මීවිතේ ගීවිත

64

මල් වාගේ දුවේ පුතේ ලොකු අයටත් අඩගහලා
ජීවිතයේ කතන්දරේ කියා දියන්නේ……….

පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ….
රංචු ගැසී හාද වෙලා මල් හසරැල්ලේ….

පුංචි දේට කතා වෙලා රණ්ඩු වෙලා වෛර බැඳන්
කතා නොමැති ගෙවල් තුනක දූල පුතාලා
අම්මලාට හොරෙන් ඇවිත් සෙනෙහෙ සිතින් යාළු වෙලා
පුංචි පැටව් එක පවුලකි වෙල් ඉපනැල්ලේ….

පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ…..

දෙමාපියන් කතා නැතිව වෛර වුණත් ඒ වාගේ
පුංචි සිතේ වස විස නෑ ලොකු සිත් වාගේ
මල් වාගේ දුවේ පුතේ ලොකු අයටත් අඬගහලා
ජීවිතයේ කතන්දරේ කියා දියන්නේ

පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ….


ගායනය : නීලා වික්‍රමසිංහ
ගේය පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීත නිර්මාණය : රෝහණ වීරසිංහ

මීවිතේ ගීවිත

මගේ පියා ස්ථිර පදිංචිය සඳහා තෝරා ගන්නේ කළුතර දිස්ත්‍රික්කයේ කෙළවර තෙත් කලාපීය වැසි වනාන්තරවලට ආසන්නව පිහිටි ගමක්. තරුණ කාලයේ දී කොළඹ නගරයේ ආයුර්වේද වෙදකම හැදෑරූ එතුමා මෙපමණ දුරකට පැමිණ පදිංචි වීම ගැන මට කුඩා කල තිබුණේ එක්තරා විශ්මයක් සහ ප්‍රශ්නයක්. එහෙත් පසුවයි මා දැනගත්තේ දෙවන ලෝක යුද්ධය සමයේ නගරය ආශ්‍රිතව සිටිනවාට වඩා ඈත ගම් නියම්ගම් වල ගතකිරීම සුවදායක සහ ආරක්ෂාකාරී වූ බව. ඇත්තෙන්ම අද දවසේ නගරයේ පෝලිම් වල ගතකරන අපට යළිත් ගැමි ජීවිතයේ ඇති නිරවුල් ගති සොබාව ගැන දැනෙන්න පටන් ගෙන තියෙන්නා වගේ.

අක්කර කිහිපයක බිමක් මිලදීගෙන, එළිපෙහෙළි කරගෙන 1940 දශකයේ අගදී අම්මා සමග ඒ ගමට ගිය මගේ පියා මෙම ප්‍රදේශයේ එකම දේශීය වෛද්‍යවරයා බවට පත්වුණා. මගේ එකම අක්කා උපදින්නෙ පනහ දශකයේ මුල. මගේ පියා තමන්ට හුරුපුරුදු නගරයේ රෝහල වෙත අම්මාව ඇතුළත් කරන්නේ අක්කාගේ උපත සිදුවීම ආරක්ෂිතව විය යුතුය යන ප්‍රාර්ථනාවෙන්. ඒ දින ගණනාවම මගේ පියා ගත කරන්නේ නගරයේ හිතමිතුරන්ගේ නිවෙස් වල. සතියකට පමණ පසු අක්කාගේ  උපත සමග තිදෙනාම ආපසු ගමට එන්නේ එක්තරා රාත්‍රී යාමයක කුලී රියකින්. රාත්‍රිය මුදුන් වෙද්දී අපේ නිවස තිබෙන බිමේ ඈතින් කැලෑ රොද තුළින් කුඩා දරුවකුගේ කෙඳිරිලි හැඬීමක හඬ ඇහෙනවා. අසල්වැසි වැඩිහිටියකු කැඳවා ගන්නා පියා හුළුඅතු එළියෙන් ඒ දෙසට යන විට දකින්නේ කිසිදා නොසිතූ දසුනක්. අපේ නිවස බිමේ ඈත කෙළවරකට වන්නට පොල් අතු කිහිපයකින් වටකරගත් තාවකාලික ඇටවුමක් ඇතුළේ තරුණ යුවලක් සමග මාස කීපයක් වයසැති කුඩා දැරිවියක් සීතලෙන් ගුලි වෙලා සිටිනවා. දරුවා කුසගින්නේ සහ සීතලේ හඬනවා. ඇස් අදහා ගන්නට බැරි මේ සිද්ධියෙන් කම්පනය වන මගේ පියා ඔවුන්ගේ ආ ගිය තොරතුරු විමසනවා. තම දෙමව්පියන්ට හොර රහසේ හඳපානේ දීග ගිය මේ යුවළ කුළුඳුල් දරුවා ලැබීමත් සමග යළි ගමට ආ දිනයේ ඔවුන්ගේ දෙමහල්ලන් ඔවුන් ප්‍රතික්ෂේප කර එළවා දැමූ මොහොතේ, යා යුතු තැනක් හසරක් නොදුටු තැන, ගම්මුන්ගෙන් කෙනෙක් තාවකාලිකව ලැගුම් දී ඇත්තේ මෙතැනයි. මගේ පියා මේ බව සැණින් අම්මාට පවසනවා. ඒ වන විට මගේ අක්කාත් කිරිකැටි බිලිඳියක් නිසාම මගේ දෙමවුපියන්ගේ  හිත් උණු වෙනවා. මේ යුවළට නවාතැන් පිණිස අවශ්‍ය අඩුමකුඩුම සපයා දී ඔවුනට පදිංචි වීමටත් අක්කර කිහිපයක වපසරියෙන් යුත් අපේ ගෙදර බිමෙන් කෙළවරක බිම් කොටසක් මේ යුවළට මාගේ පියා පරිත්‍යාග කරනවා. සිහින් දොළ පාරකින් වෙන් වූ බිම් කොටසක් ඒ නිසා ඔවුනට හිමි වෙනවා.

