පොදුජනයා මත පැටවී ඇති බර
2022 වසරේ දී බංකොලොත්භාවයට පත් කළ රට දැන් තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව බංකොලොත්භාවයෙන් ක්‍රමයෙන් මුදවා ගැනීමේ ක්‍රියාවලියකය. මේ ‘ බංකොලොත්භාවය’ යන වචනය සම්බන්ධයෙන් විවිධ අර්ථකථන තිබේ. එහෙත් 2022 වසරේ දී අපේ ආර්ථිකය මුහුණ දුන්නේ ඉතිහාසයේ දරුණුතම ආර්ථික විපතට බව මහ බැංකුව ද සිය වාර්ෂික වාර්තාව මගින්ම නිල වශයෙන් පිළිගෙන ඇත. මේ නිසා අයිඑම්එෆ් සහාය ඇතිව ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග හමුවේ රටේ අතිමහත් බහුතර සාමාන්‍ය ජනතාව අසීමිත පීඩාවකට (වේදනාවකට) පත්ව ඇති බව රහසක් නොවේ. එසේම ඉතාම අසාධාරණ ලෙස මේ ආර්ථික පීඩනයේ වැඩිබරක් පටවන ලද්දේ සාමාන්‍ය ජනතාව මතය. සාමාන්‍ය ජනයාට වැල් පාලමේ යන දුෂ්කර ගමනක් ගැන කියමින් රට අමාරු තත්ත්වයේ ඇති අවස්ථාවේ පවා හැන්ද ඇති අය ඇති තරම් තමන්ට අවශ්‍ය අයට බෙදා දෙමින් පසුගිය කාලයේ සිදු කළේ මේ දෙයයි. එසේ සාමාන්‍ය ජනයා මත සාපේක්ෂව වැඩි බරක් පටවමින් හෝ අයිඑම්එෆ් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පසුගිය රනිල් වික්‍රමසිංහ රජය විසින් ක්‍රියාත්මක කළ නිසා, රටේ ආර්ථිකය මේ වන විට ශක්තිමත් තැනකට පත්ව ඇත. එසේ නම් මේ ඇති කරගැනීමට සමත් වී ඇති ආර්ථික ශක්තිය දැන්වත් භාවිතා කළ යුතුව ඇත්තේ සාමාන්‍ය ජනයා මත පටවා ඇති බර (පොදුජන දුක) සමනය කිරීම සඳහා බව අපගේ අදහසයි.
පොදුජන දුක නිවන තීරණ
අයිඑම්එෆ් එකඟතා අනුව ආර්ථිකය ගොඩ ගැනීමේ ක්‍රියාවලියේ දී ගන්නා ආර්ථික ප්‍රතිසංස්කරණ තීන්දු තීරණ නිසා පොදුජනයා මත පැටවී ඇති මේ බලවත් ආර්ථික පීඩනය අඩු කිරීම සඳහා නොයෙකුත් තීන්දු තීරණ ගැනීමට රජයකට සිදු විය හැකිය. විශේෂයෙන් මේ රජය ඒ සඳහා යොමු වී සිටිනවා ද විය හැකිය. ඒ නිසා ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව මෙන්ම අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව ද යන්නේ අයිඑම්එෆ් ගමන් මාර්ගයේම වුවත් රාජ්‍ය පාලන ක්‍රියාවලිය සම්බන්ධයෙන් රජයකට නොයෙකුත් තීන්දු තීරණ ගත හැකිය. රජයේ වියදම් අඩු කිරීම සඳහා ද රනිල් වික්‍රමසිංහගේ පාලනයට වඩා වෙනස් පෙර නොවූ විරූ තීන්දු තීරණ ද මේ ජාතික ජනබලවේගයේ රජයට තම ජනවරම අනුව ගැනීමට හැකියාවක් තිබේ. ඒ ගැන විවිධ අයට විවිධ අදහස් සහ විවේචන තිබිය හැකිය. එය කියන ස්වභාවය (ටෝන් එක) සහ එම තීරණ ක්‍රියාත්මක කරන ආකාරය ගැන විවිධ අයට විවේචනයට ලක් කළ හැකිය.
