මව්බිම රැකගනු පිණිස ඉපැදුණු ඔබයි කොබ්බෑකඩුව දුටුගැමුණු

225

අදට (08දා) යෙදෙන ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කෝබ්බෑකඩුව 30 වැනි ගුණ සමරුව නිමිත්තෙනි.
 

 ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව විරුවා සමඟ දිවි පිදූ විජය විමලරත්න ඇතුලු රනවිරුවන්

 යුද්ධයක් ජය ගැනීම සඳහා මිනිස් බලය, අවිබලය, පුහුණුව, විනය චිත්ත ධෛර්ය එකී මෙකී නොකී සියල්ලන්ටම වඩා වැදගත් වන්නේ සැලසුම පෙරහුරුව හා උපක්‍රමයි. මෙම වැදගත් කරුණු 03 ආරක්‍ෂක හමුදාවක් තුළ විශේෂයෙන් යුදමය තත්ත්වයක් තුළ සියයට සියයක්ම ක්‍රියාත්මක නොවන්නේ නම් එයම යුද්ධයකින් ජය ගැනීමට නොහැකි වන්නේමය. ලෝකයේ එදා මෙදාතුර පැවැති යුද්ධවලදී බලගතු රටවල් ඉතාමත් කුඩා රටවල්වලට පැරදුණේ උපක්‍රම හා සැලසුම්වල තිබූ අඩුපාඩුකම්වලිනි. ත්‍රස්තවාදීන් අපට පහර දුන්නේ මිනිස් බලයෙන් නොවේ. අවි බලයෙන් නොවේ. අලිමංකඩට මදක් උතුරු දෙසට වන්නට කිලාලි කලපුව ආසන්නයේ ඉදිරියෙන් පැමිණෙන සතුරන්ට ප්‍රහාර එල්ල කරන ආකාරයේ පඹයන් නිර්මාණය කරනු ලබන ස්ථානයක් අපට හමුවිය. එහි ඒවා විශාල වශයෙන් නිෂ්පාදනය කොට තිබූ අතර එයින් ඔවුන් බලාපොරොත්තු වූයේ ආරක්‍ෂක හමුදාවන් උපක්‍රමිකව මුළා කරන්නටය. යුද්ධ පිටියේ සතුරා විමර්ශනය කරන සෙබළුන් මෙවන් වූ පඹයෙකු දුටු වහාම හැකි උපරිම වැර යොදා පහර දෙති. එහෙත් ත්‍රස්තවාදියා වෙනත් ආරක්‍ෂිත ස්ථානයක සිට රිසිසේ කුරුමානම් අරගෙන සෙබළුන්ට පහර දෙති. සටන් පැවැති යම් යම් අවස්ථාවන්වල අප මුළා කිරීම සඳහා ත්‍රස්තවාදීන්ගේ අවි බලය බලවත් යැයි මවා පෙන්වීමට රතිඤ්ඤා දල්වනවා මම අත්දැකීමෙන් දනිමි. යම්කිසි තැනක ඇති ත්‍රස්තවාදී කඳවුරකට ප්‍රහාරයක් එල්ල කරන ලෙස සැලසුම් හා විස්තර ලබාදීමේදී ඉහළම උසස් නිලධාරියාගේ සිට සාමාන්‍ය සෙබළා දක්වා එය ක්‍රියාත්මක කරන්නා වූ අන්දම පැහැදිලි කර දෙන ලෙස ජෙනරාල් කොබ්බෑකඩුව නිලධාරීන්ට උපදෙස් ලබාදුන්න ද, ඒවා ඒ ආකාරයෙන්ම ඔහුගෙන් පහළ නිලධාරීන් පිළිපැද්දායි අදද මට ගැටලුවකි. අපේ ආරක්‍ෂක හමුදාවේ බොහෝ නායකයන් එල්ටීටීඊ සංවිධානයෙන් හෝ ජෙනරාල් කොබ්බෑකඩුවගෙන් හෝ ජෙනරාල් විමලරත්නගෙන් හෝ පාඩම් උගත්තේ නැත්තේමය. ඔවුන් බොහෝ දෙනා තමන් විසින් නිකුත් කරනු ලබන අණ එලෙසින්ම ක්‍රියාත්මක කිරීමට පහළ නිලධාරීන් හා සෙසු නිලයන් බැඳී සිටීම යන මතයේ දැඩිව එල්බ සිටිමින් සටන ජය ගන්නට බැලුවේ මිනිස් බලයෙන් හා අවි බලයෙන් පමණි. ත්‍රස්තවාදීන් 10 දෙනෙකු සිටින පුංචි කඳවුරකට ප්‍රහාර එල්ල කිරීම සඳහා අප ගියේ 100ක පමණ කණ්ඩායමකි. එසේ යන විට එක් ත්‍රස්තවාදියෙකු අවිය වන වනා ප්‍රහාර එල්ල කළද අපේ 10ක් 12ක් මරු වසඟයට ගොසිනි.

