන්ව පාසල්වලට අනුයුක්ත කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කියනවා. ඒ වගේම එම පත්වීම් ලාභීන්ව පාසල්වලට අනුයුක්ත කරන්නේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මගින්. එම නිලධාරීන්ව පාසලට අනුයුක්ත කරන ලිපියේම ‘සනීපාරක්‍ෂක කටයුතුවලින් තොර යැයි’ කියලා සඳහන් කරලා තියෙනවා. පාසලට අනුයුක්ත කරන ලිපියේම එහෙම සඳහන් කරලා තියෙනකොට ඒ සේවකයන් කොහෙත්ම සනීපාරක්‍ෂක වැඩ කරන්නේ නෑ…’’

‘අපිට පත්වීම් ලබාදුන්නේ අපේ ජනාධිපති… ටොයිලට් හෝදන්න අපිට කියලා නෑ. ටොයිලට් හෝදන්න පත් කරලා තියෙන්නේ ඔයලාව…’ වැඩ වැඩිම දවස්වලට ඒ සේවකයන්ගෙන් උදව්වක් ඉල්ලූවම එහෙම කියනවා. අටවත් සමත් නැති සමහර සේවකයො එහෙම කියනකොට බාහිර උපාධි තියාගෙන වැසිකිළි හෝදන අපිට දුකයි. සමහර පාසල්වල විදුහල්පතිවරු ඒ සේවකයන්ට වැඩක් පැවරුවත් නොකර ඉන්න අය ඉන්නවා. ඒ වගේම බහුකාර්ය සංවර්ධන සහායක නිලධාරීන් නිතර කියන දෙයක් තමයි ‘අපිට කෘෂිකර්මයෙන් සහතිකයක් දීලා තියෙනවා. ඒක සාමාන්‍ය පෙළ විභාගයටත් වඩා උසස්. කෘෂිකර්මයෙන් දෙන සහතික සාමාන්‍ය පෙළටත් වඩා උසස් නම් අපේ රටේ අධ්‍යාපනයෙන් ඇති වැඩක් නෑ. අධ්‍යාපන බලධාරීන්ට මේ ප‍්‍රශ්න ගැන කොච්චර කිව්වත් වැඩක් නෑ…’’

‘ඉහළින් එන නියෝග… අපිට මේවාට මැදිහත් වෙන්න බෑ… ඔයලා මොනවහරි කරන්න බලන්න…’ කියනවා. සමහර පාසල්වල විදුහල්පතිවරු අපේ සේවකයන් ගැන අනුකම්පා කරලා කාර්යාල සහායක වැඩ ටික විතරක් අරගෙන සනීපාරක්‍ෂක කටයුතුවල යොදවන්නේ නෑ. ඒ වැසිකිළි පිරිසිදු කරන්න වෙනම සේවකයො කුලියට ගන්නවා. ඒ කුලී ගෙවන්නේ විදුහල්පති, ගුරුවරු සල්ලි එකතු කරලා. ඒ වගේ සංවේදී විදුහල්පතිවරු, ගුරුවරු ඉන්න පාසලූත් තියෙනවා. මා ගැන අනුකම්පා කරලා අපේ පාසලේ විදුහල්පති අපිට වැසිකිළි පිරිසිදු කරන්න දෙන්නේ නෑ. ඒකට වෙනම කුලී සේවකයෙක් දාලා තියෙනවා. ඒ වගේම මම රජයේ විශ්වවිද්‍යාලයක බාහිර උපාධිය හදාරමින් ඉන්නේ. ඒ ගැන අපේ පාසලේ ගුරුවරු සතුටින් අගය කරනවා…’’

