ගෑස් සිලින්ඩරවල ගෑස් ප‍්‍රමාණය අඩුකර අලෙවි කිරීමට යෑමෙන් පෙනීයන්නේ ගෑස් ඒකාධිකාරියක් ඇතිකර මහජනයා සූරාකෑමකට ලක්කිරීමට දරන උත්සාහයක් යැයි පාරිභෝගික අයිතීන් සුරැුකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් ආරියරත්න මහතා ‘දිවයින’ට ඊයේ (25 දා) පැවැසීය. එමෙන්ම මේ වනවිට වෙළෙඳපොළේ ගෑස් හිඟයක් මතුව ඇතැයි ද ඔහු කීය.
මේ වනවිටත් වෙළෙඳපොළේ කහපාට ගෑස් සිලින්ඩර්වලට ගෑස් ලබා ගැනීමට නොහැකි බව තම සංගමයට මහජන පැමිණිලි රාශියක් ලැබී තිබෙන බවත් ඔහු කීහ.
කිලෝ 12.5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1495 ක මිලකට පවතිද්දී කිලෝ 12.5 ක ගෑස් ප‍්‍රමාණය ලීටර් 18 ක් (කිලෝ 9.5) ලෙස පැවැති ගෑස් ටැංකියටම පුරවා මහජනතාවට ලබාදීම නිසා ගෑස් ඉක්මනින් අවසන්වීම, වැඩිවාර ප‍්‍රමාණයක් ගෙන යෑමට සිදුවීම වැනි ගැටලූ මතුව ඇති බව මහ ජනතාව පෙන්වා දෙන බවත් ඔහු කීය.
මේ වනවිට ලීටර් 18 ක ගෑස් සිලින්ඩරය රුපියල් 1150 ක මිලකට අලෙවි කිරීමට උත්සහ දරන බවත් එසේ නොකර කිලෝ 12.5 ක ගෑස් සිලින්ඩරයම පැවැති මිලට මහ ජනතාවට ලබාදීමට කටයුතු කළ නොහැකි ඇයි ද යන්න නොතේරෙන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
– චමින්ද සිල්වා