 කර්නල් ඩෙන්සිල් කෝබ්බෑකඩුව මට හමුවන්නේ 1985 අවුරුද්දේ කිලිනොච්චියේදීය. ඒ වන විට ඔහු එහි සම්බන්ධීකරණ නිලධාරියා ලෙස රාජකාරි කරමින් සිටියේය. එහිදී ඔහු අපට නිතර අවධාරණය කර සිටියේ උතුරු

 නැගෙනහිර අප සමග සටන්වදින සෑම ත්‍රස්තවාදියෙකුම දමිළ වූවද සියලු දමිළයන් ත්‍රස්තවාදීන් නොවන වගයි. සෙසු සාමාන්‍ය ජනතාවට මනුෂ්‍යත්වය මුල්කර ගෙන ඔවුන්ගේ සිත් දිනා ගන්නට හැකි සෑම උත්සාහයක්ම දරන ලෙසයි. මෙම යහපත් ආකල්පය නිසාදෝ එතුමා හමුවීම සඳහා දිනකට දමිළ වැසියන් 20ක්, 30ක් පැමිණීම සාමාන්‍ය දෙයක්ව පැවතුණි. ඒ එන සෑම කෙනෙකුටම අඩුම වශයෙන් කහට කෝප්පයක් සහ හකුරු කැබැල්ලක් ලබාදීම අනිවාර්ය වූ අතර එතුමා හමුවූ කිසිවෙකු මතු දිනක හෝ ත්‍රස්තවාදයට උදව් කළේ නම් එය කිසිසේත්ම සිදුවිය නොහැක්කකි. එදා ඇත්තටම නායකත්වය ලබාදුන්නේ ආරක්‍ෂක හමුදාවේ අයටම පමණක් නොව මානුෂීය මට්ටමින් උතුම් මිනිස් ගුණාංගවලින් හෙතෙම දමිළ ජනයා අතරද බොහෝ සෙයින් ජනප්‍රිය විය. වරෙක අපි පරන්තන්, මුලතිව් ප්‍රධාන මාර්ගයේ ත්‍රස්තවාදීන් සන්තකයේ තිබූ ආහාර ගබඩාවක් අල්ලා ගතිමු. සමුපකාරයකට රැගෙන යමින් තිබූ සහල් මිටි තොගයක් එහි වූ අතර කර්නල් කොබ්බෑකඩුවගේ උපදෙස් මත අපි එය කිලිනොච්චි කඳවුරට රැගෙන ආවෙමු. එහි වූ සියලුම සහල් තොගය එක් සිලි සිලි බෑගයකට කිලෝ 05ක් බැගින් දමා කිලිනොච්චි පොළ පැවැති දින එහි රැගෙන ගොස් සාමාන්‍ය ජනතාව අතර බෙදා දුන්නා මට හොඳටම මතකය.

 ‘මේ ඔබලාට කෑමට දෙන්න සමුපකාරයට ගෙනැවිත් තිබූ සහල් තොගයක් ඒවා ත්‍රස්තවාදීන් පැහැර ගෙන ගිහින්. නැවත ඒවා ඔබලාට අපි නොමිලේ ලබාදෙනවා’ යැයි පවසමිනි.

 දිනය වැරදි නම් එය නිවැරදිකර ගැනීමේ ස්ථාවරයේ පිහිටා සිට 1986 ඔක්තෝබර් මස 12 හෝ ඊට ආසන්න දිනක මන්නාරම අඩම්පන් ප්‍රදේශයේ ක්‍රියාන්විතයක් සඳහා ගිය ආරක්‍ෂක හමුදා භට පිරිසකට එල්ටීටීඊ