හොරු අල්ලන පොරොන්දුව
මේ පසුබිම තුළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ඔහු සිටින විජේරාම නිල නිවසින් යන්නැයි කියන කාරණය ද ජන සමාජයේ මෙන්ම දේශපාලන වේදිකාවේ ද කතාබහට ලක්වෙන කාරණයක් බවට පත්ව තිබේ. දේශපාලන භේදයෙන් තොරව තවමත් ඔහුට ආදරය කරන විශාල ජනපිරිසක් මේ රටේ සිටින බව ද රහසක් නොවේ. ඔහු මේ රටට පිළිලයක් වූ කොටි ත්‍රස්තවාදය තුරන් කළ රාජ්‍ය නායකයා සහ සේනාධිනායකයාය. එකල අප ගමන් බිමන් ගියේ කොයි වෙලේ බෝම්බයකට ගොදුරු වේදැයි කියන මර බියෙනි. ඒ මර බිය නැති කළ නායකයා වශයෙන් මේ රටේ බොහෝ දෙනෙකුට ඔහු ගැන ගෞරවයක් තිබේ. එහෙත් ඔහුගේ ආණ්ඩුව යටතේ ද අපට එකඟ විය නොහැකි බොහෝ දේවල් සිදුව ඇත. අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුව බලයට පැමිණීමට පෙර හොරු අල්ලන බවට රටේ ජනතාවට බලවත් පොරොන්දුවක් දී තිබේ. ඒ නිසා මේ රජයට හොරු ඇල්ලීම සඳහා අනිවාර්යෙන්ම ක්‍රියාමාර්ග ගැනීමට සිදුවේ. ඒ ගැන පවතින නීතියෙන් හෝ පවතින නීති ප්‍රමාණවත් නැත්නම් අලුතින් නීති ගෙනවිත් හෝ ක්‍රියා කිරීම ගැන කිසිම ප්‍රශ්නයක් නැත. ඒ ගැන කිසිවෙකුටත් විරුද්ධ විය නොහැකිය. ඒ නිසා මහින්ද රාජපක්ෂගේ හෝ රනිල් වික්‍රමසිංහගේ හෝ වෙනත් කවර ආණ්ඩුවක් යටතේ හෝ වංචා, දූෂණ හෝ අක්‍රමිකතා සිදුව ඇත්නම්, එසේම එලෙස සොරකම් කළ මහජන ධනය (උගන්ඩාවේ හෝ) වෙනත් රටක හෝ සඟවා ඇත්නම් ඒ සඳහා නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගෙන ඒවාට වගකිව යුත්තන්ට දඬුවම් දීම සහ එම සොරකම් කළ ධනය රටට අයකර දීම ගැනත් කිසිම ප්‍රශ්නයක් නැත. එය පොරොන්දු ප්‍රකාරව අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් බව අපිත් කියා සිටිමු. රටවැසියා ද ඒ පොරොන්දුව ඉටු කරන තෙක් බලා සිටී.
‘ආරක්ෂාව’ සාධකය
කරුණු මෙසේ වුවත් කොටි ත්‍රස්තවාදය නැති කළ රාජ්‍ය නායකයා වශයෙන් මහින්ද රාජපක්ෂට ඇති තර්ජනය ඔහු ජනාධිපති ධුරයෙන් ඉවත් වූ වහාම ඉවත් වන්නේ නැත. ඒ නිසා ඔහුට තවදුරටත් ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදීම රජයේ වගකීමක් බව අපගේ විශ්වාසයයි. මේ කියන ප්‍රමාණවත් ආරක්ෂාව යන්න දේශපාලනය මත නොව යම්කිසි පිළිගත් තර්ජන විශ්ලේෂණයකට අනුව තක්සේරු කළ යුතු දෙයකි. කොටි බෝම්බයෙන් ඇසක් පවා අහිමි වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඇතුළු අනෙකුත් හිටපු ජනාධිපතිවරුන් ගැන ද එලෙස පිළිගත් ක්‍රමවේදයකට අනුව ප්‍රමාණවත් ආරක්ෂාවක් සැපයිය යුතුය. අනුර කුමාර දිසානායක මහතා ද අද රටේ සියලු පුරවැසියන්ගේ රාජ්‍ය නායකයාය. ඔහුට ද ආරක්ෂාව තිබිය යුතුය. එහෙත් මේ කොයි කාටත් අනවශ්‍ය ලෙස මහජනයා මත බර පටවමින් ආරක්ෂාවක් සපයා ඇත්නම් ඒවා කිසියම් පිළිගත් ක්‍රමවේදයකට අනුව අවම කිරීම ද වරදක් නොවේ.