මා උපදින්නේ ඉන් වසර හයකට පමණ පසුවයි. ඒ වන විට අර කිවූ නිවසේ දරුවන් ගණනක්ම ඉපදිලා. මගේ වයසට සම වයසැති පිරිමි දරුවකුත් ඉපදිලා. ඉන් පසුවත් දරුවො කිහිප දෙනෙක්! සියල්ලම නම දෙනෙක්. පවුල විශාලයි. ස්ථිර ආදායමක් නැති ඒ නිවසේ ප්‍රධානියා කළේ කැලයට ගොස් බට සහ වේවැල් කපාගෙන ඇවිත් වට්ටි, පෙට්ටි ආදිය වියා විකිණීම, කොසු ඉදල් සැකසීම වැනි තාවකාලික රැකියාවන්.

බරපතළ දරු පවුල නඩත්තු කිරීමේ මහන්සිය සහ නිසි අධ්‍යාපනයක් නොලැබූ ජීවන චර්යාව නිසා මේ පුද්ගලයා ටිකෙන් ටික විපරීත අදහස් ඇති වෛරක්කාර සිතුවිලි වලින් පිරුණු පුද්ගලයෙක් බවට පත්වෙනවා. මගේ පියා අත්පත් කර දුන් ඉඩමෙහි රබර් වගා කරන ඔහු ටිකෙන් ටික අපට අයත් බිම් කොටසත් ආක්‍රමණය කරන්නට පෙලඹෙනවා. ඒ ගැන ප්‍රශ්න කළ විට මගේ පියාට නොසරුප් ආකාරයෙන් බැණ වදිනවා. රණ්ඩු සරුවල් වලට අකමැති මගේ පියා මේ වැට මායිම් ප්‍රශ්නය හමුවේ නිහඬව සිටිනවා. එහෙත් මෙම පුද්ගලයා බීමත් වූ දිනවලදී බැණ වදිමින් කෑගසන හඬ අක්කාගේත් මගේත් පුංචි සිත් වලට මහා බියක් ගෙන එනවා. මේ සංසිද්ධියයි පසුකලෙක මා ලියූ ‘වෙරළුගෙඩිය හරි අටකට කපාගෙන…’ ගීතයට අත්දැකීම බවට පත්වූයේත්.