 ත්‍රස්තවාදීන්ගෙන් දැඩි ප්‍රහාරයක් එල්ල විය. එහිදී අපගේ සෙබළුන් 14 දෙනෙකු මියගිය අතර තවත් පිරිසක් තුවාල ලදහ. ආරක්‍ෂක හමුදාව එහිදී කෙතරම් අසරණ වූයේද යත් මියගිය සෙබළුන්ගේ සිරුරු පවා ත්‍රස්තවාදීහු පැහැරගෙන ගියහ. කිසිදු සැලසුමක් හා සතුරා පිළිබඳ විමර්ශනයක් නොකොට උපක්‍රම භාවිතා කිරීමකින් තොරව සිදුකර තිබූ එහිදී ත්‍රස්තවාදීහු ඒ සියල්ල මනාව අධ්‍යයනය කර ප්‍රහාරය එල්ල කොට තිබිණ. උපක්‍රමශීලීව ප්‍රතිප්‍රහාරයට සුදුසු භූමියට පැමිණෙනතුරු පසුබැස තිබූ ත්‍රස්තවාදීන් තමන් පසු පස හඹා ආ ආරක්‍ෂක හමුදාවන්ට එක්වරම දැඩි ප්‍රහාරයක් එල්ල කිරීම තුළින් ඔවුන් මෙම ප්‍රහාරය දියත්කර තිබුණි. මෙහිදී ත්‍රස්තවාදීන් පැහැරගෙන ගොස් තිබූ මියගිය ආරක්‍ෂක හමුදා සෙබළුන්ගේ සිරුරු දින ගණනක් ඔවුන් සිය බලය පැවති ප්‍රදේශවල මහජනයාට ප්‍රදර්ශනය කොට තිබුණ අතර පසුව රජයේ එකඟතාවක් මත යම් යම් කොන්දේසි හා සංතෝසම් ලබාදීමෙන් අනතුරුව ආපසු ලබාගන්නා ලදි. එයින් ආරක්‍ෂක හමුදාවන්ට ඇතිවූ ලැජ්ජා සහගත පරාජයට පිළිතුරු දෙන්නට කාර්යභාරය පැවරුණේ කර්නල් කොබ්බෑකඩුවටය. එවකට ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් සිරිල් රණතුංගගෙන් කර්නල් කොබ්බෑකඩුවට හදිසි දුරකථන ඇමතුමක් ලැබිණ.

 ‘ඩෙන්සිල්! අඩම්පන් සිද්ධියෙන් අපට සිද්ධ වුණේ බරපතළ අපහාසයක් ඒ වගේමයි ඩැමේජ් එකත් දැන් හැමෝම හිතන් ඉන්නේ අපට අඩම්පන්වලට යන්න බැහැ කියලා. ඒ හින්දා මම කමාන්ඩෝ එකෙන් කම්පැණි එකකුයි ආටි සපෝට් එකයි අරන් දෙන්නම් ඔයා ගිහින් අඩම්පන්වලට ගහන්න’ සාවධානව එය අසා සිටි කර්නල් කොබ්බෑකඩුවගෙන් ඔහුට ලැබුණේ අපූරු පිළිතුරකි.

 ‘සර් කිසිම ප්ලෑන් එකක් නැතුව උපක්‍රම පාවිච්චි කරන්නේ නැතුව රෙකී එකක් කරන්නේ නැතිව ඇඟේ හයියෙන් ටෙරාට ගහන්න ගිහින් තමයි ඔය ඉල්ලගෙන කෑවේ. මට ඕකට ගහන්න කමාන්ඩෝ එකක් ඕනෑ නැහැ, ආටි සපොට් එක ඕනත් නැහැ. මම ගජබා එකෙන් ප්ලැටූන් දෙකක් ගෙනියලා ගහන්නම් මට සතියක් දෙන්න‘

 ‘හරි ඩෙන්සිල් ඔයා සම්පූර්ණ වගකීම අරගෙන මේක කරන්න. තවත් මොනවාහරි අවශ්‍ය නම් කියන්න’

 මෙහිදී සම්පූර්ණ වගකීම සිය කැමැත්තෙන් භාරගත් කර්නල් කොබ්බෑකඩුව 1986 ඔක්තෝබර් 20 වන දින ලුතිනන් කමල් ගුණරත්න (වත්මන් ආරක්‍ෂක ලේකම්) යටතේ අපි මන්නාරම තල්ලඩිවලට හෙලිකොප්ටර්වලින් රැගෙන ගිය අතර එහිදී අඩම්පන් කොටි බල ප්‍රදේශයට පහරදීම සඳහා සැලසුම් කිරීම විමර්ශනය පුහුණුවීම් සහ දින 02ක් පුරාවට ක්‍රියාන්විතය සම්බන්ධව සාමාන්‍ය සෙබළා දක්වා සියල්ලන් දැනුවත් කරන ලදි. 1986 ඔක්තෝබර් 23 වන දින අප අඩම්පන් කොටි කඳවුරට ප්‍රහාර එල්ල කළ අතර, සැලසුමේ නියම අස්වැන්න අපි නෙළා ගතිමු. විශේෂිතම සිදුවූ දෙය වූයේ අපේ කිසිවෙකුට හෝ සීරීම් තුවාලයක් පවා නොවීමත් මගේ මතකය නිවැරදි නම් මන්නාරම් කොටි නායක ‘වික්ටර් ඔස්කා’ ඇතුළු පිරිසක් මියගිය බව ඔවුන්ගේ පණිවුඩ හුවමාරුවෙන් සනාථ වීමත්ය.