මහින්ද රාජපක්ෂට යන්න කියයි
මහින්ද රාජපක්ෂට නිල නිවසින් යන්නය කියන කරුණ පෙරේදා (21) කැබිනට් මාධ්‍ය හමුවේ දී ද ප්‍රශ්න කෙරිණි. එහිදී නිල නිවාසයෙන් යන ලෙස ලිඛිතව දැනුම් දුන්නොත් තමා නිල නිවසින් ඉවත්ව යෑමට සූදානම් බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කර තිබූ ප්‍රකාශයක් ගැන මාධ්‍යවේදියකු විමසූ අවස්ථාවේදී ඇමැති නලින්ද ජයතිස්ස පිළිතුරු දෙමින් අවසානයේ කියා සිටියේ “කියනකම් ඉන්න දෙයක් නෑ යන්නයි තියෙන්නේ” කියාය. මේ සම්බන්ධයෙන් පෙරේදා (21දා) කැබිනට් මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස ඇමැතිවරයා මෙසේ ද කීවේය. 1986 අංක 04 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත ගැන මෙහිදී සඳහන් කරමින් එහි වගන්තියක් මාධ්‍යවේදීන්ට ඇසෙන්නට කිය වූ ඔහු, එම පනත සම්මත කරපු පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා හිටියේ නැති වුවත් ඔහු පසුව පාර්ලිමේන්තු ගණනාවක් නියෝජනය කළ බවත්, මේ පනත් ක්‍රියාත්මක කරපු ජනාධිපතිවරයා ලෙස ද සිටි බවත් කීවේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මේක තේරුම් ගන්න පුළුවන් කියා තමා සිතන බව ද ප්‍රකාශ කළ ඔහු මෙසේ ද කීවේය.
“මම හිතනවා එතුමාට කරදඬු උස් මහත්වෙච්ච ළමයි තුන් දෙනෙක් ඉන්න නිසා ගෙනිහිං තාත්ත අම්මව බලා ගනියි කියල.”
සියලු හිටපු ජනාධිපතිවරුන්ට පොදු තීන්දුවක්
මේ කරුණ අනෙක් සියලු ජනාධිපතිවරුන්ට අදාළ බවද, හිටපු ජනාධිපතිවරුන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ගේ වැන්දඹුවන්ටත් මෙය අදාළ වන බවද ජයතිස්ස ඇමැතිවරයා කියා සිටියේය. ඒ නිසා මෙය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් පමණක් ගන්නා තීරණයක් නොවන බව ඇමැති නලින්දගේ පැහැදිලි කිරීමයි. වත්මන් රජය ඔවුන්ට ලැබී ඇති ප්‍රබල ජනවරම අනුව තවදුරටත් විශ්‍රාමික ජනාධිපතිවරුන් මහජන මුදලින් ජීවිත කාලය පුරා නඩත්තු නොකිරීමට තීරණයක් ගෙන තිබෙනවා විය හැකිය. ඒ ගැන ඇමැති නලින්ද ජයතිස්ස තවදුරටත් කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන්ට මෙසේ කරුණු පැහැදිලි කළේය.
