මහජන ආරක්‍ෂක ලේකම්ට නොතීසි – දේශබන්දු සීඅයිඩීයට දුන් ලිපිය උසාවියට ඉදිරිපත් කරන්නැයි නියෝග

309

අරගල භූමියේදී ආබාධිත රණවිරුවාට පහර දුන් පුද්ගලයා රටින් පැනලා

සනත් නිශාන්තට සමන් ලාල්ට ඇප

බස්නාහිර පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව විනය පරීක්‍ෂණයක් සිදු කරන ලෙසට හා ඔහුට වහාම ස්ථාන මාරුවක් ලබාදෙන ලෙසට පොලිස්පතිවරයා විසින් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නොතීසි නිකුත් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (15දා) නියෝග කළේය.
මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් ඒ සම්බන්ධයෙන් වහාම ප්‍රකාශයක් සටහන් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහෙස්ත්‍රාත්වරයා එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

ඔහුට අමතරව එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරන්න හා නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන යන නිලධාරීන් දෙදෙනාගෙන්ද ප්‍රකාශ සටහන් කර එකී ප්‍රකාශ අධිකරණයට ඉදිරිපත් කරනා ලෙසටද මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

එම සිද්ධීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් සෑහීමට පත්විය නොහැකි බවත් එබැවින් මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට නොතිසි නිකුත් කර අධිකරණය හමුවට කැඳවන ලෙසත් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් හා ශ්‍රී ලංකා නිතීඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි එම සංගමයේ සභාපති ජනාධිපති නිතීඥ සාලිය පීරිස් මහතා ඇතුළු නිතීඥවරුන් කළ ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

එම සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා ඔහුව ලබන 22 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමටත් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා හා මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු යන සැකකරුවන් දෙදෙනාව රුපියල් මිලියන 10 බැගින් වු ශරීර ඇප දෙක බැගින් නියම කොට ඇපමත මුදාහැරීමටත් නියෝග කළේය. එයට අමතරව එම නඩුවේ 27 වන සැකකරු ලෙස නම්කර තිබූ හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ නිශාන්ත ජයසිංහ නමැත්තාවද රුපියල් ලක්‍ෂ 10 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට ද මහෙස්ත්‍රාත් තිළින ගමගේ මහතා එහිදී නියෝග කළේය.

එකී සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කිරීමේදී පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් ලබාදී ඇති ප්‍රකාශ පරස්පර වන බැවින් තමන්ටද ඒ සම්බන්ධයෙන් නැවත ප්‍රකාශයක් ලබා දීමට ඉඩදෙන ලෙස ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇතැයි කියන ලිපිය ඉදිරි නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසටද මහෙස්ත්‍රාත්වරයා එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් නියෝග කළේය.

අරගලකරුවන්ට පහරදීම් සම්බන්ධයෙන් හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු 747 දෙනෙකුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කර ඇති බවත් එකී පහරදීම් වැළැක්වීමට අපොහොසත් වීමෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඔවුන්ගේ රාජකාරි පැහැර හැරියේද යන කරුණු අනාවරණය කර ගැනීම සඳහා සිදුකළ විමර්ශන මේ වන විට අවසන් කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණයට පැවසීය.

ගාලුමුවදොර පිටියේදී එදින ආබාධිත රණවිරුවකුට පහරදුන් පුද්ගලයා ලෙස හඳුනාගෙන ඇති කුරුප්පු ආරච්චිලාගේ දොන් සජිත් සාරංග නමැත්තා මේ වනවිට රටින් පලා ගොස් ඇති බවත් එකී පහරදුන් පුද්ගලයන් ලෙස හඳුනාගෙන ඇති මොරටුව නාගරික මන්ත්‍රිවරයකු වන ප්‍රදීප් ශ්‍රියන්ත ප්‍රනාන්දු හා රණබාහු ආරච්චිලාගේ සම්පත් නානායක්කාර නමැති දෙදෙනාද පදිංචි ස්ථානවලින් අතුරුදන්වී ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට දැනුම් දුන්නේය. එකී අරගලකරුවන්ට පහරදීමේ ප්‍රචණ්ඩත්වය වපුරනු ලැබුවේ මෙවැනි පුද්ගලයන් වන බවත් ඔවුන්ගේ එකී අමානුෂික ක්‍රියාකලාපය නිසා හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට පවා බංකරයක සැඟවී සිටීමට සිදුවු බවත් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥ උපුල් ජයසූරිය මහතා අධිකරණයට කීවේය.

මෙකී ක්‍රියාදාමයේ ප්‍රධාන සැකකරුවෙකු විය යුතු දේශබන්දු තෙන්නකෝන් මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති බවත් එය රටේ නීතිය එක් එක් පුද්ගලයාගේ තරාතිරම අනුව වෙනස් වන බවට හැඟවෙන කරුණක් බවත් ජනාධිපති නිතීඥ උපුල් ජයසූරිය මහතා මෙහිදී පැවසීය.

ඒ. ජේ. ඒ. අබේනායක
 


advertistmentadvertistment