වසර ගණනක ඇවෑමෙන් මා කොලු ගැටයෙක් අවධියේදී, ගමේ අනෙකුත් දරුවන් සමග කෙළිදෙලෙන් රංචු ගැසෙද්දී, අපට පසමිතුරු වූ නිවසේ මගේ සම වයසේ පිරිමි දරුවා හුදකලාව අපගේ කෙළි සෙල්ලම් දෙස සැඟවී ආශාවෙන් බලා සිටින අයුරු දකින මම, එක්තරා දිනෙක ඔහුටත් සෙල්ලම් කරන්නට ඇරයුම් කරනවා. එයින් ඇරඹෙන අපගේ පුංචි මිත්‍රත්වය හමුවේ ඔහුගේ පියාගේ සහ පවුලේ සතුරු හැඟීම් ද ක්‍රමයෙන් පසුබා ගොස් අපගේ නිවෙස් දෙකම මිත්‍රශීලී වටපිටාවකට එළඹෙනවා. නිවෙස් දෙකේම වැඩිහිටියන් සුහදව කතිකා කරගෙන වැට මායිම් ප්‍රශ්නයද යහපත්ව විසඳා ගන්නවා.

එහෙත් මේ වෙන තුරාවට දරුවන්ගේ සමගිය ගැන මට ගීතයක් නම් ලියවුණේ නැහැ.

එහෙත් මේ අපූර්ව සංසිද්ධිය ගැන ගී පද අමුණන්නේ අපගේ  දෙටු පරපුරේ සොහොයුරෙක්. ඒ කුලරත්න ආරියවංශයන්. දේශීය ගීත ලොවේ දෙන්න දෙබෑයෝ සේ අප දකින කුලරත්න ආරියවංශ, රෝහණ වීරසිංහ නම් නිර්මාණකරුවන්ගේ  මහඟු දායකත්වයෙන් උපන් මේ ගීතය ගැයුවේ අද අප අතර නැති ප්‍රවීණ, සුගායනීය හඬක්. ඇය විශාරද නීලා වික්‍රමසිංහ.

පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ…
රංචු ගැසී හාද වෙලා මල් හසරැල්ලේ…


කුලේ අයියගෙ කාරුණික ඇසුර නිරන්තරව ලද මම, දිනෙක මේ ගීත රචනාව ගැන විමසනවා, මගේ පුංචි කාලේ අත්දැකීමට සමාන වූ අත්දැකීමක වෙනස් ස්වරූපයක්, එතුමාගේ

රචනාව සඳහා බලපා තිබෙනවා. වැට මායිම් ප්‍රශ්නයක් නිසා කතාබහ නොකරන, ඔහු ඇතුළු ගෙවල් දෙක තුනක අසල්වැසියන් සිටින වටපිටාවක, තම පුතුන් දෙදෙනා සහ දියණිය, ඒ නිවෙස්වල දරුවන් සහ මිත්‍රශීලී වෙමින් අපට ගීතයක් මවමින් කියාදෙන ‘ජීවිතයේ කතන්දරේ” කුලේ අයියා අපේ හදවත් වලට දැනෙන ආකාරයෙන් ලියා ඇති අයුරු විස්මයජනකයි.

පුංචි දේට කතා වෙලා රණ්ඩු වෙලා වෛර බැඳන්…
කතා නොමැති ගෙවල් තුනක දූල පුතාලා
අම්මලාට හොරෙන් ඇවිත් සෙනෙහෙ සිතින් යාළු වෙලා
පුංචි පැටව් එක පවුලකි වෙල් ඉපනැල්ලේ


එක් එක් ගැටලු නිසා හදවත් වලින් ඈත් වූ ලෝකයේ විවිධ ස්ථරවල ගැවසෙන මිනිස්සුන්ට යළි යළිත් හිතන්නට බරසාර වූ දෙයක් ඉතිරි කරමින් ඒ ගීතය අපේ හදවත් කම්පනය කරනවා. ගැටුම්, අවලාද, ආඩපාලි, ශාප කිරීම්, ඝාතන, විනාශ දක්වා ඇදී යන ලෝකයක, මේ සියල්ලෙන් මිදුණු යහපත් තැනක් සොයමින් පෝලිම්වල තැවෙන මිනිසුන් මේ කියා පාන්නේ දරුවන් විසින් අපට කියා දෙන ‘ජීවිතයේ කතන්දරේ’ යථාර්ථයක් කර දෙන ලෙස කරන ආයාචනය නොවේද? තමන් පමණක් ම ලෝකයේ වැජඹිය යුතු යැයි සිතන රජ පැටවුනි, නුඹලාට සමවයස් වූ ලක්ෂ ගණන් දූ පුතුන් හඬනගා අසන්නේ…. ‘ජීවිතයේ කතාන්දරය…’ තාම නුඹලා හරිහැටි නොදන්නේ ඇයි දැයි කියා නොවේද?

මීවිතේ ගීවිත


 

advertistmentadvertistment
advertistmentadvertistment