පසුගිය සතියේ ක්‍රීඩා පිටිය තුළ වඩාත්ම කතාබහට ලක්වූයේ වයස අවුරුදු 20 න් පහළ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලාංකේය යොවුන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳවයි. පේරු රාජ්‍යයේදී පැවැත්වෙන මෙම තරගාවලිය එහි අගනුවර වන ලිමා නුවරදී පැවැත්වෙන අතර තරගාවලිය අගෝස්තු 27 සිට අගෝස්තු 31 දක්වා දින 5 ක් පුරා පැවැත්වෙනවා. මේ වන විට වයස අවුරුදු 20 න් පහළ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය ලෙස හැඳින්වෙන මෙම ක්‍රීඩා උළෙල මින් පෙර නම් කර තිබුණේ කනිෂ්ඨ ලෝක ශූරතාවලිය ලෙසයි. කෙසේ වුවත් මෙම තරගාවලිය හැඳින්විය හැක්කේ සමස්ත ලෝකයේම යොවුන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඔලිම්පික් උළෙල ලෙස බව විචාරකයන්ගේ අදහස වනවා. ඒ අනුව මෙවර තරගාවලිය සඳහා ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ වැජඹෙන ලොව ප්රබලතම රටවල් 134ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1720 ක් සහභාගිවීමට නියමිතයි. තරගාවලියට ඇතුළත් ක්‍රීඩා ඉසව් ගණන 45ක්. ලොව අග්‍රගණ්‍ය ක්‍රීඩා මහෝත්සවය වන ඔලිම්පික් කරා ගමන් කිරීමේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඒ සඳහා අත්දැකීම් ලබාගත හැකි වටිනාම සහ ආසන්නතම අවස්ථාව ලෙසත් මෙම තරගාවලිය හැඳින්විය හැකි වීම විශේෂත්වයක්. ඒ බව මනාව පැහැදිලි වන්නේ මෙම තරගාවලිය සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100ක්, ජර්මනියෙන් 92ක්, ඔස්ටේ්රලියාවෙන් 68 ක්, ස්පාඤ්ඤයෙන් 52ක්, මහා බි්රතාන්යයෙන් 39ක් සහ චීනයෙන් 35ක් ලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන් යොමුකර තිබීම අනුවයි. මීට අමතරව අසල්වැසි ඉන්දියාවෙන් මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 43ක් ද, ජපානයෙන් 40 ක් ද, කොරියාවෙන් 14ක් ද ඇතුළත්ව සිටිනවා. ඒ අනුව පෙනී යන්නේ මෙවරත් මෙම තරගාවලිය අතිශයින්ම තියුණු තරගකාරීත්වයක් සහිත ප්‍රබල තරගාවලියක් වන බවයි. මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායමක් සහභාගි කරවීම මෙරට ක්‍රීඩා අනාගතය සම්බන්ධයෙන් සිදුකළ යුතු දැවැන්තම ආයෝජනයක් බව මේ අනුව අතිශය පැහැදිළි කරුණක්. රාජ්‍යයක් ලෙස තරගාවලියට අප සතු සූදානම කතාබහට ලක්වන්නේ මෙම වටපිටාව තුළ වීම අප විසින් අවබෝධකරගත යුතු වන්නේ ඒ අනුවයි.
අපි පේරු යන අපූරු විදිහ
මෙවර වයස අවුරුදු 20 න් පහළ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 ක් සහ නිලධාරීන් 4ක් සහභාගි වනවා. ඔවුන් කාණ්ඩ 3 ක් ලෙස පේරු රාජ්‍යයේ ලිමා නුවර වෙත ළඟා වීමට නියමිතයි. ඒ තරගාවලියේ කාල සටහන අනුව ඔවුන්ට තරග කිරීමට සිදුවන දින පිළිබඳ සිතා බලා වීම විශේෂත්වයක්. මෙම වයස අවුරුදු 20 න් පහළ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2024 වසරේ ජූනි මාසය වන විට සුදුසුකම් ලබා අවසන්. ඒ අනුව ඔවුන්ට තරගාවලියට සහභාගිවීමට මාස දෙකක කාලයක් ඉතිරිව තිබුණා. ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා සම්මේලනය මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය පහසුකම් සැපයීම ආරම්භ කළ යුත්තේ මෙම සුදුසුකම් ලබාගැනීම සපුරා ගත් පසුව බව සිතීම සාධාරණ කරුණක්. එහෙත් මෙවර අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම තරගාවලියට සහභාගිවීම සඳහා අවශ්‍ය මූල්‍යමය සහ අනෙකුත් මූලික පහසුකම් හිමිවූයේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදීයි. එතෙක් අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිටියේ වැට උඩයි. මෙය මානසිකව මෙන්ම කායිකවද ඔවුන්ට අත්විඳීමට සිදු වූ අපහසුතාවයක් බව