 අඩම්පන් අල්ලා ගැනීමට අප පිටුපසින් සිට අපට ධෛර්යත්, ශක්තියත් උපදෙසුත් නිරන්තරයෙන් ලබාදුන් කර්නල් කොබ්බෑකඩුව අඩම්පන් දමිළ විiාල භූමියේ සිට ගුවන්විදුලි පණිවුඩ හුවමාරු යන්ත්‍රයෙන් සම්බන්ධ වූයේ තත්ත්ව වාර්තාව ලැබෙනතෙක් නොඉවසිල්ලෙන් සිටි ජෙනරාල් සිරිල් රණතුංගට එය ලබාදීම සඳහාය.

 ‘සර් අපි අඩම්පන් ආවා. කිසිම ගැටලුවක් නෑ. අපේ කිසිම කෙනෙකුට සීරීම් තුවාලයක්වත් නෑ. හැබැයි ටෙරාලට නං ලොකු ඩැමේජ් එකක් තියෙනවා. මැනා ලීඩර් වික්ටර් ඔස්කා මැරුනයි කියලා ඒ අයගේ කොමියුනිකේෂන්වලින් කන්ෆෝම් වෙනවා. ඒ ගැන විස්තර පස්සේ කියන්නම්’.

 රටට ණය නැති රටම ණයගැති මෙවන් වූ පතාක යෝධයන් 1992 අගෝස්තු 08 දින ආරක්‍ෂා කර ගැනීමට නොහැකිවීම ඛේදජනකය. එදා කයිට්ස් ප්‍රදේශය භාරව කටයුතු කළ ආරක්‍ෂක හමුදාවේ සාමාන්‍ය සෙබළාගේ සිට උරමත කොතෙක් නිලතල දරාගෙන සිටියද එම නිලධාරීන් දක්වාම සියල්ලන් මෙම ඛේදවාචකය පිළිබඳව වගකිවයුතුය. ඔවුන් කිසිවෙකුටත් මෙම වගකීමෙන් බැහැර විය නොහැකිය. ඔවුන් මේ වන විට ජීවතුන් අතර ඇත්නම් හෘද සාක්‍ෂියෙන් මේවාට දඬුවම් විඳිනු ඇත. මෙම අත්වැරැද්ද එදා සිදුනොවන්නට මේ යුද්ධය දශක 03කට ආසන්න කාලයක් දක්වා ඇදි ඇදී නොයන්නට බොහෝදුරට ඉඩකඩ තිබිණි.

 අද වන විට ජෙනරාල් කොබ්බෑකඩුව මෙන්ම ජෙනරාල් විමලරත්නයන්ගේ ආභාෂයන් මැනවින් උකහාගත් නවතම පරම්පරාවක් බිහිකිරීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුතුව ඇත. ඔවුන්ගේ නිවැරදි දැක්ම මතු පරපුරට තේරුම් කරදිය යුතුය. දියතලාවේ ආධුනිකයන් පුහුණු පාසලෙහි අදත් දැකිය හැකි සෙබළෙකුගේ ප්‍රතිමාවක් ඇත. එහි ‘එව මා පසු පස’ යන්නෙන් සඳහන්කොට ඇත. එහි එම නාඳුනන සෙබළාගේ ප්‍රතිමාව වෙනුවට ජෙනරාල් කොබ්බෑකඩුවගේ හෝ ජෙනරාල් විමලරත්නයන්ගේ ප්‍රතිමාවක් ඉදිකොට එහි එව මා පසු පස යන්නෙන් සඳහන් කළේ නම් කාලෝචිත හා තරුණ පරම්පරාව යමක් උකහා ගන්නවා ඇතැයි යන්නයි මගේ හැඟීම.

 ජෙනරාල් කොබ්බෑකඩුව රටට ණය නැති රටම ණයගැති ඔබතුමාණන්ට අපගේ ප්‍රණාමය.

 ලිපිය සැකසීමේදී විශ්‍රාමික මේජර් ගාමිණී ලේකම්ගේ, විශ්‍රාමික බලලත් නිලධාරි ඊ. එම්. රණවීර බණ්ඩා මෙන්ම විශ්‍රාමික බලලත් නිලධාරි එල්. ජී. ආරියරත්න සොයුරන්ගෙන් ලද සහායට මාගේ ස්තුතිය මෙයින් පුදකර සිටිමි.

 ● පියසිරි අජිත් ලියනගේ
වත්තේගම, දික්වැල්ල.

advertistmentadvertistment
advertistmentadvertistment