“මේ රටේ ජනතාව බලයක් ලබා දුන්නේ අපට මේ වරප්‍රසාද ඉවත් කරල, ජනතාව මත පටවලා තියෙන දේශපාලනඥයන්ගේ බර අඩු කරන්න කියල. කව්රුහරි කියනවා නම් තමා ජනාධිපති හෝ ජනාධිපතිගේ වැන්දඹු වීම නිසා මට රටේ නිවසක් ඕන, මාව රජය මගින් බලාගන්න ඕන කියල ඒක සාධාරණ නෑ. ජනතාව ඒ දේශපාලන සංස්කෘතිය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරා. අපේ ඇමැතිවරුන්ට පුළුවන් නම් පොලිස් ආරක්ෂාව නැතිව යන්න, අපේ ඇමැතිවරුන්ට පුළුවන් නම් ඒ තියෙන වාහන ප්‍රමාණය සීමා කරගෙන යන්න, අපේ අයට පුළුවන් නම් නිල නිවාස භාවිතා නොකර ඉන්න. ඇයි හිටපු අය විතරක් ඔය ආරක්ෂාවයි, ගෙවලුයි ඔක්කොම ටික රජයෙන් බලාපොරොත්තු වෙන්නේ ? රටේ ජනතාව දීපු වරම අනුව අපි කටයුතු කරනවා නම් මම හිතනවා හිටපු අයත් එහෙම කටයුතු කරන්න ඕන කියල.”
මේ කියන පරිදි ජනතාව මත පටවා ඇති සිටින හෝ හිටපු දේශපාලනඥයන්ගේ බර අඩු කිරීමට තම ජනවරම අනුව රජය තීරණය කරනවා නම් එයට එකඟ නොවී සිටිය නොහැකිය. එහෙත් මෙරට යුද ජයග්‍රහණය ලබාදුන් ත්‍රස්තවාදය පරාජය කළ රාජ්‍ය නායකයාගේ ආරක්ෂාව ගැන හෝ එම යුද ජයග්‍රහණයට දායක වූ අයගේ ජීවිතවලට තිබිය හැකි තර්ජනය ගැන නම් එසේ සුළුකොට තැකිය හැකි නොවේ. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ජීවිත ආරක්ෂාවත් නොසලකාම හැරිය හැකි නොවේ. ඒ අයට ආරක්ෂාව රජයෙන් සපයනවා විනා පෞද්ගලික ආරක්ෂක සේවයකින් මුදල් ගෙවා ලබාගන්න ද? මේ නිසා ඔවුන්ගේ ජීවිතවලට මේ තර්ජනය තිබෙන්නේ කොටි ත්‍රස්තවාදය පරාජය කළ නිසා නම්, ඒ රට පාලනය කළ නායකයන්ගේ ආරක්ෂාව ගැන තීරණ ගැනීමේ දී වත්මන් රජය දෙවරක් සිතා බැලිය යුතුය.
ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත
එහෙත් වත්මන් රජය ඔවුන්ට ලැබී ඇති තුනෙන් දෙකේ ප්‍රබල ජනවරම අනුව තවදුරටත් විශ්‍රාමික ජනාධිපතිවරුන් මහජන මුදලින් ජීවිත කාලය පුරා නඩත්තු නොකිරීමට තීරණයක් ගෙන තිබෙනවා නම් සහ හිටපු හා සිටින දේශපාලනඥයින් මහජනයා මත පටවා ඇති බර අඩු කිරීමට සිතන්නේ නම් එහි වරදක් අපි නොදකිමු. ඒ සඳහා ඇතැම් විට පෙර කී 1986 අංක 04 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත සංශෝධනය කිරීමට ද රජය අපේක්ෂා කරනවා විය හැකිය. එසේම පසුගිය කැබිනට් මාධ්‍ය හමුවේ දී අනාවරණය වූ පරිදි අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳව ද නව පනත් කෙටුපතක් සකසා ඇත. එම නව පනත ගැසට් පත්‍රයේ පළ කර පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමිව ඇත. අයිඑම්එෆ් සහාය ඇතිව දියත් කළ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නිසා අද වන විට රට ශක්තිමත් ආර්ථික කඩඉමකට පැමිණ ඇත. ඒ සඳහා වැඩියෙන් දායක වී ඇත්තේ ද සාමාන්‍ය ජනතාව ඇතුළු ආර්ථිකයේ සියලුම පාර්ශ්වකරුවන්ය. එසේ නම් සිටින හෝ හිටපු දේශපාලනඥයින් නිසාත්, ආර්ථික පීඩනයෙන් සිටින ජනතාව මත පැටවී ඇති බර අඩු කිරීමට ක්‍රියා කිරීමේ ද වරදක් නැත.
අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගේනවා
අර්ජුන මහේන්ද්‍රන් ගැන පසුගිය කාලාන්තරය පුරාම අප කොතෙකුත් කතා කර ඇත. යහපාලන රජය සමයේ ඔහුව මේ රටේ මහ බැංකු අධිපති ලෙස පත් කළ අතර ඔහු මේ රටේ පුරවැසියකු හෝ ද්විත්ව පුරවැසියකු හෝ නොවේ. ඔහු සිංගප්පූරු පුරවැසියෙකි. ඒ නිසා එම යහපාලන රජය සමයේ සිදු වූ කුප්‍රකට බැඳුම්කර මගඩිය ගැන ඔහුට කොතෙකුත් චෝදනා එල්ල වී තිබුණත්, අර්ජුන මහේන්ද්‍රන්ට එදා මඟුල් ගෙදරක යනවා කියා එවකට අගමැතිවරයාට කියා කිසිම ප්‍රශ්නයකින් තොරව රටින් පිටව යෑමට හැකිව තිබිණි. මේ වන විට බැඳුම්කර නඩුවලට ඔහුට උසාවියෙන් වරෙන්තු නිකුත්ව තිබුණත් ඔහු සිංගප්පූරු පුරවැසියෙක් පමණක් වන නිසා ඔහුව මෙරටට ගෙන්වා ගැනීම දුෂ්කර වී තිබේ. එසේ වූයේ එදා යහපාලන රජය විසින් මෙරට මහ බැංකු අධිපති තනතුරට සිංගප්පූරු පුරවැසියෙක් පත් කළ නිසාය. මහ බැංකු අධිපති තනතුරට මෙරට පුරවැසියෙක් නොවෙන අයෙකු පත් කිරීමට එවකට මුදල් නීති පනත අනුව නෛතික බාධාවක් නොමැති වුවත් ප්‍රශ්නය තිබෙන්නේ එවැන්නෙකුට ඕන මගඩියක් කර රටින් පිටව ගොස් සුවසේ සිටිය හැකි වීමයි. මේ වන විට උසාවියේ වරෙන්තු නිකුත්ව තිබුණත්, කාලයක් තිස්සේම ඔහුව මෙරට අධිකරණ ක්‍රියාවලියට ගෙන්වාගත නොහැකිව තිබේ. ඒ නිසා ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට වත්මන් රජයට අවශ්‍යතාව තිබුණත් ඒ සඳහා නෛතික හැකියාවක් තිබේ ද යන්න මතුව තිබෙන ප්‍රශ්නයයි.
ඒ සඳහා පසුගිය රජයන්ට ඕනෑකමක් තිබුණේ නැද්ද යන්න වෙනම කතාවකි. එහෙත් මේ ආණ්ඩුවේ අය කියන්නේ ඔහුව මෙරටට ඉක්මනින් ගෙන්වා ගන්නා බවයි. ඒ ගැන මේ ලියුම්කරු හිටපු කැබිනට් ප්‍රකාශක ඇමැති විජිත හේරත්ගෙන් ප්‍රශ්න කළ විට ඔහු කියා සිටියේ ද ඔහුව ගෙන්වා ගැනීමට ක්‍රියා කරන බවයි. පෙරේදා (21) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේ දී මේ ලියුම්කරු විසින් කැබිනට් ප්‍රකාශක සහ ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්සගෙන් අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමේ නීතිමය හැකියාව ගැන රජය, නීතිපතිවරයාගෙන් විමසා ඇත්දැයි ඇසූ විට ඔහු ඊට මෙසේ පිළිතුරු දුන්නේය.
“නීතිපතිතුමත් එක්කත් සාකච්ඡා කරලා තියෙනවා. පොලිස්පතිතුමත් එක්කත් සාකච්ඡා කරලා තියෙනවා. නීතිමය පැත්තෙනුත් බලනවා ආරක්ෂාව පැත්තෙනුත් බලනවා හැම පැත්තෙන්ම බලනවා. කොහොම හරි ගෙනාගන්නවා ඉතාම ඉක්මනට.”
මේ පිළිතුර ගැන අපි ඉතාම සතුටු වෙමු. ඒ ගැන රටවැසියා බලා සිටිනු ඇති බව ද අපි රජයට සිහිපත් කරමු.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]