පැවසිය යුතුම කාරණයක්. අවසාන මොහොතේ අවශ්‍ය ලියැකියවිලි සහ අනෙකුත් දේවල් සම්පාදනය කරගැනීමට මෙම යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුවීම කෙතරම් දුෂ්කර කටයුත්තක් විය හැකිද? විශේෂයෙන්ම මෙම කණ්ඩායම තුළ සිටින සමහර ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොළඹින් බොහෝ දුර බැහැර සිටීම ඔවුන් වඩාත් අපහසුතාවයට පත්කරන්නක්. රටේ පැවති දේශපාලන සිදුවීම් සහ ඒ අනුව වෙනස්වන ක්‍රීඩා අමාත්‍යාංශ හැසිරීම් මෙම අවසන් මොහොතේ ගනු ලබන තීරණ සඳහා මූලිකවම බලපෑ බව පැහැදිළි වනවා. කෙසේ වෙතත් මෙහි අනර්ථකාරී ප්‍රතිඵලය භුක්ති විඳීමට සිදුවන්නේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ සමස්ත රටටයි. අනෙකුත් සෑම රටක්ම පාහේ තම රටේ ක්‍රීඩා සැලැස්ම වසර ගණනාවක් පුරා දිවෙන ජාතික ක්‍රියාවලියක් ලෙස හඳුනාගෙන ඒ අනුව ක්‍රියාත්මක වෙද්දී අපි වැට උඩ සිට අනූනමයෙන් තරගාවලියකට සහභාගි වීම කෙතරම් නම් සැළකිල්ලට ගත යුතු කාරණයක්ද? මෙවර තරගාවලියට සහභාගි වන රටවල් අතුරින් වැඩිම දුරක් ගෙවා තරගාවලියට සහභාගි වීමට ඇති රටක් ලෙසත් අඩුම කාලයක් සිය සූදානම් වීම සඳහා පේරු රාජ්‍යයේ ගතකරන රටක් ලෙසත් ශ්‍රී ලංකාව වාර්තා පොත් අතරට එක වනු ඇති. ආසන්න වශයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පැය 29 ක පමණ ගමන් කාලයක් මේ සඳහා වැය කිරීමට සිදුව ඇති අතර තම මූලික තරග සඳහා සහභාගි වීමට ඇත්තෙත් ඒ හා සමාන කාලයක් වීම කෙතරම් අහිතකර විය හැකිද? මේ අනුව අඩුම තරමේ වසරක් තුළ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ඇති ජාත්‍යන්තර තරගාවලි ගණන සහ ඒ සඳහා ඇති සූදානම, දැරිය යුතු පිරිවැය, ඒවා වෙනස් වේනම් ගත යුතු ක්‍රියාමාර්ග වැනි අතිශයින්ම සාමාන්‍ය කාරණා පිළිබඳව සලකිලිමත්වීමට අපොහොසත් වීම හරහා පෙනෙන්නේ ශ්‍රී ලංකාව ලෙස අපගේ දුප්පත් බවයි. රටක් ලෙස අපිට කිසියම් තරගාවලියකට සහභාගිවීමට ඇති හැකියාව ගැන දෙවරක් සිතන්නට වී ඇත්නම් තරග ජයග්‍රහණ ගැන සිතන්නට වන්නේ කවදාද? මෙම තරගාවලියට පේරු ගිය අපේ කණ්ඩායමේ අපූරු ගමන විශේෂ වන්නේ මේ අනුවයි.
පේරු ගිය අපේ කණ්ඩායම
මෙවර පේරු බලා පිටත්ව යන ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රධාන තරග ඉසව් 10 කට සහභාගි වීමට නියමිතයි. ඒ අතුරින් පිරිමි මීටර් 100 තරග ඉසව්ව සඳහා දිනුත් ඉඳුවර, මෙරෝන් විජේසිංහ, ඉඳුසර විදුශාන් සහ මලිත් කව්ශාන් තමෙල් යන ක්‍රීඩකයන් සහභාගි වනවා. පිරිමි මීටර් 200 තරග ඉසව්ව සඳහා මලිත් කව්ශාන් තමෙල් සහ ඉඳුසර විදුශාන් සහභාගිවීමට නියමිතයි. පිරිමි මීටර් 100 තරග ඉසව්ව වෙනුවෙන් මෙරෝන් විජේසිංහ සමග සුදුසුකම් ලබා ඇත්තේ දිනුත් ඉඳුවරයි. පිරිමි මීටර් 400 ඉසව්ව සඳහා ජත්යා කිරුළු සහ අයේෂ් මිහිරංග සහභාගි වනවා. එසේම පිරිමි මීටර් 110 කඩුලු පැනීම ඉසව්ව නියෝජනය කරන්නේ සඳුන් කෝසලයි. ආයෝමාල් අකලංක පිරිමි මීටර් 400 කඩුලු පැනීම සඳහා සහභාගි වනවා. පිරිමි උස පැනීම වෙනුවෙන් දිනූෂාන් මෙන්ඩිස් සහ ලෙසඳු අර්ථවිදු සහභාගි වීමට නියමිතයි. යොවුන් ක්‍රීඩිකාවන් ලෙස දුර පැනීම සහ තුන් පිම්ම ඉසව් සඳහා මදුෂානි හේරත් සුදුසුකම් ලබා තිබීම විශේෂත්වයක්. ඇය මෙවර තරගාවලිය තුළ අපේක්ෂා සහගත ක්‍රීඩිකාවක් වී තිබෙනවා. ඊට අමතරව මීටර් 400 කාන්තා තරග ඉසව්ව නියෝජනය කිරීමට ජිත්මා විජේතුංග සුදුසුකම් ලබා තිබෙනවා. ජයග්‍රහණයේ මූලිකම අඩිතාලම වන සහභාගිත්වය මෙම තරගාවලිය තුළ ශ්‍රී ලංකාවේ අපේක්ෂාව විය යුතුයි. එසේම මෙම තරගාවලිය සඳහා මෙතරම් ප්‍රමාණයක් සහභාගි වන පළමු අවස්ථාව මෙය වීමද ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණයක්.
සුනිල් සෝමසිරි