ඉරාන ජනපති රයිසි මියගොස් මසක් යන්නට පෙර
තවත් 09ක් අනතුරින් මරුට
මලාවි උප ජනාධිපති සවුලොස් චිලිමා රැගත් හමුදා ගුවන් යානය චිකන්ගාවා වනාන්තරයට කඩා වැටී ඇති බව එරට හමුදාව කියයි.
උප ජනාධිපති ඇතුළු 09 දෙනකු ගමන් කළ එම යානයේ සුන්බුන් සෙවීම සඳහා මලාවි හමුදාව මෙහෙයුමක් ආරම්භ කර ඇත.
51 හැවිරිදි උප ජනාධිපතිවරයා රැගත් යානය අතුරුදන් වූයේ සඳුදා පෙරවරුවේය.
අයහපත් කාලගුණය මෙම අනතුරට හේතු වන්නට ඇතැයි සැක කෙරේ.
චිලිමා මහතා උප ජනපති ලෙස කටයුතු කරන්නේ 2014 වසරේ සිටය.
මලාවි ජනාධිපතිවරයා හා උප ජනාධිපතිවරයා පක්ෂ දෙකකට අයත් වෙති. උප ජනාධිපතිවරයාගේ පාර්ශ්වය අතුරුදන් වූ යානය සෙවීමේ මෙහෙයුම් ප්රමාද කර ඇති බවට චෝදනා කරයි.
දෙදරු පියකු වන චිලෙමා එරට වැසියන් අතර ජනප්රිය චරිතයකි.
උප ජනාධිපතිවරයා එහි ප්රාන්ත ආණ්ඩුකාරයකුගේ අවමඟුලට සහභාගි වීම සඳහා යන අතරතුර මේ අනතුරට ලක්ව තිබේ.
මලාවි උප ජනාධිපතිවරයා ඇතුළු පිරිස ගමන් ගත් යානය කිසියම් කාර්මික දෝෂයකට ලක්වූයේද නැතහොත් සතුරු ප්රහාරයකට ලක්ව කඩා වැටුණේද යන්න ඊයේ (11දා) සවස් වන තෙක්ම තහවුරු වී නොතිබිණි.
ඉරාන ජනාධිපති ඉබ්රහිම් රයිසි මෙවැනිම ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව මසක් යන්නට පෙර මලාවි උප ජනාධිපතිවරයා එවැනි අනතුරකින් ජීවිතක්ෂයට පත්වී තිබේ.
චතුර පමුණුව