මව්බිම විදුලියෙන් එළිය කළ විමලසුරේන්ද්‍ර

458

මෙරට ජල විදුලි බලයේ පියා වශයෙන් සලකන ඩී. ජේ. විමලසුරේන්ද්‍ර ශූරීන් 1874 සැප්තැම්බර් මස 17 වැනි දින ගාල්ලේ ගල්වඩුගොඩ මුහම්දිරම්ගේ වත්ත නමැති ග්‍රාමයේ දී උපත ලැබීය. ඔහුගේ සම්පූර්ණ නම දේවපුර ජයසේන විමලසුරේන්ද්‍ර යි. පියා ගාල්ලේ විසූ දොන් ජුවන් විමලසුරේන්ද්‍ර ජයසිංහ මුහම්දිරම් ය. මව දෝන ක්‍රිෂ්ටිනා ජයසිංහ යි.

විමලසුරේන්ද්‍රගේ පියා ඇත් දත් කැටයම් ශිල්පයේ හා ස්වර්ණාභරණ නිෂ්පාදන ශිල්පයේ සාම්ප්‍රදායික තාක්ෂණයේ උසස් දැනුමක් ලබාසිටියේය. ඔහු ශ්‍රේෂ්ඨ ගනයේ කලාකරුවෙක් ද විය. එදා එංගලන්තයේ වික්ටෝරියා මහ රාජිනියගේ රාජ්‍ය සමයේ දී විමලසුරේන්ද්‍ර මහතාගේ පියාට මුහම්දිරම් යන ගෞරව නාමය හිමි වී තිබිණි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ විමලසුරේන්ද්‍ර දක්ෂතා රැසක් පිරි දීප්තිමත් ශිෂ්‍යයකු විය. ඔහු විද්‍යාව හා ගණිතය යන විෂයන්ගෙන් විශිෂ්ට සම්මාන සහිතව නව කේම්බි්‍රජ් සීනියර් විභාගයෙන් උසස් ලෙස සමත් විය. 1890 වර්ෂයේ දී ආනන්ද විද්‍යාලයයේ පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී එයට සහභාගි වූ ප්‍රධාන ආරාධිතයා වූ කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කොට් මැතිතුමා අතින් පාසලේ දක්ෂතම ශිෂ්‍යයාට හිමි ත්‍යාගය ද දිනා ගැනීමට විමලසුරේන්ද්‍ර සමත් විය.

ඉන් පසුව රජයේ කර්මාන්ත ශාලාවට බැඳී ඉංජිනේරු ශිෂ්‍යයකු ලෙස ඉගෙනුම ලැබූ ඔහු විවිධ යන්ත්‍ර සූත්‍ර ආදර්ශයන් නිර්මාණය කොට ස්වකීය සහජ කුසලතාවන් දියුණු කර ගත්තේය. ඉන් අනතුරුව රජයේ කාර්මික විද්‍යාලයේ ඉංජිනේරු අංශයට ඇතුළත්වී ඉගෙනුම ලබා 1892 වර්ෂයේ දී පැවැති විභාගයෙන් ඉංජිනේරු අංශයේ ප්‍රථමයා ලෙසින් සමත් වූයේ ද මේ විමලසුරේන්ද්‍ර තරුණයා ය.

ඊට පසු කලෙක ඉන්දියාවේ දී පැවැති ඒ. එම්. අයි. සී. ඊ. විභාගයෙන් ද මොහු සමත් විය. ඉන් පසුව ඔහුට දියතලාවේ කනිෂ්ඨ සහායක ඉංජිනේරුවරයකු ලෙසින් සේවය කිරීමට අවස්ථාව ලැබිණි.

1901 වර්ෂයේ දී එවකට පැවැති රජයේ ඉංග්‍රීසි පාලකයන් විසින් ඔහුට පවරන ලද විශේෂ රාජකාරිය වූයේ මහා ඝන වනාන්තරයෙන් වැසීගිය අධික ශීතලෙන් යුත් මධ්‍යම කඳුකරයේ භූමිය තුළ රත්තරන්, මැණික් වැනි ඛනිජ සම්පත් තිබේ දැයි පරීක්ෂා කර බලා රජයට වාර්තා කිරීමයි.