‘ටොයිලට් හෝදන නැන්දට කතා කරන්න…’ ළමයි ඉදිරියේ ඒ විදිහට අපිව හඳුන්වන විදුහල්පතිවරු, ගුරුවරු ඉන්න පාසලූත් තියෙනවා. සමහර පාසල්වල විදුහල්පතිවරු, සර්ලා අපේ ගෑනු ළමයින්ට අයතු යෝජනා කරලා ඔවුන්ගේ සිතැ`ගි ඉටු වුණේ නැති වුණාම නොසෑහෙන්න පිඩාවට පත් කරනවා. වෙනත් පාසලකට මාරුවෙලා ගියත්, ඒ පාසලේ විදුහල්පතිවරයාට කියලා අපිව අපහසුතාවයට පත් කරනවා. ඒ ගුරුවරු හදන්නේ ටොයිලට් හෝදන තත්ත්වයෙනුත් අපිව පහළට ඇදලා දාන්න. ඒ වගේ කාමතුර විදුහල්පති, ගුරුවරු අතර දෙවිවරු වගේ විදුහල්පති, ගුරුවරු ඉන්න බව නැවත වරක් මතක් කරන්න ඕනෑ. අපි මේ හැම කරදරයක්ම ඉවසගෙන ඉන්නේ ජීවත්වෙන්න රැකියාවක් ඕන නිසයි. ඒ වගේම අපි කිසිම කෙනෙක් මහ ලොකු පඩි බලාපොරොත්තු වෙන්නේ නෑ. අපේ අධ්‍යාපන සුදුසුකම්වලට සාධාරණයක් කරමින් පුස්තකාල සේවක හෝ රසායනාගාර සේවක තනතුරක් අපිට ලබාදෙන්න කියලයි ඉල්ලන්නේ. බස්නාහිර පළාතේ පාසල්වල පමණක් පුස්තකාල, රසායනාගර සහායක පුරප්පාඩු තුන්සීයක් විතර තියෙනවා. අධ්‍යාපන සුදුසුකම්වලට අනුව ඒ පුරප්පාඩුවලට අපිව පත්කරන්න කියලා රජයෙන් ඉල්ලා සිටිනවා…’’ අපට කතාකළ සියලූ පාසල් වල සනීපාරක්‍ෂක සේවකයන්ගේ එකම ඉල්ලීම අධ්‍යාපන සුදුසුකම්වලට සාධාරණයක් කරන ලෙසය.

ඒ අසරණියන්ගේ කතාව ඇසෙන විට දුක හිතුණේ ඔවුන් ගැන නොවේ. අප ජීවත්වන රට ගැනය. අධ්‍යාපන සුදුසුකම් අවම මට්ටමේ තියෙන ඇතැම් සේවකයන් පුටු රත්කරමින් වැටුප් ලබාගන්නා විට විශිෂ්ට ලෙස උසස් පෙළ සමත්, බාහිර උපාධි සහිත සේවකයන් වැසිකිළි පිරිසිදු කරන තැනට පත් වී සිටිති. රටේ පාසල් පද්ධතිය තුළ ඇත්තේ මෙවැනි තත්ත්වයක් නම් මේ රටේ අනාගතය ගැන කවර කතාද? එමෙන්ම මෙරට බොහෝ ක්‍ෂේත‍්‍රවල සුදුස්සාට සුදුසු තැන නොලැබේ. නුසුදුස්සෝ තීන්දු තීරණ ගන්නා මේ රටේ සියලූම ක්‍ෂේත‍්‍ර අවුල්ය. ඩොලර් නැත, ඉන්ධන නැත. ඒ දෙක නැති විට රටේ මුළු ආර්ථිකයම අඩපණය. එමෙන්ම සුදුස්සාට සුදුසු තැන නොලැබීම තුළ රැකියාවෙන් තෘප්තියක් නොලැබේ. තෘප්තියක් නොලැබීම තුළ රැකියාවට ආදරය නොකරති. සේවකයන් රැකියාවට ආදරය නොකර ආයතනයක් දියුණු කළ නොහැකිය. රටක් දියුණු කළ නොහැකිය. අද අපේ රටේ බොහෝ ක්‍ෂේත‍්‍රවල සේවකයන් තෘප්තිමත් නැත. මේ රට මෙතරම් අගාධයකට වැටීමට එයද එක් හේතුවකි. කාලයක් තිස්සේ වල් වැදී එන අදටත් ක‍්‍රියාත්මක මේ ක‍්‍රමය වෙනස් නොවෙන්න මේ රට හෙටත් අඳුරේය…

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment