ජනාධිපති අනුර කුමාර දිසානායක පොළොන්නරුවේදී කියයි
සෑම පුරවැසියකුම නීතියට බියවන-යටත්වන සමාජයක් හදනවා
සියලු සැකයන් නිරාකරණය කරමින් පරීක්ෂණ හා විමර්ශන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන බවත් පාස්කු ප්‍රහාරයේ සැබෑ වගඋත්තරකරුවන් ජනතාවට හෙළි කිරීමේ වගකීම ඉටු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ “ජය නියතයි ගම අපිටයි” ජන රැලි මාලාවේ තවත් ජන රැලියකට 20දා පොළොන්නරුවේදී එක් වෙමිනි. ජන රැලිය ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
පසුගිය සැප්තැම්බර් 21 වන දා අපේ රටේ එතෙක් පැවති දේශපාලන ගමන් මග මුළුමනින්ම වෙනස් කර මේ රටේ ජනතාව විසින් නව දේශපාලන තීන්දුවක් ගනු ලැබුවා. පරම්පරා කිහිපයක් ඉහළ කණ්ඩායමකට හිමි ව තිබූ මේ රටේ දේශපාලන බලය පළමු වතාවට සැප්තැම්බර් 21 වන දා පොදු ජනතාව අතට මාරු වුණා. ඒ වෙනුවෙන් මෙම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව විශාල දායකත්වයක් ලබාදුන්නා. ඉන්පසුව නොවැම්බර් 14 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණා. එම මැතිවරණයේදීද මේ රටේ ජනතාව ජාතික ජන බලවේගයට සුවිශේෂී ජයග්‍රහණයක් ලබා දුන්නා. ඉන් පසුව ආණ්ඩුවේ මාස 06ක පාලනයෙන් පසු මෙම මැයි 06 වන දා පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනවා. ඒ අනුව මෙම පළාත් පාලන මැතිවරණයේදීද ශක්තිමත් ජන වරමක් පිළිබිඹු කිරීමට අපට අවශ්‍යයි. ඉතා පැහැදිලිව මෙම පළාත් පාලන ආයතන සියල්ල ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරනවා.
අද මේ රටට ජාතික ජන බලවේගය කියන දේශපාලන ව්‍යාපාරය තෝරා නොගෙන තෝරා ගත හැකි වෙනත් දේශපාලන ව්‍යාපාරයක් නැහැ. ජාතික ජන බලවේගයේ නායකත්වය නැතිව වෙනත් නායකත්වයක් නැහැ. අද මේ රට ඉදිරියට ගෙන යාමට වගකීම, හැකියාව සහ වුවමනාව තිබෙන එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගයයි. මේ රටේ ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ විවිධ පක්ෂ සමඟ විවිධ බැඳීම් ඇති කරගෙන තිබුණා. ජාතික ජන බලවේගය අතට බලය ලබා දුන්නේ එම බැඳීම් සියල්ල ලිහා දමලායි. එදා වගේම අදත් අපි ඔබට සහතික වෙනවා අපට ලබා දුන් බලය අබ මල් රේණුවකින්වත් ජනතාවට අහිතකර ලෙස උපයෝගී කර ගන්නේ නැහැ වගේම සෑමවිටම ජනතා අවශ්‍යතා වෙනුවෙන් මෙම බලය උපයෝගී කරගන්නවා කියලා.
දීර්ඝ කාලයක් අපේ රට පාලනය කළ පාලකයන් විසින් අපේ රටේ ආර්ථිකය පතුලටම ඇද දමා තිබුණා. මෑත දශකයේ ලෝකයේ එවන් ඉරණමක් අත් ව තිබුණේ රටවල් දෙක, තුනකට පමණයි. මේ ව්‍යසනය හිමි වූ රටවල් දෙක තුන අතර 2022-2023 සමයේ ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටියා. වසර 76ක් මේ රටේ පාලක කණ්ඩායම් විසින් හපයක් බවට පත් කර තිබූ ආර්ථිකය සහතික වශයෙන්ම ජාතික ජන බලවේගය විසින් පියවරෙන් පියවර
ගොඩනඟනවා. යළි කිසි දිනක අපේ දරු පරම්පරාවට එවැනි ව්‍යසනයකට මුහුණ දීමට අපි ඉඩ දෙන්නේ නැහැ. අපි කෙතරම් ව්‍යසනවලට මුහුණ දුන්නාද? තිස් අවුරුදු යුද්ධයක් පැවතුණා. ජාතිවාදය නිසා සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සැකය සහ අවිශ්වාසය වර්ධනය වුණා. සාමාන්‍යයෙන් මැතිවරණයකදී නැගෙනහිර ජනතාව මුස්ලිම් පක්ෂවල නායකයෝ තෝරනවා. උතුරේ ජනතාව දෙමළ පක්ෂවල නායකයන්වත්, දකුණේ අය සිංහල පක්ෂවල නායකයන්වත් තෝරනවා. ඡන්දවලදී මේ අයුරින් අපි බෙදුණා. ඡන්ද
ලබාගැනීම සඳහා එකිනෙකා අතර ජාතිවාදය වපුරුවා. මෙම බෙදීම නිසා ඉතා කළු සහ දුක් සහිත ඉරණමකට අපේ රට මුහුණ දුන්නා. එහෙත් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී උතුරේ, නැගෙනහිර සහ දකුණේ සියලු ජනතාවගේ තේරීම බවට පත් වුණේ ජාතික ජන බලවේගයයි. හැමදාමත් අපේ රට එකට තිබුණ නමුත් ජනතාව විරසක වී සිටියා. දේශපාලන පක්ෂ විසින් ජනතාව විරසක කර තිබුණා. මෙරට පළමු වතාවට ජනතාව එක කුඩයක් යටතට එකතු වී තිබෙනවා. ඒ තමයි ජාතික ජන බලවේගයේ කුඩය. එය අපේ රටේ දේශපාලනයේ සුවිශේෂී හැරවුමක්. අපි දැන් මාස හයකට වැඩි කාලයක් මේ රට පාලනය කරමින් සිටිනවා. කොතැනකවත් යළි ජාතිවාදී ගැටුමක් ඇති වීමට අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ සඳහා තිබෙන නීති ප්‍රමාණවත් නැතිනම් නව නීති සම්පාදනය කර හෝ අපේ රට තුළ ජාතිවාදය තුරන් කර ජාතික සමගිය නිර්මාණය කරනවා.
2019 පාස්කු ඉරිදා බලය ලබාගැනීමේ අරමුණින් විශාල ඛේදවාචකයක් සිදු වුණා. 2019 අප්‍රේල් සිට 2024 සැප්තැම්බර් දක්වා ආසන්න වශයෙන් ගත් විට වසර පහමාරක් මෙම පරීක්ෂණවල අරමුණ වී තිබුණේ සැබෑ සැලසුම්කරුවා යටත්පත් කිරීමයි. 2019 පැවති ආණ්ඩුව හෝ නැවත 2019 නොවැම්බර්වල බලයට පත් වූ ආණ්ඩුවට හෝ සැබෑ වගඋත්තරකරුවන් නීතිය හමුවට ගෙන ඒමට කිසිදු වුවමනාවක් තිබුණේ නැහැ. දැන් පාස්කු ප්‍රහාරයට වසර 06ක් ගත වී තිබෙනවා. අපි බලය අරගෙන මාස 06කට ආසන්න කාලයක් ගත වෙමින් තිබෙනවා. අපි ඉතාමත් නිරවුල්ව පියවරින් පියවර පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් නීතිය හමුවට පැමිණ වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙන අතර ගනිමින්ද සිටිනවා.
පාස්කු ප්‍රහාරය පිළිබඳජනාධිපති කොමිෂන් සභා වාර්තාවක් අද මට ලැබුණා. එම සියලු වාර්තා සමාජයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් ඉදිරිපත් කර තිබුණේ නැහැ. මෙම වාර්තා එළියට දැමුවේ ඇතැම් ලේඛන කොටස් සඟවලයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සියලු ලේඛන විමර්ශනය කිරීම වෙනුවෙන් අද මම එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළා. අපි බලයට පත් නොවන්න තවමත් එම ලේඛන සඟවා තිබෙනවා. අපි අද ඒ සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළා හොඳට කියවා නිර්දේශ ඉදිරිපත් කිරීමට. එහි නිර්දේශ ගණනාවක් තිබෙනවා. එම නිර්දේශ සියල්ල ක්‍රියාත්මක කළ යුතුයි.
ඒ වගේම මෙම ප්‍රහාරය පිළිබද තැන තැන ආන්දෝලනයට තුඩු දුන් සිදුවීම් තිබෙනවා. පළමු පොලිස් නිලධාරින් දෙදෙනා ඝාතනය කළ ස්ථානයට ජැකට් එකක් ගිහින් දැම්මේ කවුද? එහි සැකයක් තිබෙනවා. සමහර එමි අංක තිබෙන දුරකථන අංක භාවිත කළේ කවුද කියා සැකයක් තිබෙනවා. අපි ඒ සියලු සැකයන් නිරාකරණය කරමින් පරීක්ෂණ හා විමර්ශන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යනවා. මේ රටේ ජනතාවට පාස්කු ප්‍රහාරයේ සැබෑ වගඋත්තරකරුවන් හෙළි කිරිමේ වගකීම අපි ඉටු කරනවා.
ඒ වගේම මේ රටේ බිඳ වැටුණු ආර්ථිකය සැලකිය යුතු මට්ටමේ ස්ථාවරභාවයකට ගෙන ඒමට අද අපි සමත් වී තිබෙනවා. ඒ අනුව අද රට යථා තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. අද වාහන වෙළඳපොළ විවෘත වෙලා තිබෙනවා. රුපියලට සාපේක්ෂව ඩොලරය ස්ථාවර මට්ටමක තිබෙන අතර මෙය රටේ ආර්ථික ස්ථාවරභාවයේ සංඥාවක් වෙනවා. අද තෙල් මිල අඩු වෙලා. ඒ වගේම විදුලි බිල අඩු වෙලා තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩු කිරීමට අපි සමත් වී තිබෙනවා.
මෙම පළාත්වල සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය මුදල් ලබාදීමට අපි සූදානම්. ඒ අනුව මින්නේරිය වැව යටතේ තිබෙන සුළු හා මධ්‍ය පරිමාණ වැව් අමුණු ප්‍රතිසංස්කරණය කිරීමට අපි මිලියන 500ක් වෙන් කළා. තවත් මුදල් ලබා දිය හැකියි. ඒ මුදල් වැය කරමින්, වැඩ කළ හැකි රාජ්‍ය යාන්ත්‍රණයක් අපිට අවශ්‍ය වෙනවා. ඒ සඳහා අවශ්‍ය සැලසුම් අපි සකස් කර තිබෙනවා.
එදා අපේ රටේ නීතියට යටත් නැති සහ බිය නැති කණ්ඩායමක් සිටියා. අපි මේ රටේ සෑම පුරවැසියාම නීතියට යටත්වන නීතියට බියක් තිබෙන සමාජයක් ගොඩනඟනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද විශාල පරීක්ෂණ ගණනාවක් දියත් කර තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව වැඩ පටන් ගෙන තිබෙනවා. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වැඩ පටන් ගෙන තිබෙනවා. නීති ප්‍රමාණවත් නොවූ විට අපි නව නීති සකස් කර සම්මත කර දුන්නා. නීති විරෝධීව උපයාගෙන තිබෙන වත්කම් නැවත පවරා ගැනීම සඳහා අපි පසුගිය අප්‍රේල් 08 වන දා නීතියක් සම්මත කර ගත්තා. මේ අයුරින් අපි නීති ශක්තිමත් කර තිබෙනවා මහජනයාගේ මුදල්වලට අත තිබ්බොත් දඬුවම් ලැබෙනවා කියා බියක් ඇති විය යුතුයි. මේ රටේ ජනතාව අපට බලය ලබා දී අපේක්ෂා කළ දේ අද අපි අද ඉතා හොඳින් ඉටු කරමින් සිටිනවා. අද වැඩියෙන්ම කලබල වී සිටින්නේ වැඩියෙන්ම බිය වූ අයයි. අපිට කිසිවෙකුගෙන් පළිගැනීමට අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය යළි මේ රටේ නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීමටයි. මහජනතාවගේ රුපියලකට අත තබනවා නම් බිය විය යුතු මනෝභාවයක් මේ රටේ ඇති කළ යුතුයි. කුමන අවස්ථාවේ හෝ දඬුවමක් ලැබෙනවා කියා හැඟීමක් ඇති විය යුතුයි. මේ රට ගොඩනැඟිය හැක්කේ එවිටයි.
එදා රාජ්‍ය වත්කම් අතළොස්සක් අතරේ බෙදී ගියා. දැන් භාණ්ඩාගාරයේ ධනය ජනතාව වෙත ගලාගෙන ඒමට පටන් ගෙන තිබෙනවා. ආණ්ඩුවකින් සිදු විය යුත්තේ එයයි. එය වත්මන් ආණ්ඩුව ඉටු කරමින් සිටිනවා. ජාතික තලයෙන් මෙම වැඩකොටස ඉටු කරන විට මෙම වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට ප්‍රාදේශීය නායකත්වය අවශ්‍ය වෙනවා. ගමේ පාරවල් ටික හදන විට, ගම සංවර්ධනය කරන විට එය ග්‍රාමීය වශයෙන් මෙහෙය වීමට දේශපාලන නායකත්වය අවශ්‍ය වෙනවා. ඒ සඳහා හොරකම් නොකරන අයට මෙම ප්‍රාදේශීය සභාව සහ නගර සභාවට භාර දිය යුතුයි. ජනතාවගේ මුදල් පරිස්සම් කර වියදම් කරන බවට සහතිකයක් දිය හැකි කණ්ඩායමක් අපි මෙවර පළාත් පාලන ආයතන වෙත පත් කර ගනිමු’යි කියා මම ඉල්ලා සිටිනවා.