මෙම ගවේෂණ කටයුතු සඳහා ඔහුගේ සහායට ලබාදුන්නේ අප්‍රිකාවේ බෝයර් යුද්ධයෙන් පසුව ඉංග්‍රීසින් විසින් ශ්‍රී ලංකාවට අල්ලාගෙන ආ ඉංජිනේරු දැනුමක් ඇතිව සිටි සිරකරුවෙකි.

සිරකරුවා සමග කැලණි ගංගා නිම්නයේ රත්තරන් ආදී ඛනිජ සම්පත් සොයමින් ගවේෂණයේ යෙදුණ විමලසුරේන්ද්‍රට හමුවූයේ ස්වභාවධර්මයේ අපූර්වත්ව නිර්මාණයක් වූ ඇබර්ඩීන් හෙවත් කෙහෙල්ගමුව දිය ඇල්ලයි. ඊට පසු දිනක ඔහුගේ නෙත ගැටුණේ එවැනිම සුන්දර දායාදයක් වූ ලක්ෂපාන හෙවත් වැඩිහිටි දිය ඇල්ලයි. මේ දිය ඇලි රිදීකඳන් සේ පහළට ඇද හැලෙන ආකාරය ඔවුහු පැය ගණන් බලා සිටියහ. මේ පොළොවේ රත්රන් කෙසේ වෙතත් මේ දිය ඇල්ලේ නම් රත්රන් තිබෙනවාමයි කියමින් විමලසුරේන්ද්‍ර දූරදර්ශීව සතුටින් තෙපලන්නට විය.

ගලා හැලෙන ජලයේ බලයෙන් ජල රෝද භ්‍රමණය කළොත් විදුලි බලය උපදවාගත හැකි බැව් විමලසුරේන්ද්‍රයාණන්ට අවබෝධ විය. 1924 වර්ෂයේ දී විමලසුරේන්ද්‍රගේ ජල විදුලිබල යෝජනා ක්‍රමය එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් ද සම්මත වී එහි වැඩ ආරම්භ විය.

එවකට දිවයිනේ සිටි විදේශීය ඉංජිනේරුවන්ගේ හා පාලකයන්ගේ අදූරදර්ශී ක්‍රියාවන් හේතුකොට ගෙන මේ ජල විදුලි යෝජනා ක්‍රමය කඩින් කඩ නවතා දැමීමට සිදුවිය. මෙය හරියාකාරව කරගෙන යෑමට නම් රටේ පවත්නා දේශපාලන ව්‍යුහයට තමන් ද ඒකාබද්ධ වියයුතු බැව් විමලසුරේන්ද්‍රට අවබෝධ විය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු 1931 වර්ෂයේ දී රත්නපුර මන්ත්‍රීවරයා වශයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්විය. 1950 වර්ෂයේ දී කෙහෙල්ගමු ඔය නෝර්ටන් ප්‍රදේශයේ දී කඳු දෙකක් අතර වේල්ලක් බැඳීමෙන් හරස් කරන ලදී. මහා ජලකඳ අඩි 9400ක් තරම් දිග උමඟයක් තුළින් ඩබල් කටින් නමැති ස්ථානයට

යටින්ගොස් එතැන් සිට විශාල නළ මාර්ග 4ක් තුළින් තවත් අඩි 5000ක් තරම් පහළට ගමන් කොට මස්කෙළි ඔයේ දකුණු ඉවුරේ ඇති ජල විදුලි බලාගාරය ක්‍රියාත්මක වෙයි. එය ලක්ෂපාන ජල විදුලි බල ව්‍යාපෘතියේ පළමු පියවරයි. ජල විදුලි බලය ලබාගැනීමට හැකිවූ අවස්ථාවේදී විමලසුරේන්ද්‍ර මහතාට ඇතිවූ චිත්ත සංතෘෂ්ටිය වචනයෙන් කියා නිමකළ නොහැකි වූ බැව් එතුමා ප්‍රකාශ කර ඇත.

