ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් මහජන බැංකුව සංවිධාන කළ විශේෂ සැමරුම් උත්සවයක් එහි ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 02, මහජන බැංකු මූලස්ථාන ශාඛාවේදී පසුගියදා පැවැත්විණි.

‘ලොවම දිනමින් සැවොම දිනවන සාඩම්බර ඇය’ යන තේමාවෙන් මහජන බැංකුව මෙවර කාන්තා දිනය සැමරීය. ඒ වෙනුවෙන් කාන්තා ව්‍යවසායකත්වය නඟා සිටුවිමටත්, ඒ සඳහා අවශ්‍ය පුහුණුව හා මූල්‍යමය සහාය පිරිනැමිමේ අරමුණින් ව්‍යවසායිකාවන් 12 දෙනෙකුට මෙරට කුඩා ව්‍යාපාර වඩාත් ඉහළ ප්‍රමිතීන් කරා රැගෙන යාමට සහයෝගය පිරිනමන ආයතනයක් වන Good Market සංවිධානය සමඟ එක්ව පුහුණුවක් පිරිනැමූ අතර, ඔවුන්ව හඳුන්වාදීම මෙම උත්සවයේදී සිදුකෙරිණි.

එමෙන්ම මෙහිදි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර, ප්‍රසව හා නාරිවේදි විශේෂඥ වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න, ප්‍රවීණ රූපලාවන්‍යවේදිනි නයනා කරුණාරත්න, Good Marketහි සම නිර්මාතෘ අචලා සමරදිවාකර, මහරාජා ඉන්ස්ටිටියුට් ඔෆ් මැනේජ්මන්ට්හි ප්‍රධාන විධායක නිලධාරිනි, මහරාජා ටැලන්ට් මැනේජ්මන්ට්හි අධ්‍යක්ෂිකා, ප්‍රවීණ මාධ්‍යවේදිනි චේතනා ලියනගේ යන මහත්මින් මෙරට අභිවෘද්ධිය වෙනුවෙන් සිදුකරන ලද මෙහෙවර අගයමින් විශේෂ සම්මානයන් පිරිනැමීමටද කටයුතු කෙරිණි.

මෙම අවස්ථාවට පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනි ජීවනි කාරියවසම් මහත්මිය, මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) ටී. එම්. ඩබ්ලිව්. චන්ද්‍රකුමාර මහතා ඇතුඵ ආයතනික හා විධායක කළමනාකාරිත්වය, ව්‍යවසායිකාවන්, වෘත්තියවේදිනියන් සහ ගනුදෙනුකාරිනියන් රැසක් සහභාගි වූහ. මීට සමගාමීව, දිවයින පුරා පිහිටි මහජන බැංකු ශාඛාවන්හි ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සව පැවැත්විණි.

advertistmentadvertistment
advertistmentadvertistment