ඒ මෙසේය. ‘මා විසින් සැලසුම් කර ආරම්භ කරන ලද ජල විදුලිබල යෝජනා ක්‍රමයේ ඉදිකිරීම් කටයුතුවලට සහභාගි වීමේ වාසනාව මට නොලැබුණත් මාගේ රටේ ජනතාව විසින් මෙහි නිසි ප්‍රතිඵල නෙළා ගැනීම දැකගැනීමට ජීවතුන් අතර සිටීමට තරම් මා වාසනාවන්ත වීම පිළිබඳව මම උද්දාමයට පත්වෙමි. ප්‍රීතිවෙමි. සතුටුවෙමි. මා විසින් මීට වසර 50කට තරම් පෙර අවලෝකනය කළ මාගේ ජීවිතයේ මේ සැඳෑ සමයේ දී හෝ දැකබලා ගැනීමට හැකිවීම ගැන මම ඉතාමත් උදම් වෙමි. අමිල වූ සතුටක් මම ලබන්නෙමි.’

මීට වසර 100කට පමණ පෙර සිහිනයක්ව පැවැති ජල විදුලිබලය පිළිබඳ විමලසුරේන්ද්‍රයාණෝ අනාගතය දෙස බලා සැලසුම් සකස් කළහ. ලක්ෂපාන, නවලක්ෂපාන, විදුලිපුර, පොල්පිටිය, කැණියොන්, පොල්ගොල්ල, බෝවතැන්න, රන්ටැඹේ, රන්දෙණිගල, වික්ටෝරියා, කොත්මලේ, බළංගොඩ, කුකුලේගඟ හා ඉහළකොත්මලේ ආදී ජල විදුලි බලාගාර ද අනිකුත් කුඩා පරිමාණයේ ජල විදුලි බලාගාර ද විමලසුරේන්ද්‍ර ශූරීන්ගේ චින්තනයේ ප්‍රතිඵල වන්නේය.

අධික වියදමක් දැරිය යුතු ගල් අඟුරු, ඩීසල් තෙල් ආදී ඉන්ධන නොයොදා ස්වභාවික සම්පතක් වූ ජලයේ බලය යොදාගෙන ජල විදුලිබලය නිපදවීමේ ගෞරවය හිමිවන්නේ ද විමලසුරේන්ද්‍ර ශූරීන්ටයි.

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර ආශ්චර්යවත් කොම්බුහැඩයේ වක් දුම්රිය මාර්ගය සැලසුම් කිරීමත්, ගාලු නගරයට ප්‍රථම වරට විදුලිය ලබාදීමත්, ශ්‍රී ලංකාව තුළ පිඟන් මැටියෙන් පිඟන් භාණ්ඩ නිෂ්පාදනයට රත්නපුරයේ කටයුතු කිරීමත්, රබර් ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනයට මඟ පෙන්වා දීමත්, විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම් සකස් කිරීමත් විමලසුරේන්ද්‍ර ශූරීන්ගේ දක්ෂතාවලින් කීපයක් පමණි.

බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩක් බඳු වූ අනුරාධපුරයේ ස්වර්ණමාලි මහ චෛත්‍ය රාජයාණන්ගේ කොත්කැරැල්ල නිර්මාණය කිරීමේ ඉංජිනේරු තාක්ෂණය ද විමලසුරේන්ද්‍ර මහතාගේ ඥානයේ බලමහිමයන්ය.

චූඩාමාණික්‍යය සහිත අඩි විසිහතරක් (24) උස් වූ මෙම දර්ශනීය රන් ආලේපිත කොත් වහන්සේ පැලඳවීමේ උතුම් වූ මහෝත්සවයට ද විමලසුරේන්ද්‍රයාණෝ සහභාගි වූහ.

රටට ජාතියට අමිල සේවයක් කළ විමලසුරේන්ද්‍ර ශූරීහු 1953 වර්ෂයේ අගෝස්තු 10 වැනිදා අප අතරින් සදහටම සමුගත්හ. ඒ වනවිට ඔහු 79 වැනි වියේ පසුවිය. විමලසුරේන්ද්‍ර ශූරීන්ට උපහාරයක් වශයෙන් නෝර්ටන් විදුලිපුර ජලාශය එහා කෙළවරේ ඉදිකර ඇති ජල විදුලි බලාගාරය “විමලසුරේන්ද්‍ර ජල විදුලි බලාගාරය” නමින් නම් කර තිබේ. එහි විදුලිබල ධාරිතාවය මෙගා වොට් 50කි.

ශේන් වීරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment